Tuesday, 24 December 2013

උඳුවප් බෝසත්

ජේසු තුමන්ගේ උපත සමරන උදුවප් මාසයේ නත්තල උදාවෙමින් තිබේ. මහා මැදුරක වුවද, කානු පල්ලක සිදු වුවද  මිනිස් දරුවකු ලොවට බිහි වීම අසිරිමත් සිදු වීමකි. ඒ අරුතින් ගත්  කල වල්ග තරු පෑයූ රාත්‍රියක දිළිඳු මාපිය යුවලකට දාව සිදු වූ ජේසු උපත ද මහා අසිරිමත් මානව උප්පත්තියකි.එහෙත් ජෙසුතුමන්ගේ මරණය එබඳු අසිරිමත් මරණයක් නොවේ. බුදුන්වහන්සේගේ නම් පරිනිර්වාණයද මංගල්‍යයක් ලෙස බෞධයෝ සලකති. ජේසු තුමන් ස්වභාවික ලෙස මිය ගියේ නැත. එනම් සිය ජව සම්පන්න තුරුණු වියේදීම කුරිරු  මරණ දඬුවමකට ලක් වී සිරුරු කිහිප පොලකින්ම විද ලී කුරුසියකට තබා  ඇණ ගසා වතුර පොදක් වත් බොන්නට නොදී වේදනාවෙන් හා පිපාසයෙන් මිය යන්නට සැලැස්වීමේ එකල ඊශ්‍රායලය ක්‍රියාත්මක කල මිලේච්ඡ දඬුවම් ක්‍රමයට ජෙසුතුමන් ගොදුරු විය .

කුරුසියේ ඇණ ගසන අවස්ථාවේ විලාප හඩින් කෑ ගැසූ ජෙසුතුමන් " එලොයි එලොයි ලාමා සබක්තානී " නම් වචන කිහිපයක් කියා ඇත. ඒවා  ජෙසුතුමන්ගේ අවසාන වචන ලෙස පිළිගැනේ. මේ වචන හතරට විවිධ අර්ථ කථන දී තිබේ. බයිබලයේම එකිනෙකට වෙනස් කතා තුනක් කියවේ. " මගේ දෙවියනි ... මගේ දෙවියනි ඔබ මා ඇත හරියේ ඇයි ?'' යන්න එකකි. '' පියාණනි ඔබගේ අතට මගේ ආත්මය භාර දෙමි '' යනුවෙන් තවත් අර්ථ කථනයකි. " සියල්ල අවසානයි " යන්න තවත් නිර්වචනයකි. භාෂාවේදීන් පවසන ආකාරයට ජෙසුතුමන් කතා කර තිබෙන්නේ එකල  ප්‍රභූ පැලැන්තියේ ජනතාව කතා කළ භාෂාව වූ හීබ්රු භාෂාවෙන් නොව පොදු ජනයාගේ භාෂාවක් ව තිබු 'අරමයික ' භාෂාවෙන්ය. ඒ අනුව ඔවුන් කියන්නේ අරමයික බස හීබ්රු බසට පෙරලීමෙදී පරිවර්තන දෝෂයක් සිදු වී ඇති බවය. 'ලාමා සබක්තානී ' යනුවෙන් ජෙසුතුමන් අවසාන මොහොතේ කතා කර ඇත්තේ තමාගේ ගුරුවරයෙකු වූ ටිබෙට් රටේ බෞද්ධ ලමාවරයෙකුට යයි මත දක්වන්නෝ කියති .

මේ කරුණ ඉදිරිපත් කළේ  ජෙසුතුමන්ගේ අවසාන වචන ලෙස බයිබලයේ සඳහන් වී තිබෙන කරුණු අභියෝගයට ලක් කිරීමේ අදහසින් නොව සිය ළදරු වියේදීම මවත් සමග උපන් බිම වූ  ගලීලයෙන් පලාගිය ජෙසුතුමන් ආසියාවේ ටිබෙට් දේශයට පැමිණ බුදු දහම හදාරා නැවත ඊශ්‍රායලයට යන්නට ඇතැයි යනුවෙන් අනුමාන කෙරෙන ප්‍රබල මතයක් පවතින බැවිනි. ලෝකයේ ආගම් ගැන විශාල අධ්‍යයනයක යෙදුන ඉන්දියාවේ පෙරලිකාරී චින්තකයකු හා දාර්ශනිකයකු වූ භාගවාන් රජ්නීෂ් හෙවත් ඕෂෝ කියන්නේ ජෙසුතුමන් ඉන්දියාවට පැමිණි බව සඳහන් කෙරෙන ඉතා පැහැදිලි වාර්තා තවම ලබා ගත හැකි බවය.  ලෝකයේ බොහෝ ප්‍රජාවන් තම ඉතිහාසය ලියා තබා නැත. ඊශ්‍රායලයේ ඉතිහාසය බයිබලය නමින් යුදෙව්වන් අතිනුත් ලංකාවේ ඉතිහාසය මහාවංශය නමින් සිංහලයන් අතිනුත් කාශ්මීරයේ   ඉතිහාසය ''රාජ තරන්ගනිය ' නමින් කල්හාන නම් ඉතිහාස කරුවා අතිනුත් ලියවී තිබීම ඒ අතර විශේෂ කරුණකි . කල්හානගේ ඉතිහාස පොතේ ජෙසුතුමන්ගේ ඉන්දියානු ජීවිතය යයි සැලකිය හැකි කතාවක් තිබේ .

"ජේසුස් නම් බුද්ධ ශ්‍රවකයනෝ '' නම් පොත ලියූ කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක එය මෙසේ පරිවර්තනය කර පෙන්වති . 

 ''............... ඉසනා නමින් ඇති ප්‍රසිද්ධ සාන්තුවරයෙක්  ඩල් ගංගාව අසල ඉසබාර්හි විසුවේය. ඔහුට බොහෝ ශිෂ්‍යන් සිටි අතර ප්‍රධාන ගෝලයා 'සව්දිමතී' නම් විය. සියලු රටවැසියෝ සව්දිමතී ඔවුන්ගේ රාජ්‍යය හෙබවීමට සුදුස්සා  බව කීහ. භීතියට පත් (එවකට එරටේ සිටි ) නපුරු රජතුමා  සව්දිමතී  කුරිසියේ තබා ඇණ ගැසුවේය.  මෙය  ඇසු ඉසනා එහි ගොස් සව්දිමතීගේ නාසයට සුවඳ තෙලක් පිම්බේය . තුන් දිනකින් සව්දිමතීට සිහිය ලැබුනි ......''

 කුරුසියේ  ඇණ ගසා දඬුවම් කිරීම කාශ්මීරයේ තිබූ  දඬුවම් ක්‍රමයක් නොවේ.  මේ වනාහී තමන් ඇසු කතාවක්  කල්හාන තම කාශ්මීර ඉතිහාස පොතට ඇතුලත් කිරීමකි. එයින් තේරුම් ගත යුත්තේ කාශ්මීරයේද ටික කලක් සිටි සාන්තුවරයෙකු පසු කලෙක වෙනත් දේශයකදී කුරුසියේ ඇණ  ගසනු ලැබූ බව පමණි. ජෙසුතුමන්ගේ පෙරදිග ගමන ගැන කියන අර්ථ දක්වන මෙවැනිනි කතන්දර තව කොතෙකුත් තිබේ. 

ජෙසුතුමන්ගේ පෙරදිග ගමන පිලිබඳ කතාව මෙපණටම වැදගත් වන්නේ එතුමන් ඊශ්‍රායලයට හා එහි ඉතිහාසය ලියවී ඇති ඉබලයේ පරණ ගිවිසුමට හෙවත් යුදෙව් ආගමට සපුරා වෙනස් ලෙස පෙනෙන දර්ශනයක් ඉගැන්වීමක් පතුරුවා හළ  බැවිනි. නව අදහස් ඉදිරිපත් කිරීමට ජෙසුතුමන්ට දැනුම  ලැබුනේ පෙරදිගින් බව සිතන්නට පෙළඹවීමක්  ඇතිවන්නේ ඒ අනුවය.

ජෙසුතුමන් ඊශ්‍රයල්යෙදී කළේ ආගමක් දෙසීමක්ද නැතහොත් පීඩාවට පත් ජනතාවක් ගලවා ගැනීම වන දේශපාලන මෙහෙයුමකද යන්න අතිශයින් විවාදිත කරුණකි. ජේසු තුමන් උපන් යුගයේ ඊශ්‍රායලය තිබුනේ රෝම අධිරාජ්‍යයට යටත් රෝමයේ යටත්  විජිතයක් වශයෙනි. රෝම සීසර් වරයා මේ යටත් විජිතයේ ප්‍රජා පීඩනය පවත්වා ගෙන ගියේ අන්ත ප්‍රතිගාමී පූජක පැලැන්තියක පිහිටෙනි. ජේසු තුමන් මේ පූජක පැලැන්තියටත් ඔවූන් දේශනා කළ  යුදෙව් ආගමටත් මුළුමනින්ම පටහැනි දේ කළේය. කීවේය. ' ඇසට ඇසක්- දතට දතක් ' නම්  පළි ගැනීමේ යුදෙව් නීතිය වෙනුවට ඔහු  මයිත්‍රියේ  දේශනාව ඉදිරිපත් කළේය. යුදෙව් ආගමේ දශ පනත අමු අමුවේ කඩ කරමින්  නිවාඩු දිනයේ හෙවත් සබත් දිනයේ පවා ජනතාව වෙනුවෙන් වැඩ කළේය. මහජනයා පීඩාවට පත් කරන  පාලකයන්, පූජකයන්, ගිනි පොලී කරුවන්, ජාවාරම් කරුවන්, වන්චාකාරයන්ට එරෙහිව ඔහු  අති තියුණු වචන මාලාවක් සහිතව ජනතාව සංවිධානය කළේය. එසමයෙහි අතිශයින් පරිහානණියට පත්වෙමින තිබූ යුදෙව් ජන ජීවිත නගා සිටුවන නව අදහස් ඉදිරිපත් කළේය. මුළු මහත් යුදෙව් ජීවන දෘෂ්ටියම කණපිට හැරවීය.

මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ ජෙසුතුමන් කළේ ආගමික මෙහෙයකට වඩා දේශපාලන කටයුත්තක් බවය. මැතිව් මෙසේ සඳහන් කරයි 

"............. යෙරුසිලමේ දුවරුනි ... සතුටින් ඔල්වරසන් දෙන්න 
               අන්න බලන්න .... ඔබලාගේ රජතුමා පැමිණේ 
               එතුමා ජයග්රාහීය ...... විජයග්රාහීය 
               නිහතමානී බැවින් කොටලුවකු පිටේ 
               පැමිණෙන්නේය 
              එතුමා ජාතිය සාමය දේශනා කරන්නේය ........

කොටලුවකු පිටේ නගිමින් තැනින් තැන යමින් යුදෙව් ජාතික විමුක්ති අරගලය සංවිධානය කළ  ජේසු තුමන්ට එරහිව නැගුනු ප්‍රධාන චෝදනාව වූවේද යුදෙව්වන්ගේ රජු ලෙස පෙනී සිටියාය යන කරුණය. අනෙක් චෝදනාව වූයේ තමන් දෙවියන්ගේ පුත්‍රයා යයි කියමින් දෙවියන්ටද නින්දා අපහාස කළ බවය.  එහෙත් නඩුව විමසු  පිලාත් නම් ආණ්ඩුකාරවරයා මුල් වටයේදී " මට මොහුගේ කිසි වරදක්  පෙනෙන්නේ නැතැයි'' කියමින් චෝදනාව බැහැර කළේය. අවසානයේදී ජෙසුතුමන්ට දඬුවම් දිය යුතු යයි එක හඬින්  කෑ ගසමින් ඉල්ලා සිටියේ එතුමන් සමග සිටි ජනතාවමය. 

ජෙසුතුමන්ව  කුරුසියේ තබා ඇණ  ගැසීමෙන් පමණක් රෝම පාලකයන්ට තම ප්‍රජා පීඩන පාලනය කරදරයකින් තොරව පවත්වා ගෙන යා හැකි වූයේ නැත.  ජෙසුන්ගේ අනුගාමිකයන් වූ හා සම කාලීනයන් වූ ජෝන්ද බැප්ටිස්ට් , ජේම්ස්, සිමොන් පීටර් ආදීන්ද මරා දැමීමට සිදුවිය.  මේ ඝාතනත් සමගම රෝම පාලකයන්ට එරෙහිව මහා ජනතා සටනක් අවිලිනි. රෝම හමුදාව ජෙරුසලමේ මහා දේවාලය ගිනිබත් කළහ. ජෙරුසලමේ වැව ලෙයින් රත් පැහැ  ගන්වෙමින් මිනිස් හිස් වලින් පිරිණ.  දස දහස ගණන් යුදෙව්වෝ වහලුන් ලෙස රෝමයට අල්ලාගෙන යන ලදහ. සිර කරුවෝ එකොලොස් දහසක් බඩගින්නේ මිය ගියහ. ජෙසුතුමන් ආගමික  සුරුවමක් බව පත් වූයේ  මේ සියලු කලබගෑනි අවසාන වී රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුවය .

 මේ අසිරිමත් චරිතය  විවිධ  අය  විවිධ අයුරින් දකිති. කියවති. අර්ථ කතනය කරති.  කිසියම්  බෞද්ධයකුකට  ජේසුතුමාව  අධිෂ්ටාන, වීර්ය, ප්‍රඥා පාරමිතා  පිරූ  බෝසත්  වරයකු ලෙස පෙනෙන්නේ නම් එය   පුදුමයට හෝ තරහ ගැනීමට  කරුණක් නොවේ.

(මෙය 2009 දෙසැම්බර 20 දින  දිවයින පුවත් පතේ සංහිතාව තීරුවේ පල වූ ලිපියක් ඇසුරින් සකස් කරන  ලද්දකි)






Monday, 23 December 2013

සංස්කෘතික ආත්ම විශ්වාසයක් ගොඩ නැගීම

අපි සංස්කෘතිය නමැති පළල්  මාතෘකාවෙන් පටන් ගනිමු.  සංස්කෘතිය යනු කුමක්දැයි විග්‍රහ කිරීම සඳහා  බොහෝ කතන්දර ඉදිරිපත් වී තිබේ ඒවා සියල්ල මෙහි ලිවීම කාලය කා දැමීමකි. සංස්කෘතිය නමැති වැඩ බිමෙහි කටයුතු කරන විශාලතම ජාත්යනතර සංවිධානය වන යුනෙස්කෝව සංස්කෘතිය  ගැන ඉදිරිපත් කර තිබෙන අර්ථකථනය පමණක් මෙහි ගෙනහහැර දක්වා අපගේ කතිකාව ඉදිරියට ගෙන යමු.

යුනෙස්කෝව මෙසේ කියයි. සංස්කෘතිය යනු  '' සමාජයක හෝ සමාජ කණ්ඩායමක අනන්‍යතාව පෙන්නුම්කරණ භාවමය, බුධිමය, භෞතිකමය, අධ්‍යාත්මික සියල්ලෙහි  සංකීර්ණ සුවිශේෂත්වයයි '' මේ කියන සියල්ල කිසියම් සමාජයක් තනිවම නිපදවා ගන්නේ නැත. හැම සංස්කෘතියකම දකින්නට තිබෙන්නේ " හුවමාරු කිරීම් වල සහ ණයට  ගැනීම් වල මිශ්‍රණයකි". අවාසනාවකට අපගේ ජාතිකවාදයන් මේ කරුණ භයානක ලෙස අමතක කරමින් තේරුමක් නැති නැති සංස්කෘතික ආරක්ෂනවාදයක් කරා පල්ලම් බැසීමට අපට යෝජනා කරමින් සිටියි. ඔවුන් වඩා කැමති  දොර කවුළු පියන්  පත් ඇරීමට නොව පුළුවන් තරම් වසා තැබීමටය. 

මහාත්මා ගාන්ධි සහ රවින්ද්‍රනාත් තාගෝර් යන නායකයෝ  ජාතික වාදයේ මේ අවගමනාත්මක ලක්ෂණය ගැන දනුම්වත් වූහ. " සතර අතින් හමනා සුළන් වලට ඔබගේ ගේ කුටියට  ඇතුළුවීමට ඉඩ  ලැබෙන සේ ඔබගේ  කුටියේ කවුළු  පියන්  පත් විවර කර තබන්න . එහෙත් ඒ සුළන්  වලට ඔබ උදුරා ගෙන යාමට ඉඩ නොතබන්න" ඒ ඔවුන්ගේ සංස්කෘතික දැක්ම පෙන්වන ප්‍රකට කියමනකි.

 අපගේ සියලු අට අනුවක් රෝග සහ නව අනුවක් ව්‍යාධි වලට  එකම හේතුව බටහිර සංස්කෘතිය අප මත කර තිබෙන බලපෑම යයි අවිචාරාත්මක අදහසක් වගා දිගා වෙමින් තිබේ. බටහිර යුරෝපානු සංස්කෘතියේ වැදගත් ලක්ෂණය වන්නේ  එය කිසි විටකත් තමන්  වසා ගැනීමේ වරදට හසු  නොවීමය. එය අතීතයේ සිටම පැවතියේ විවෘතාවය. පෙරගදිග ඇතුළු වෙනත් සංස්කෘතියකින් ලබා ගැනීමට තිබූ කිසිම දෙයක් එය ඇත හරියේ නැත. බටහිර ජනයා පෙරදිගින් දැනුම සහ සංස්කෘතිය උකහාගත් ආකාරය අප මවිත කරන තරමේ  වෘත්තාන්තයකි. එහෙත් අපගේ ජාතික වාදී කතිකාව මේ අසිරිමත් කතාවේ  අල්ලා ගත්තේ පිට පොත්ත පමණි.

"සංස්කෘතික වශයෙන් ආත්ම විශ්වාසයක් ඇති සමාජයක්  බාහිර බලපෑම් සඳහා වඩා විවෘත වන අතර එමගින් වැඩි වාසියක් ලබයි. අනෙක් අතට ආරක්ෂණ වාදී සමාජයක් වැඩි වැදගත් කමක් ලබා දෙන්නේ හිරි වැටී ඇති සම්ප්‍රදායන්ටය." නො එසේ නම් පසුගාමී සම්ප්‍රදායන්ටය. සංස්කෘතික ආත්ම විශ්වාසයක් ඇතිකර ගැනීමෙහි පදනම වන්නේ විචාර චින්තාවට ඇති ඉඩකඩයි. සන්ස්කෘතික ආරක්ෂනවාදය වෙනුවට සනස්කෘතික විචාරය බලගන්වන චින්තන ධාරාවක් අපගේ ජාතිකවාදී කතිකාව ඇතුලට  රැගෙන ආ යුතුය " ජාතිකවාදීන් එක්ක මොනව කතාකරන්නදැයි'' අපගේ මිතුරෙකු උපහාසයෙන් යුතුව මේ මෑතකදී පැවසුවේය. ජාතිකවාදය දේශපාලන භූමියෙන් ලෙහෙසියෙන් පල්ලම් බැස යන්නේ නැති නිසා වඩා යහපත් ජාතිකවාදයක් වෙනුවෙන් වැඩ කිරීම ජාතිකවාදය බැහැර කිරීමට වඩා ප්‍රාරයෝගික වන බව අපි ඔහුට යෝජනා කළෙමු.

සංස්කෘතික විචාර චින්තනයකට අවශ්‍ය විචාරාත්මක නිදහස අපගේ සංස්කෘතියට උරුමද ? අපි ඒ ගැන ඊ ලඟට කතා කරමු.

Friday, 13 December 2013

පුනරුදයක් උදෙසා ..................

1990  දශකයේ මුල් කාලයේදී පේරාදෙණියේ දී අපට ගුණපාල ධර්මසිරි නම් අපූරු මිනිසෙකු  හමු විය. ඒ දවස් වල ඔහු  විද්‍යාව, කලාව දර්ශනය ආදිය ගැන නිතරම කියමින් සිටි කතාවක් තිබිණි.

''.........අද කාලයේ විද්‍යාවෙන් කෙරෙන්නේ මිනී මැරීමයි
කලාවෙන් කෙරෙන්නේ කම් සැප වන්දනාවයි
දර්ශනය  නිකම්ම නිකම් වචන හරඹයක් විතරයි
ආගම අධ්යාත්මිකත්වය පලවා හැර ලව්කික ජීවිතය තොරොම්බල් කරන කට්ටඩි කමක් විතරයි.
මේක ශිෂ්ටාචාර විපතක්.මේ විපත වටහා ගැනීමට නොහැකිවීම  තරම් කාලකන්නි කමක් තවත් නැහැ................''

අවුරුදු විස්සකට විතර පස්සේ ලෝකය  වටේත් අපේම  ජීවිත වටේත් ලොකු රස්තියාදුවක් ගසා ආපසු හැරී බැලූ විට මහාචාර්ය ධර්මසිරි පවසූ එම කතාව තවත් තදින් තහවුරු වෙන බව දැනේ. කලාව විද්‍යාව දර්ශනය ආදිය ගැන ධර්මසිරි මාදිලියේ කතාවක් දේශපාලනය ගැන ද කිව හැකිය.

''...............අද කාලයේ දේශපාලනය කියන්නේ වසගයක්(seduction) විතරයි ( මේ කතාව තවත් බෝ හෝ දෙනා  කියා තිබේ  )රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවට වසඟකරුවන් දේශපාලන වැයික්කිය අල්ලාගෙන තිබේ.
මිනිසාගේ හැම ප්‍රශ්නයකටම දේශපාලනයෙන් උත්තර හොයන්න පුළුවන්ය යන අදහස මිත්‍යාවක් පමණය . එය  දේශපාලන ඌනිතවාදයකි මානව සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් දේශපාලනයට දීමට හැකි වෙන්නේ පාර්ශ්වීය උත්තර පමණය....................''

 දේශපාලනය වසඟයක් පමණක් වී ඇති කලෙක දේශපාලනයට මිනිස් ප්‍රශ්න වෙනුවෙන් දීමට හැකි පාර්හ්වීය උත්තර පවා අන්තිම දුප්පත් ඒවා වනු ඇත.

මිනී නොමරණ විද්‍යාවක්!
කාමය ගැන පමණක් නොව අර්ථය, ධර්මය සහ මෝක්ෂය ගැනද යොමුවන කලාවක්!
හුදු තර්ක වෙනුවට මේ ශිශ්ටාචාර විපතින් ගැලවීමට ආලෝකය පෙනෙවන දර්ශනයක්! 
වසඟය වෙනුවට මිනිස් විචාර චින්තාව විසින් පුබුදුවන මහා සම්මතය යලි බල ගන්වන දේශපාලනයක්! 
ලෝකයට අවශ්‍ය වී තිබේ.

සිංහලයාගේ ජාතික චින්තනය මේ වෙනුවෙන් යොමු කරන මහා කතිකාවක් අද අවශ්‍ය වී තිබේ.   

Thursday, 12 December 2013

දී කිරි.... දී කි.....රි ගේනව දීකිරි

සතර දිගන්තය නැවතුනේ ලිවීමට බොහෝ දී ඉතිරිවී තිබියදීය.  දැන් නැවතත් සතර දිගන්තය සතර දිග විහිදා ලිය යුතුය. දැලි පිහියක් සහ දීකිරි හැලියක් අප ඉදිරි පිට  බැබලි බැබලී තිබෙයි. කමුද? බලා හිඳිමුද ? ඔන්න ඔහේ කමු.

Friday, 24 May 2013

පැතිර සුගන්දය වෙද මෙහි එය ඔබය හිමී

 සහෘදයිනි,
තව නොයෙක් ලිපි ලිවීමට සැලසුම් කරමින් සිටියද
සතර දිගන්තය නතර කිරීමට සිදුවී තිබේ.
තාවකාලිකවය.

මෙහි මෙතෙක්  පළ වූ  ලිපි  කියවූ, අගැයූ, රසැයූ, යලි පළ කරවූ, එමෙන්ම ගැරහූ සියලු දෙනාටම තුති පුදමි.

නිතර   වසන්තය නැත දිවි මගට           හිමී 
කතර   මැදින් යත පිරිපත නැත          අහිමී 
පැතිර   සුගන්දය වෙද මෙහි එය ඔබය   හිමී 
සතර    දිගන්තය සමගින් නැවත           එමී

Tuesday, 21 May 2013

මහ බඹාට මුහුණු දෙකයි : සිංහල ජාතිකවාදයට මහසෝනා වැහීම


මේ ලිපියේ මාතෘකාව උපුටා ගත්තේ නැසී ගිය සිනමා නළු ජෝ අබේවික්‍රම ලියු 'මහ බඹාට මුහුණු දෙකයි' නම් කෘතියෙනි. සපරගමු සමන් දේවාලයේ කෙරෙන පෙරහැරේ ඉදිරියෙන්ම යන මහ බඹා මුහුණු දෙකක්  පළඳියි. එකක් යක්ෂ මුහුණකි.අනෙක දේව මුහුණකි. සබරගමුවේ දක්නට ඇති මෙම පාරම්පරික සංස්කෘතික අංගයේ තේරුම ගැන විවිධ අර්ථකතන ඇත.
මේ ලිපියට මෙකී මුහුණු දෙකේ මහ බඹා කැඳවාගෙන ඇත්තේ වෙන තේරුමකිනි.කලින් ලිපිවලින් අප කතා කරමින් සිටියේ ජාතිකවාදය ගැනය. කෙනෙක් ජාතිකවාදියෙකු වනවිට එසේත් නැතිනම් ජාතිකවාදය ගැන හදාරන විට සිහිපත් කර ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ජාතිකවාදය දේශපාලන මතයක්  සහ වැඩ පිළිවෙලක් ලෙස විශාල ශක්‍යතාවන් මෙන්ම විශාල සීමාකම් වලින්ද යුක්ත වන බවය. ජාතිකවාදයේ සීමාකම් ගැන වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ අන් අයටත් වඩා ජාතිකවාදීන්මය.
 මෙම ලිපිය ලියන්නේ එවැනි එක සීමාවක් ගැන කතා කිරීමටය.'ජාතිකවාදය යනු ජානුස් මුහුනැති සත්වයෙකි'ය (Janus faced nationalism)
යන ප්‍රසිද්ධ කියමන බොහෝදෙනා උපුටා දක්වන්නට කැමතිය. ජානුස් යනු ග්‍රීක සහ රෝම දේව කතාවක එන දෙවියෙකි. ජනවාරි මාසය නම් කර තිබෙන්නේ මේ දෙවියාගේ නමිනි. ජානුස්ට මුහුණු දෙකකි. ඉදිරිපස මුහුණින් ඔහු ඉදිරිය හෙවත් අනාගතය දෙස බලයි. පසු පස මුහුණින් ඔහු අතීතය දෙස බලයි.ජාතිකවාදයද ජානුස් මෙන් නිතරම අතීතය දෙස බලයි. අතීතය ගැන ඉතිහාසය ගැන කිසිවක් කියන්නේ නැතිව ජාතිකවාදයට පැවතීමක් නැත. බොහෝ ජාතිකවාදයන් අපට හිමිව තිබු ස්වර්ණමය අතීතයක් ගැන අතීත ශ්‍රී විභූතියක් ගැන කතා කරන ආකාරය අපි දැක ඇත්තෙමු. ජාතිකවාදීහු තමන්ගේ දේශපාලන අවශ්යතාවන්ට අනුව අතීතයට යටගියාවට අර්ථකතන සපයති. අතීත කථනයකින් තොරව ජාතිකවාදයට පැවතිය නොහැකිය.
බොහෝ ජාතිකවාදවල තිබෙන ලොකු දුර්වල කමක් වන්නේ අතීතය දෙස පමණක් බැලීමය. සමහර ජාතිකවාදීන් මුළුමනින්ම ජීවත්වන්නේ අතීතයේය. ඒ අතින් ගත් කල බොහෝ සිංහල ජාතිකවාදීන් සමාන වන්නේ මුහුණු දෙකකින් ලෝකය දෙස බලන බටහිර ජානුස්ට හෝ පෙරදිග සපරගමුවේ මහා බඹාට නොව තනි මුහුනක් ඇති මහසෝනාටය.මහසෝනාද මහා බඹා මෙන්ම සිංහලයාගේ සංකල්පයකි. මහසෝනාට ඇත්තේ එක මුහුණකි. එය වලසෙකුගේ මුහුණකි..එයද පිහිටා තිබෙන්නේ ඉදිරියට නොව  පිටිපස්සටය. මහසෝනාට ඒ නිසා පෙනෙන්නේ පිටිපස්ස පමණි. ඔහුට ඉදිරියක් බැලිය නොහැකිය.
බොහෝ සිංහල ජාතිකවාදීන්ටද  වැහී ඇත්තේ මහසෝනාය. ඔවුන්ට අතීතය පමණක් පෙනෙන්නේ එබැවින්ය. අද සිංහලයාට අවශ්‍ය වී ඇත්තේ සිංහලයාගේ රාජ්‍යය,දේශපාලනය, සංස්කෘතිය ආදිය යහපත් ලෙස සකසා ගන්න අනාගතය දෙස බලන ජාතිකවාදයකි. මහසෝනා වැහුන පිටිපස්ස පමණක් බලන ජාතිකවාදයකට මෙය කළ නොහැකිය.
මේ මහසෝනා වෙනුවට මහා බඹා කැඳවිය යුතු කාලයකි.


Thursday, 16 May 2013

ජාතිකවාදය පාට වෙනස් කරන කටුස්සෙකි: මාක්ස්වාදයට ජාතිකවාදය මුණගැසීම

ජාතිකවාදය මතවාදයක් මෙන්ම දේශපාලන ව්‍යාපාරයකි. කොමියුනිස්ට්වාදය ද මතවාදයක් මෙන්ම දේශපාලන ව්‍යාපාරයකි. ජාතිකවාදයට මහා චින්තකයන් මහා දාර්ශනිකයන් නැත. කොමියුනිස්ට්වාදයට මාක්ස්වාදය නම් මහා දාර්ශනික මතවාදයක් ඇත. මාක්ස්, එංගල්ස්, ලෙනින්, රෝසා ලක්සම්බර්ග්, ට්‍රොට්ස්කි, ග්රම්ස්කි, අල්තුසර්, පුලන්ට්සාස් වැනි චින්තකයන්ද බොහෝ දෙනෙක් සිටිති. මුල් කාලයේදී මාක්ස්වාදියෝ ජාතිකවාදය පයිසයකට වත් ගණන් නොගත්හ. ජාතික විඤ්ඤාණය යනු 'ව්‍යාජ විඤ්ඤාණයක්' බවත් සැබෑ  විඤ්ඤාණනය යනු පන්ති විඤ්ඤාණය බවටත් ඔවුහු තර්ක කළහ. එහෙත් මේ ඊනියා ව්‍යාජ ජාතික විඤ්ඤාණයන් මත පදනම් වූ ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර වලට සැබෑ විඤ්ඤාණයන් යනුවෙන් හඳුන්වනු ලැබූ පන්ති විඤ්ඤාණයන් මත පදනම් වූ කොමියුනිස්ට් වාදී දේශපාලන ව්‍යාපෘති විශාල අර්බුදයකට යැවීමට හැකි විය. දෙවන සමාජවාදී ජාත්‍යන්තරය විසිරී ගියේ යුරෝපයේ මතු වූ ජාතිකවාදයේ බලපෑමෙනි. ලංකාවේ  ප්‍රථම මාක්ස්වාදී පක්ෂය වූ  ලංකා සමසමාජ පක්ෂයේ පළමු වන බෙදීම සිදුවුනේ  යුද්ධයට සහයෝගය දෙන්නේද නැද්ද යනුවෙන් ජාතිකවාදය විසින් මතුකරනු ලැබූ බරතල ප්‍රශ්නය මතය. සියල්ලටට  පෙර රට ආරක්ෂා වී තිබිය යුතු යයි විශ්වාස කළ  පිරිස බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ යුධ ව්‍යාපෘතියට සහයෝගය දෙමින්  ලංකා කොමියුනිස්ට් පක්ෂය ලෙස සමසමාජයෙන් කැඩී  ගියහ. ලෝකයේ බොහෝ මාක්ස්වාදී ව්‍යාපාර අර්බුදයට ගියේ  ජාතිකවාදයේ බලපෑම නිසාය. එය ව්‍යාජ විඤ්ඤාණයක් නම් එවැනි ව්යාජයකට  එවැනි  'හපන් කමක්' එදා මෙන් අදත්  කළ  හැකිව තිබෙන්නේ කෙසේද? මේ තත්වය ගැන විමසන සමහර ජාතික වාදීන් නම් කියන්නේ ඇත්තටම ව්‍යාජ විඤ්ඤාණනය වන්නේ ජාතික විඤ්ඤාණනය නොව  මාකස්වාදීන් ඉදිරිපත් කරන පන්ති විඤ්ඤාණය ම බවය.

 ඉහත පුර්විකාව ලියුවේ ජාතිකවාදය සහ ජාතිය ගැන කරන සාකච්චාවකදී මාක්ස්වාදය ගැන කතා කර නොකර බැරි බැවිනි. මාක්ස්වාදයට ජාතිය සහ ජාතිකවාදය ගැන ගැඹුරු න්‍යායක් තිබුනේ නැත. මාක්ස්වාදයට පමණක් නොව කිසිම දේශපාලන මහා ආඛ්‍යානයකට ජාතිකවාදය පිලිබද ලොකු පැහැදිලි කිරීමක් කළ  හැකිවී නැත. එයට හේතුව වන්නේ එක ලේඛකයකු ප්‍රකාශ කර තිබෙන පරිදි ජාතිකවාදය විටින් විට කටුස්සෙකු තම පාට වෙනස් කරන බැවිනි. ඒ ඒ අවස්ථාවේ හැටියට විවිධ පාට වලින් පෙනී සිටින බැවිනි. මාක්ස්වාදයට  ජාතිකවාදයේ මෙම 'කටුසු ගතිය' සදාකාලික ප්‍රහේලිකාවක් වී තිබේ. එහෙයින් මාක්ස්වාදය සහ ජාතිකවාදය අතර පවතින හැප්පීම විමසා බැලීම සුදුසුය.


එරික් හොබ්ස්බ්වන් නම් මාක්ස්වාදී ඉතිහාසඥයා පවසන පරිදි 1870 දශකයෙන් පසු යුරෝපයේ ප්‍රධාන දේශපාලන වැඩබිමක් වුයේ ජාතිකවාදයයි. එසේම මාක්ස්වාදයද මේ යුගයේ යුරෝපා දේශපාලනයේ බලවත් දේශපාලන මතවාදයක් බවට පත්ව තිබිණි. දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය බිහිවුනේ මෙම යුගයේදීය. කෙසේ වුවද කාල් මාක්ස් ෆ්‍රෙඩ්රික් එංගල්ස් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ප්‍රධාන විශ්ලේෂණයට පාත්‍ර වූ කරුණ වුයේ ජාතිය යන්න නොවේ. ඔවුන්ගේ මූලික දාර්ශනික දේශපාලන ගැටලුව වුයේ 'ධනවාදයේ දේශපාලන ආර්ථිකය' කුමක්ද යන්න පැහැදිලි කිරීමය. මේ හේතුව නිසා මාක්ස්වාදයට ජාතිකවාදය ගැන ඒත්තු ගැන්විය හැකි ගැඹුරු න්‍යායක් ගොඩනගන්නට නොහැකි විය. නමුත් ලංකාවේ සමහර මාක්ස්වාදී වාමාන්ශිකයන් කල්පනා කරන්නේ ජාතිය සහ ජාතිකවාදය පිලිබඳ හොඳම පැහැදිලි කිරීම මාක්ස්වාදයේ තිබෙන බවය. බ්‍රිතාන්‍යයේ ප්‍රකට මාක්ස්වාදී විද්වතකු වූ ටොම් නෙයර්න් පවසා සිටියේ ජාතිකවාදය පිලිබඳ ගැඹුරු න්‍යායක් සකසා ගැනීමට නොහැකි වීම මාක්ස්වාදය මුහුණ දුන් බරපතලම දාර්ශනික පරාජය බවය. ග්‍රීක මාක්ස්වාදියෙකු වන නිකො පුල්න්ට්සාස ප්‍රකාශ කළේ ' ජාතිය පිලිබඳ මාක්ස්වාදී න්‍යායක් නැති බව පිළිගත යුතු'' බවය.


සමාජයේ ඇත්තේ තිරස් බෙදීම් නොව සිරස් බෙදීම් බව මාක්ස් සහ එංගල්ස් පෙන්වා දුන්හ. ඒ අනුව සමජයේ සැබෑ බෙදීම් ඇත්තේ ජාතීන් අතර නොව පන්තීන් අතර බව ඔවුන් ගෙන හැර දැක්වූ අදහසය. සමාජයේ  ඉතිහාසය පන්ති ගැටුම්වල ඉතිහාසයක් ලෙස පෙන්වා දුන් මාක්ස්වාදය මෙම සැබෑ බෙදීම් වලදී ජාතිය අදාළ නොවන බවත් එය මායාවක් බවත් පවසයි. මාක්ස් එක එල්ලේම පැවසුවේ කම්කරුවාට රටක්, ජාතියක් හෝ දේශයක් නැති බවය. එංගල්ස් විශේෂයෙන් පෙන්වා දුන්නේ කම්කරු පන්තික ජනයා ස්වාභාවිකවම ජාතිකවාදී අගතීන්ගෙන් නිදහස බවත් සමස්ත කම්කරු පන්තික ජන සැකැස්ම අත්‍යවශ්‍යයෙන්ම මානුෂිකවාදී සහ ජාතිකවාද විරෝධී වන බවය. ධනවාදය ලෝකය පුරා ව්යාප්තවීමෙදී නිෂ්පාදන බලවේග විප්ලවීය ආකාරයට මෙහෙයවීමත් පැරණි සම්ප්‍රදායයන් අතුරුදහන් වීමත්, ජාතිකමය බෙදීම් තුරන් වී යන බවත් ඔවුහු කොමියුනිස්ට් ප්‍රකාශනය නම් ලියවිල්ලේ සඳහන් කළහ.


 එහෙත් වෙළඳපොල ධනවාදය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික රාජ්‍යයේ බිහිවීම අත්‍යවශ්‍ය සාධකයක් බවටද තර්ක කිරීමට මාක්ස්වාදයට සිදුවිය. පොදු භාෂාවක් කතා කරන ජනතාවගෙන් සමන්විත භූ දේශපාලන ඒකක  හෙවත් ජාතික රාජ්‍යයන් ධනවාදය නිසා නිර්මාණය බව ඔවුහු පිළිගත්හ.  ඒ අනුව ජාතිකවාදය යනු ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන මතවාදයකි. නමුත් ඒ සමගම ඔවුන් ජාතිකවාදය සැලකුවේ කම්කරුවා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ගෙනයන්නාවූ අරගලයෙන් 
ඔවුන්  පීලි පන්නවන 'ව්‍යාජ විඤ්ඤාණයක්' ලෙසය.

මාක්ස්වාදය දර්ශනයක් වන්නාසේම දේශපාලන ව්‍යාපාරයක්ද වන්නේය.දාර්ශනික තලයෙදී ජාතිය සහ ජාතික වාදය පිලිබඳ ඉහත කී අකාරයේ නිශේධනීය ආකල්ප දැරුවද දේශපාලන තලයේදී ජාතිය යන්න පිළිගනිමින් කම්කරුවාදී දේශපාලන න්‍යාය පත්‍රයට විටින් විට කඩා පනින ''ජාතික ගැටලුව'' හමුවේ විවිධ ප්‍රයෝගික ස්ථාවරයන්ට පැමිණීමට මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර වලට සිදුවිණී. එංගල්ස් හේගල්ට අනුව යමින් ජාතීන් වර්ග කර දක්වීමට ඉදිරිපත් විය. එන්ගල්ස්ට අනුව එතිහසික ජාතීන් සහ එතිහාසික නොවන ජාතීන් වශයෙන් ජාතීන් වර්ග දෙකකි. එතිහාසික නොවන ජාතීන් ලෙස එංගල්ස් හැඳින්වූවේ නැගෙනහිර යුරෝපානු ස්ලාව් ජන කොටස්ය. ඒ වෙනුවෙන් ඔහු තරමක ගර්හාත්මක යෙදුමක්ද ඔහු පාවිච්චි කළේය . එංගල්ස් මෙම ජන කොටස් හැඳින්වුයේ 'ජන නටබුන්'වශයෙනි. එංගල්ස්ගේ මෙම වර්ග කිරීමට අනුව නියම ජාතීන් වුයේ ප්‍රංශ, ඉංග්‍රීසි ආදී බටහිර යුරෝපීය මහා ජාතීන් පමණය. ධනේශ්වර ක්‍රමය සිය වානිජවාදී යුගයේදී අධිරාජ්‍යයන් ගොඩනැගුවේ මෙකී මහා බලවත් ජාතීන් මුලික කරගනිමිනි. එංගල්ස් සඳහන් කළ  ආකාරයට එතිහාසික නොවන ජාතීන්ට නියම ජාතීන් බවට පත්වීමට නම් තමන්ගේ නටබුන් ජාතිකත්වයන් අත්හැර තෝරාගත්  එතිහාසික ජාතියක් ඇතුලෙහි ස්වීකරණය විය යුතුය. ලංකාවේ දෙමල සහ මුලිම් ජන කොටස් සිංහල ජාතිය ඇතුලෙහි ස්වීකරණය විය යුතුය යනුවෙන් සමහර සිංහල ජාතිකවාදීන් අද ඉදිරිපත් කරන්නේ එදා එංගල්ස් නමැති කොමියුනිස්ට්වාදියා ඉදිරිපත් කළ  අදහසමය.

කෙසේ වුවද 'ජාතීන්ගේ සිරගෙය' ලෙස මාක්ස්වාදය විසින් ම නම් කළ  රුසියානු අධිරාජයය සහ ඔස්ට්රෝ හංගේරියානු අධිරාජ්‍යය බිදවට්ටවමින් යුරෝපයේ සිදුවූ ජාතිකවාදී නැගිටීම් හමුවේ එකිනෙකට වෙනස් විවිධ දේශපාලනික සහ දාර්ශනික ස්ථාවර ගැනීමට දෙවන සමාජවාදී ජාත්‍යන්තරයේ බුද්ධිමතුන්ට සිදුවිය. ඒ ස්ථාවරයන් සමහරක් මෙසේය.
1. ජාතිකවාදය සුළු ධනේශ්වර මතවාදයකි 
2.බුශුවා පන්තිය ජාතිකවාදය යොදාගන්නේ පීඩිත ජනයාගේ විමුක්තිය උදෙසා වන අරගලය පීලි පන්නවීමේ 'ව්‍යාජ විඤ්ඤාණයක්' වශයෙනි 
3. ජාතික විමුක්ති ව්‍යාපාරවල හෙවත් අධිරාජ්‍යවාදයට එරෙහිව යටත් විජිත රටවල ජාතික ධනේශ්වර පන්ති විසින් ඉදිරිපත් කරනු ලබන ජාතිකවාදයන්හි ප්‍රගතිශීලී ස්වභාවයක් ඇත 
4. සමාජවාදී සමාජයක් ස්ථාපනය වන තුරු වැඩවසම් අධිරාජ්‍යයන්ට ගොදුරුවී ඇති ජාතීන්ට ඒ අධ්රජ්‍යයන්ගෙන් වෙන්වී තමන්ගේම වූ රාජ්‍යයක් ගොඩ නගා ගැනීම සඳහා ඇති අයිතිය පිළිගත යුතුය.

මේ කාලයේ සිටි ප්‍රකට මාක්ස්වාදී දාර්ශනිකයන් ජාතිකවාදය සහ සහ ජාතිය සම්බන්ධයෙන් දැරුවේ එක සමාන න්‍යායික අස්තානයක් නොවේ උදාහරණයක් ලෙස ප්‍රබල ජාත්‍යන්තරවාදිනියක් වූ රෝස ලක්සම්බර්ග් කිසිම ජාතිකවාදයක කිසිම හරයක් දුටුවේ නැත. ඒ නිසා ඇය රුසියානු අධිරාජ්‍යවාදයට එරහිව පෝලන්ත ජාතික විමුක්ති අරගලය විසින ඉස්මතුකරනු ලැබූ '' ජාතීන්ගේ ස්වයන් තීරණ අයිතිය" යන සටන් පාඨයට පෝලන්ත ජාතික කාන්තාවක් ලෙස ඉදිමින්ම විරුද්ධ වුවාය.

 මීට ප්‍රතිපක්ෂව ඔස්ට්‍රියානු මාක්ස්වාදියකු  වූ ඔටෝ බවර් සංස්ක්රුතිකවාදී  ප්‍රවේශයක් අනුගමනය කරමින් ජාතිය යන්න යතාර්ථයක් ලෙස පිළිගත්තේය. ඒ අනුව ඔහු ජාතීන්ගේ ස්වයන් තීරණ අයිතිය පිලිබඳ සිද්ධාන්තයට පක්ෂවෙමින්ද ජාතීන් අතරම නැවත මතුවිය හැකි විවිධ ජන කොටස්වල සංස්කෘතික අනන්යතාවන්ද පිළිගනිමින් ඒවාටද ස්වාධීනත්වය හිමි විය යුතු බව යෝජනා කළේය. ඔටෝ බවර් ඒ අනුව එක්තරා අකාරයක කොමියුනිස්ට්වාදී ෆෙඩරල්වාදියකු ලෙස  හැඳින්විය හැකිය.

මාක්ස්වාදී චින්තන සම්ප්‍රදය තුල ජාතිය සහ ජාතිකත්වය පිලිබඳ ඉතා පැහැදිලි ස්ථාවරයක් වී අයි ලෙනින්ට තිබුනේය යන්න සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් එය වැරදි කල්පනාවකි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාමත්ම ප්‍රයෝජයතාවාදී ස්ථාවරයක් ගත් මාක්ස්වාදී නායකයා වන්නේ ඔහුය. මාක්ස්වාදය සහ රුසියාවේ ජාතික ගැටලුව ගැන ඉතා විශිෂ්ට අධ්‍යයනයක් කල වෝකර් කෝනර් නම් විද්වතා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් විසින් ගන්න ලද එකිනෙකට වෙනස් ස්ථාවර තුනක් ගැන පෙන්වා දෙයි.


1. බලය ලබා ගැනීමට පෙර ලෙනින් සියලුම ජාතීන්ට ස්වයන්තීරනය සඳහා ඇති අයිතිය පිලිබඳ පොරොන්දුවක් දෙයි 
2. බලය ලැබූ පසු ලෙනින් මේ අයිතිය ප්‍රතික්ෂේප කරයි 
3. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය කිසිම ජාතිකවාදී මතයකින් දියාරු නොවන සේ දැඩි ලෙස හසුරුවයි.
ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් ගත් ස්ථාවරය හරියටම කුමක්ද යන්න ගැන ලංකාවේ මාක්ස්වාදීන් අතර කලක් විශාල මට්ටමේ මතභේද ඇති වී තිබුනේ  ලෙනින් රුසියානු බල දේසපාලන සන්දර්භය තුල ගත්  විවිධ ප්‍රයෝජ්‍යතාවාදී ස්ථාවර නිසාය. කෙසේ වුවද මාක්ස්වාදී ව්‍යාපාරය නිසා ජාතිකවාදී න්‍යායට එක සේවයක් වුනි. එනම් ජාතිය පිලිබඳ කෘත්‍ය නිර්වචනයක් ඉදිරිපත් කරන්නට හැකිවීමය. මේ නිර්වචනය ඉදිරිපත් කළේ ලෙනින්ගෙන් පසුව සෝවියට් දේශයේ නායකයා වූ ජෝසප් ස්ටාලින්ය.  ජාතියක් යනු නිශ්චිත භූමි ප්‍රදේශයක පොදු භාෂාවක් කතාකරන පොදු ආර්ථික ජීවිතයකට සම්බන්ධ සහ පොදු සංස්කෘතික හැගීම්  සමුදායක් සහිත  ප්‍රජාවක් ලෙස ඔහු අර්ථ කථනය කළේය.

ජාතිකවාදය පිලිබඳ මාක්ස්වාදී අදහස් පද්ධතිය විවිධ පරස්පරතාවන්ගෙන් ගහන බව ඉහත විස්තරය සලකා බලන විට පැහැදිලිව පෙනී යයි. කෙසේ වුවද ජාතිකවාදය පිලිබඳ මාක්ස්වාදී අදහස පද්ධතිය වැදගත් වන්නේ එය ජාතික වාදය ඉදිරිපත් කරන සමාජ සංවිධාන ක්‍රමයන්ට විකල්පව වෙනස් ආකාරයේ සමාජ සංවිධාන මාදිලියක් වෙනුවෙන් පෙනී සිටින විකල්ප දෘෂ්ටිවාදයක් ලෙසය.









Wednesday, 15 May 2013

අහා!දනිමි ඔබ සිංහල වූ පරිදී (ජාතිය පහල විය... ජාතික වීඤ්ඤාණය පහල විය)

අහා  දනිමි ඔබ සිංහල වූ                පරිදී
හහා  එදැන ගන්නට දෙස් වීද           මදී
ලිහා  බලන මල්ලක් ඔබ ඔබන         විදී
මහා  පුදුමයකි ගියෙ  මගේ මතත්     නිදී

(රැයිපියෙල් තෙන්නකෝන් - වවුලුව) 

ජාතිය සම්බන්ධයෙන් නම් බොහෝදෙනා කියන්නේ ජාතිය පහල වීමට පෙර ජාතික 
වීඤ්ඤාණය පහල වන බවය. විශේෂයෙන් ජාතිය යන්න සිතුවිලි මුලික කරගත් හැගීමක් නැතිනම් පරිකල්පනයක් යයි අදහස් කරන අය සිතන්නේ ජාතිය යනු මතවාදාත්මක පරිකල්පනයකින් බිහිවන්නක් බවය. සතර දිගන්තයේ පළවූ දර්ශනයේ දිළිඳු බව සහ දිළිඳු බවේ දර්ශනය ලිපිය ගැන සඳහන් කරමින් ලිපියක් ලියන අජිත් ජයසිංහ ද ජාතිය පරිකල්පනය කරගැනීමක් ගැන සඳහන් කරයි.


ජාතිකවාදය දාර්ශනික වශයෙන් දිළිඳු වුවද ජාතිකවාදය ගැන පොහොසත් දේශපාලන සංස්කෘතික සංවාදයක් ඇති කර ගැනීමට එම දිළිඳු කම බලපාන්නේ නැත. නලින්ද සිල්වා, ජයදේව උයන්ගොඩ,ගාමිණී  වියන්ගොඩ, කේ. එ.න් ඕ. ධර්මදාස සහ පශ්චාත්නුතනවාදී අදහස් දරන කිහිප දෙනෙක් ඇතුළු එකිනෙකට වෙනස් මතවාද දරන කිහිප දෙනෙක් හැරෙන්නට සිංහල භාෂාවෙන් මේ විෂය පිලිබඳ ගාලගෝට්ටි මට්ටමට නොවැටෙන මාදිලියේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා දකින්නට අඩුය. එම පසුබිමෙහි ලා සලකන කල තමන්ගේ 'සිංහල ජාතිකත්වය' ගැන අජිත් ලියා තිබෙන ලිපිය වනාහී ප්‍රතිචාර ඔස්සේ ඉදිරියට ගෙන යා හැකි සංකල්ප කිහිපයක්ම අඩංගු වුවකි. නුතන ජාතික රාජ්‍යය ගැන ලියන මෙම ලිපි මාලවේ ජාතිකවාදය ගැන ලියන්නට සැලසුම් කළ ලිපි කිහිපය ඉක්මන් කරනු ලැබුවේ අජිත්ගේ එම ලිපියයි.


ජාතියක් යනු "පරිකල්පිත ප්‍රජාවක්ය" යන අදහස
ජාතිය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් වී ඇති බොහෝ ප්‍රවාද අතරින් එකක් පමණය. එහෙත් එය වර්තමානයේ වඩාත් ජනප්‍රියම ප්‍රවාදයය. එය මුලින්ම ඉදිරිපත් කළේ  බෙනඩික්ට් ඇන්ඩර්සන් නම් විද්වතාය. ඇන්ඩර්සන් ජාතිකවාදියෙකු නොවීය. එසේ සඳහන් කරන්නේ ජාතිය සහ ජාතිකවාදය ගැන අදහස් ඉදිරිපත් කරන්නට ජාතිකවාදියෙකු වීම අත්‍යවශ්‍ය නොවන බව අවධාරණය කිරීමටය. ජාතිය සහ ජාතිකවාදය එකකි. එය පිළිබඳ  හැදෑරීම අනෙකකි. එහෙයින් ජාතිය යනු කුමක්දැයි විමසීමට පෙර ජාතිය සහ ජාතිකවාදය ගැන කෙරෙන හැදෑරීම් වල ස්වභාවය ගැන යමක් සඳහන් කිරීම සුදුසුය.

ජාතිය සහ ජාතිය පිලිබඳ කෙරෙන සමස්ත හැදෑරීම් ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනකට අදාළ ගැටළු කේන්ද්‍ර කරගනිමින් ඉදිරිපත් වී තිබෙන බව පෙනේ. 
1.දාර්ශනික සහ සදාචාරාත්මක ගැටළුවක් ලෙස 
2.දේශපාලනික සහ මානව විද්‍යා ගැටළුවක් ලෙස 
3.ඓතිහසික සහ සමාජ විද්‍යාත්මක ගැටළුවක් ලෙස  වශයෙනි.

දාර්ශනික සහ සදාචාරවාදී කෝණයෙන් බලන කල ජාතිය පිලිබඳ පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න ඇසිය හැකිය. ජාතිය යන්න කෙතරම් දුරට මනුෂ්‍යත්වයට ඔබින සංකල්පයක්ද? ජාතිය යන සංකල්පයට මනුෂ්‍ය ජීවිතයේ  හිමි නියම තැන කුමක්ද? සාමාජික ජීවිතයේ පරම නිෂ්ටාව ( හේගල් පැවසු පරිදි ) ජාතියකට ඒක රාශී වීමද ?

මානව විද්‍යා සහ  දේශපාලන අර්ථයකින් බලනවිට අපට පෙනී යන්නේ ජාතිය යනු කුමක්ද? තනි තනි පුද්ගලයා ජාතිය සමග පවත්වාගෙන යන්නේ කුමන ආකාරයේ සම්බන්ධයක්ද ? ජාතිය යනු හරයාත්මක  වසයෙන් ගත්  කල උපත නෑකම  වර්ගය ගෝත්‍රය  ජනවර්ගය  පොදු ඉතිහාසය භාෂාව අගම ආදී ජනවාර්ගික සහ සංස්කෘතික සාධක මත ඇතිවුවක්ද ? වැනි ප්‍රශ්න වලට එමගින් උත්ත්තර සොයයි. ජාතිය යනු පරිකල්පිත ප්‍රජාවක්ය යන බෙනඩික්ට් ඇන්ඩර්සන් ගේ  ප්‍රවාදය, ජාතිය පිලිබඳ ස්ටාලින්ගේ නිර්වචනය ඇතුළු  බොහෝ ප්‍රවාද බිහිවුනේ මෙම දේශපාලන සහ මානව  විද්‍යා කතිකාව ඇතුළතය.

ඉතිහාසය සහ ස්මාජවිදයා කතිකාවද ජාතිය සහ ජාතිකවාදය හදාරයි. ඒ අනුව ඒවා උත්තර හොයන්නේ ජාතිය යන්නට මානව ඉතිහාසයේ හිමි තැන කුමක්ද යන්නය. ජාතිය යනු අනාදිමත් කාලයක සිට පැවත එන යමක්ද? නැතිනම් එය මනුෂ්‍ය ඉතිහාසයේ එක නිශ්චිත යුගයක් ඇතිවුවක්ද? ජාතිය බිහිවන්නේ ධනේශ්වර යුගයෙදීය යන ප්‍රසිද්ධ ප්‍රවාදය මේ ඉතිහාස කතිකාව තුලින් ඇති වුවකි. සිංහල ජාතියේ ඉතිහාසය පිලිබඳ ලෙස්ලි රණවීර ගුණවර්ධන සහ කේ එන් ඕ ධර්මදාස අතර ඇති වූ ප්‍රසිද්ධ විවාදය තවත් උදාහරණයකි.

ජාතිය සහ ජාතික වාදය පිලිබඳ පළල්  චිත්‍රයක් දැකීමට නම් මේ කතිකාවන් තුනෙන්ම මතු වූ අදහස් පිලිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්විය යුතුය.

මේවා නීරස ලිපි බව මම දනිමි. සිංහල බ්ලොග් සංස්කෘතිය තවම මෙවැනි සාකච්චාවලට එතරම් සුදානම් නැතිබව පෙනේ.කෙසේ වෙතත් කවි ගීත උපමා කතා ආදිය  ගෙන එමින් පුළුවන් තරම් තනුක කරමින් මේ ගැන තව ලිපි කිහිපයක් ලියන්නට බලාපොරොත්තු වෙමි.

 
 

Tuesday, 14 May 2013

මල්හාර වැස්ස

භාෂාවක් දියුණු කළ  හැකි ප්‍රචලිත කළ  හැකි ප්‍රමුඛම  ක්‍රමය වන්නේ එම භාෂාව වැඩි වැඩියෙන් භාෂණය සහ ලේඛනය වෙනුවෙන් භාවිත කිරීමය. භාෂාවේ වචන කෝෂය සහ ප්‍රකාශන හැකියාව කාලානුරුපව වැඩි දියුණුවන්නේ මෙකී භාවිතය සමගින්ය. අප අපගේ දේශපාලන සංවාදය අපගේ බසින් කළ යුතුය. අපගේ  බසින් කරනා සාහිත්‍ය කරණය දිරිගැන්විය යුතුය. විශ්ව දැනුම ඉංග්‍රීසි ආදී  ජාත්‍යන්තර භාෂා  මගින් මෙන්ම සිය බසින්ද පරිහරණය කළ යුතුය. එසේ නොමැති වුවහොත් අපගේ භාෂාව අතීතයේ කෙතරම්  පොහොසත් බසක්ව තිබුනද අනාගතයේදී දුප්පත් බසක් වීම නොවැළක්විය හැකිය.

මේ පසුබිමෙහි ලා බලන කල ජනමාධ්‍ය අවකාශයෙහි චූල සම්ප්‍රදායක් වන සිංහල බ්ලොග් කරුවන් කරමින් සිටිනා   එක වැදගත් කටයුත්තක් වන්නේ සිංහල භාෂාව සයිබර් අවකාශය ඇතුළත වගා  දිගා කිරීමය. බස මැනවින් හසුරුවමින් සුභාෂිතය ඔප්නංවමින් ලියන බ්ලොග් කරුවන්ට මගේ උපහාරය ! මේ පුර්විකාව ලියන්නට සිතුනේ අද දින පළමු වතාවට කියවන්නට ලැබුණු 'කඳු'  නම්(http://amaleymunasinghe.blogspot.ca/) බ්ලොග් අඩවිය  නිසාය. එය ලියන්නේ කව්දැයි පුද්ගලිකව නොදනිමි.  එය කවි බ්ලොග්  අඩවියකි. ගමන් සගයකු මුණගැසුනා වැනි හැගීමක් එය කියවන කල  සිතට නැගුණි.

එහි හැඳින්වීමේ සටහනම කවියකි. මෙපරිදිය.

සරත් සෘතුව ද ගයන්නේ
මල්හාර රාගයයි
ශ්වේත හිම පිපී
සරතය ද විකසිතයි
පෙම්වත ඔබ
හිම මලක සැඟව
එක් අඳුරු සැඳෑවක
නොපෙනී ගිය විලාසයද
මේ සර සර සර සුළඟ ගයන්නේ
ගසල් ගීයක ස්ථායි කොටස සේ


 මෙහි එන "සරත් සරත් සෘතුව ද ගයන්නේ මල්හාර රාගයයි" යන යෙදුමට මගේ සිත ඇදිණි. දැන් ලියන්නේ මෙකී මල්හාර රාගය ගැනයි. මම සන්ගීතයකු   නොවෙමි. සංගීත රසිකයෙකු පමණි.මෙය හුදෙක් රසික සටහනක් පමණි.  හින්දුස්ථානි සංගීතය රස විඳින කිසිවෙකුටත් මල්හාර රාගය මග හැර යා නොහැකිය. එය එපමණටම මිහිරි සංගීත ආකෘතියකි.
මල්හාර රාගය ගයන වයන විට අහසින් වැස්ස වැස්ස කඩා හැලෙන බවට භාරතයේ සංගීත කාමීහු විශ්වාස කළහ.

ඒ පිලිබඳ කදිම පුරාවෘත්තයක් ඇත. මෝගල් අධිරාජ්‍යය කාලයේ උතුරු ඉන්දියාවේ ජීවත් වූ තාන්සෙන් නම් සන්ගීතයා දීපක් රාගය නම් රාගයක් ගායනා කළේය. එම රාගය නිවැරදිව ගයන විට ගායකයාගේ සිරුරු ගිනිගන්නා බව කියවේ.  තාන්සෙන් එම රාගය ගයද්දී මුලුපරිසරයම උණුසුම් වී ගංගා ඇල  දොළ පවා උණුසුම් වී වාෂ්ප වන්නට වී ගායකයා ගින්නෙන් දැවී අළු වී යාමට ආසන්න විය. අධිරාජයා වහා නියෝග කළේ  මිහිතලය සිසිල් කරවන වෙනත් ගායනයක්‌ ගැයිය  යුතු බවය. එවිට ගින්නෙන් බාගෙට පිලිස්සී සිටි තාන්සෙන් මේ කියන මල්හාර රාගය ගයන්නට විය. එවිට අහස ගුගුරවා වැසි වසින්නට විය. අද අප ජීවත් වන්නේද සාමුහික 'ගෝලීය මල්හාර රාගයක්' ගෝලීය උණුසුමට එරෙහිව ගැයිය යුතු වකවානුවකය.

මල්හාර රාගය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ කාෆි නම් ප්‍රධාන රග මේලයට අයත් උප රාගයකි. මෙය පදනම් කරගත් ජනප්‍රිය ගීත බොහෝ බිහිවී ඇත. එයින් මා සිත් ගත් ගීතයක් වන්නේ මදර් ඉන්දියා චිත්‍රපටයට, මොහොමඩ් රෆි, මන්නා ඩේ, ආශා බෝස්ලේ ඇතුළු ගායක කණ්ඩායමක් ගයනා කරන ''දුක් බරේ දින්  මිතෙරේ භයා'' නමැති  ගීතයයි. එය නිර්මාණය කර තිබෙන්නේ නෞෂාඩ් නමැති ප්‍රකට සංගීතයාය. මෙම චිත්‍රපටයද ලෝක ප්‍රසිද්ධ විය. සැමියා අහිමි වූ දුප්පත් දිරිය මවක් ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන මැද්දේ තම පුතුන් දෙදෙනා ලොකු මහත් කරමින් ඉන්දියාවේ සම්මතයන්ට අනුව ආදර්ශමත් දිවි පෙවෙතක් ගත කරයි. චිත්‍රපටය අවසන් වන්නේ අපරාධකරුවකු බවට පත්වන තම පුත්‍රයා ලෝක යහපත වෙනුවෙන් මව විසින් ඝාතනය කරනු ලැබීමේ ශෝක ජනක ජවණිකාවත් සමගමය.



චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පාන්නේ නාර්ගීස් නම් ප්‍රකට නිළියයි. මෙම ගීතය අඩංගු ජවනිකාවේ  විශේෂ රූප රාමුවක් ඇත.

 සමස්ත ඉන්දීය උප මහාද්වීප සිතියම පුරාම ගොවියෝ ප්‍රීතියෙන් නටති. අප රටේ සිතියම මැද්දේද එක ගොවියෙකු තනිවම ගීතයට අනුව නටයි.

පහත යූ ටියුබ් සබැඳිය රස විඳිනු මැනවි .

දුක් බරේ දින්  මිතෙරේ භයා 
http://www.youtube.com/watch?v=WvaqrhWuKss

Monday, 13 May 2013

එකල්හි අජකරනී නදිය මා සතුටු කෙරෙයි (තදා නදී අජකරනී රමතී මං)

ගසක් යට ඉපදී ගසක් මුල බුදු වී ගසක් මුලම පිරිනිවන් පෑ උත්තර මිනිසෙකු වූ බුදුන්වහන්සේ සිහි කරන වෙසක් සමය එළඹෙමින් තිබේ. වෙසක්  සමය  ගස්වැල් වල නව දළු මල් පුබුදමින් සැරසී සිටින්නේ  'නිකරුනේ ගසක් අත්තක් වත් කඩන්න එපා' යැයි තම ශ්‍රාවකයන්ට ඉගැන්වූ එම ශ්‍රේෂ්ට ශාස්තෘන් වහන්සේට උපහාර කරන්නා සේය.

වෙසක් මාසය යනු ඍතු භේදයක් පවතින රටවල නම්  ශීත කාලයට පසුව එළඹෙන වසන්ත කාලයයි. තම අතු පතර දරා සිටි කොළ මල් සියල්ල බිමට හලා දමමින් ශීත ඍතුවේදී දීර්ඝ නිද්‍රාවකට වැටෙන ගස්වැල් තුරු ලතා යළි අවධි වන්නේ මෙසමහිය.

සදා හරිත තුරු ලතා සහිත නිවර්තන දේශගුණයක් පවතින සමකාසන්න රටවලට පරිසරයෙහි වසරක් පාසා  සිදුවන මෙම වෙනස එතරම් නොපෙනුනද ඍතු භේදය පවතින රටවල මෙසමයෙහි ඇත්තේ ඉතා චමත්කාර ජනක දසුනකි. ශීත සමයෙහි මිදී ඝනවී තිබුණ ලොකු කුඩා  විල් පොකුණු ගංගා දියවී දිය ලෙළදෙවන්නට ගලන්නට පටන් ගනී. සකුරා ගස් එක යායට මල් සළු පැළඳ ගනියි. එම මල් පියලි උදුරාගන්නා නිතර හමන මද සුළං විටින් විට මල් පියලි වැසි පොලවට වස්සවයි. ඒ අතර මද පොද වැසිද වැටෙයි. අලුතින් නිල්ල නැගුන තණබිම් වල කුඩා වන මල් සිය දහස් ගණන් පිපෙයි.ඉර පායා තිබෙන රාත්‍රියේත් මී  මැස්සන් ඒ වන මල්වල රොන්ගනියි. බලා නිම කළ  නොහැකි චමත්කාරයක් හාත්පස ජනිත වෙයි.

එහෙත් ලෝකයට මේ චමත්කාරයෙන් වැඩක් නැත. පරිභෝජනවාදය අපව පොලඹවා තිබෙන්නේ මේ ගස් වැල් මල් ඇල දොළ ගංගා විල් පොකුණු උද්‍යාන අමතක කර ෂොපින් මෝල්වලම ලගින්නටය. ෂොපින් මෝල් නම් ජනී ජනයාගෙන් පිරී පවතී. බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලේ සිදුවූ ඛේදවාචකය ගැන කතා කරමින්ම ඔවුහු වැඩි වැඩියෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගනිති. මල් පිපුන උද්‍යානයේදී විල් තෙරදී හමුවන්නේ හැමදාම හමුවන කිහිප දෙනාම පමණි. ලෝකය වර්ඩ්ස්වර්ත් අමතක කර දමා බොහෝ කල් ගතවී තිබේ.

වර්ඩ්ස්වර්ත් නමැති බටහිර  කවියා පරිසරයෙහි ලෞකිකත්වය  ඉක්මවා යන අධ්‍යාත්මික  චමත්කාරයක් දුටුවේය. පරිසරයෙහි එවැනි අධ්‍යාත්මික චමත්කාරයක් දැකීම පෙරදිග කාව්‍ය චින්තාවෙහිද දක්නට තිබෙන ලක්ෂණයකි. ඒ සදහා එක හොඳ නිදසුනක් වන්නේ පාලි ථෙර ථෙරී ගාථා සමුදායයි. මේවා බෞද්ධ භික්ෂු භික්ෂුනීන් විසින් පවසන ලද උදානයන්ය. ඇතැමෙක් ඒවා පද්‍ය  ලෙස සැළකුවද කවි ලෙස නොසලකති. හැම පද්‍යයක්ම කවියක් නොවේ. කවියේ පරමාර්ථය රස නිෂ්පත්තියයි.  ථෙර ථේරී ගාථා දේශනා කර තිබෙන්නේ රස ජනනය නමැති ලෞකික පරමාර්ථය උදෙසා නොව නිර්වාණ පරමාර්ථය උදෙසාය. ඒවා කවි නොවන්නේ ඒ අරුතිනි.

සප්පක මහ රහතන් වහන්සේගේ නෑදෑයින් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ වනවාසයට නොගොස් ඔවුන් අතරම සිටින ලෙසයි. එහෙත් උන්වහන්සේ තෝරාගත්තේ අජකරණී නදී තීරයේ වාසය කිරීමය.අජකරනී නදිය පිලිබඳ උපන් චමත්කාරජනක උදාන සිතුවිල්ල උන්වහන්සේ මෙසේ පද්‍යයකට නැගුහ.


යම් කලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිණි කළුමේකුළට බියෙන් තැතිගන්නා ලද්දී සැඟවෙන තැන සොයන්නී වාසස්ථානය කරා පලායන්නීද
එකල්හි අජකරනී නදිය මා  සතුටු කෙරෙයි.

යම් කලෙක පිවිතුරු පඩෙරවන් වූ කෙකිණි කළුමේකුලට බියෙන් තැතිගෙන
 නිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන සොයන්නී ද
 එකල්හි අජකරනී නදිය මා සතුටු කෙරෙයි.

එහි මගේ ලෙන පිටිපස ජම්බු වෘක්ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. 
ඒ වෘක්ෂයෝ එහි කවරක්හු නො පිනවත්ද,
සර්ප සමුහයගෙන් මොනොවට මිදුන ගාම්භීර නාද ඇති ඒ මැඩියෝ නද දෙති.
දැන් ගිරිනදින්ගෙන් වෙන්ව විසිය යුතු කාලය නොවෙයි.
නිර්භය වූ ඒ අජකරනී නදිය  භද්‍ර වුවා  අතිශයින් සිත්කළු වූ වෙයි.

එහෙත් උන්වහන්සේ විඳින්නේ පරිසරයේ මතුපිටින් පෙනෙන ලෞකික චමත්කාරය නොවේ.ගලා යන යන ගංගාව අසබඩ සැරිසරන සුදු පියා පත් ඇති කුරුල්ලන් නෙත පිනවන දසුනකි. අජකරනී නදිය අසබඩ සුදු කෙකිනියක් වැහි වලාකුළකට බියෙන්  මරණ බියෙන් සැඟවෙන තැනක් සොයයි. මේ නෙත පිනවන දසුනේ ඇති ශෝකාත්මක කතාව එයයි. එහෙත් සප්පක මහරහතන් වහන්සේ එදෙස බලන්නේ දසුනේ මතුපිට පෙනෙන ලෞකික සුන්දරත්වයෙන් වශී වූ ප්‍රීතියකින්  හෝ කෙකිනියගේ මරණ බිය අරභයා ඇතිවුන ශෝකයකින් හෝ නොවේ. කෙකිනිය මරණ බියෙන් තැතිගනිමින් අජකරනී නදිය අසබඩට පැමිනෙන  විට මරණ බිය සදහටම අවසන් කළ උන්වහන්සේද නෑදෑයින් යෝජනා කළ වස්තු භෝග පිරි නගර වාසය හැර දමා එන්නේ මේ අජකරනී නදිය අසබඩටමය.


එකම අරමුණ පෘතග්ජනයා  සහ යෝගිය දකින්නේ දෙයාකරයකටය. ගීත නාදයක් නංවමින් ගලන ගඟ, ගඟ අසබඩ සැරිසරණ සොඳුරු පක්ෂීන්, පලබර තුරු ලතා ආදිය  ප්රුත්ගජනයෙකුගේ ඇලීම ගැලීම  වඩවයි. එහෙත්  ක්ෂීණාස්‍රවයන්  වහන්සේ එය  කෙනෙකු දකින්නේ ඇලීම ගැලීම වඩවන දසුනක් ලෙස නොව  අත්හැරීම වඩවන දසුනක් ලෙසටය. පරිසරයෙහි ලෞකික චමත්කාරයක් මෙන්ම අලෞකීක චමත්කාරයක්ද එක විටම පැන නැගෙයි. මෙයින් කවර චමත්කාරයක් විඳගන්නේද යන්න අපසතු තෝරාගැනීමකි. ඉන් කවරක් තෝරගත්ත්තද එය ෂොපින් මෝල් චමත්කකාරයට වඩා උසස් වන බව නම් කිව යුතුය. 

Thursday, 9 May 2013

දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය

අපි තවමත් ජීවත් වෙන්නේ ජාතික රාජ්‍යය යුගයකය. අපි හැම දෙනාම  කුමක් හෝ රාජ්‍යයක සාමජිකයින් වන්නෙමු. සංක්‍රමණිකයන් ගැන වුවද කියන්නට තිබෙන්නේ ඔවුන් අඩුම තරමින්  කුමක් හෝ රාජ්‍යයක සාමාජිකත්වය අපේක්ෂාකරමින් වත් සිටින බවය. අන්ත අරාජිකවාදියෙකුට වුවද රාජ්‍යයන් හරහා ගමන් කිරීමේදී රාජ්‍යයක් විසින් නිකුත් කරන ගමන් බල පත්‍රයක් දැරීමට සිදුවනු ඇත. අප හැම දෙනා තුළම එක හෝ තවත් අකාරයේ  ජාතිකවාදියෙකු ජීවත් වන බව මිහිරි සත්‍යයකි. නැතිනම් කටුක සත්‍යයකි.

නූතන යුගයේ ලෝකයේ දේශපාලන  ඉරණම වැඩි වශයෙන් තීන්දු කරනු ලැබුවේ ජාතිකවාදයන් මගිනි. නූතන මිනිසාගේ දේශපාලන චින්තනය පුදුමාකාර ලෙස ජාතික රාජ්‍යය කෙන්ද්රීයය. ජාතිකවාදය එතරම් ම ප්‍රබලය.
 
 
එහෙත් ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය.

එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්ම වීම  නිසා දාර්ශනික වශයෙන් දිළිඳු ජාතිකවාදය මතුකර තිබෙන සංකීර්ණ දේශපාලන ගැටළු වටහා ගැනීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් නොවේ.

Wednesday, 24 April 2013

මම් කෙසේ පවසම්...... බ්ලොග් හයිකු

පොළොවේ ගැසූ පුවක් වල්ල
ගෝලීය ධනවාදයේ යකඩ හස්තියා
මහා වීරකමක් කරන්නාසේ
ඔසවා දමා ගැසුවා
වාමාංශික පුවක් වල්ල
පොළොවේ.
අනේ!
රතුපාටට බැබලි බැබලී තිබුන
පුංචි පුංචි පුවක් ගෙඩි
පොළොව මත විසිරුණා.
සී සී කඩ වෙලා ගියා.

මොළය වියලුන කල
අපිත් හරියටම අපේ රට වගේමයි
රටේ සිතියම වගේමයි
ඔලුව පුංචියි
කඳ,බඩ ලොකුයි, ලෙඩ රෝග ගොඩයි
මොහොතක් ඉඳිමු
ඔලුවෙන් හිටගෙනවත්
ලේ කඳුලක් නැති
මුනට... ඇස් දෙකට... මොළයට.... ඔලු කට්ටට
රුධිරය උනන තුරු.

සමාජ මාධ්‍ය
ජාලයක් නොවේ
ජංජාලයක්
අස්මිමානය
ඊගොයිසම්
වපුරන
සෙල්ෆ් මාර්කටින්
සෙල්ෆ් මාර්කටින්
තමන්ගේ රුපය තමන්ම බලා සැනසෙන
ජංජාලයක්

උරුලෑවෝ
දෙයක් ඉතිරි වී තිබේ නම් යම්
එයද
නුසුදුස්සාටම අයිතිවිය යුතු
උරුලෑවන් මනා වූ
දිනිය යුතු සේම
ඉත්තෑවන්ගේ ගුල්

ඌරෝ
ධන චින්තන ගුරුතුමා
දෙසුම් දෙසමින් පොත් ලියමින්
කියාදුන්නේ
එක ඌරෙක් තවත් උරෙකුට
අල හාරා දෙන්නේ නැති බවයි
ඉතින් අනුන් ගැන නොසිතා
තමන්ගේ වැඩේ කරගනිමු
හාරගෙන හාරගෙන හාරගෙන යමු

සුද්දෙක් ඔබ අමතයි
නාට්ය‍යක්..? මොන විකාරයක්ද?
ඒකට නාට්‍යයක් කියන එක
භරතමුනිට සේෆොක්ලීස්ට ශේක්ස්පියර්ට සරච්චන්ද්‍රට කරන අපහාසයක්
උදයසිරියා.... දීග ජන්තුවා...... තක්කඩියා.... ත්‍රස්තවාදියා
ඌ කෙලෙව්වා මුළුමහත් සිංහල වේදිකාවටම
එත් පුලුවන්ද අමතක කරන්න
අරුන් තුන්දෙනා වේදිකාව උඩ කරපු කතා තුන
ඇඟ හිරිවටුන නේද
මයිල් කෙලින් හිටිය නේද හසන්ත මහත්තයෝ ?
ගැලෙව්වා නේද අපේ සංස්කෘතික කලිසම
ශාලාව මැද්දෙම
ඔව් ඒක නාට්‍යයක් නොවේ
නොනාට්‍යයක්ද නොවේ

අතු දෙක
මම නැග්ග
පුවක් ගහෙත් දෙබලයක්
එක අත්තක් බලය, දැනුම, ධනය, විද්‍යාව පැත්තට
අනෙක් අත්ත
ජීවිතය සහ අධ්‍යාත්මය පැත්තට

පැදුරු සාජ්ජය
මොහිදීන්...... හා ඉතින් කියමු සින්දුව
මුත්තුසාමි ගහපන් මචන් සර්පිනාව
අන්න අතන ඩෝලේ
කෝ මේ ඩේසි ඩැනියෙල් රුක්මනී?
ආදර පාන සුදා
අම්මද බොල
අන්න එනවා හරුන් ලන්ත්‍රා
සුළං කුරුල්ලත් අරගෙන
සිංහල බෞද්ධ කොල්ලනි නටමු
අපට මේ හැටිවත් නටන්න සංගීතෙ හදල දුන්නේ
මේ කට්ටිය තමයි

වෙසක් ළඟයි!
මෙම විට පැවසෙන මුවින් මගේ

බෙග් මාස්ටර්
දවසකට පස් වතාවක් සර්ව බලධාරී අල්ලාට වැඳ
දශ බලධාරී බුදුන්ගේ ගුණ ගී ගැයූ
මේ පාරත් මගේ රටේ
පන්සලේ දන්සලේ තොරණ පොලේ
සත්‍ය ලෝකේ වැනසී යාදෝ
දුක් බරිනී මිරිකී යාදෝ
නිර්මල පිවිතුරු චරිතේ අපේ
පවිටෙන් බොරුවෙන් කෙලෙසාදෝ
අගති අයුක්තිය මාරුතයේ ප්‍රාණෙ අපේ දෙදරා යාදෝ
ඔවු මාස්ටර් මේ පාරත් කියන්න හය්යෙන්
බුද්ධං සරණන් ගච්චාමී!
 
 
සුළි සුළඟක් හැදෙන හැටි
මේ වායු ගෝලයේ
නිසි මොහොතෙදි
සැළෙන 
සමනළ පියාපතකට වුව
සුළි සුළඟක් තැනිය හැකිය.
ඔබේ පියාපත රැක ගන්න
  

Thursday, 18 April 2013

මක්ඛලී ගෝසාලගේ අවසාන මහා ගල් විදින යුද්ධය

නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ...............

රේඛීය ආගමික විශ්වවේදයන් ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතාකරන බව අපි දුටුවෙමු. චක්‍රීය විශ්වවේදයන් ලෝකය දකින්නේ ඇතිවීම් සහ නැතිවීම් සන්තතියක් වශයෙනි. එහි නිමක් නැත. නූතන බටහිර දේශපාලන චින්තනයට වැඩියෙන් බලපෑවේ ආරම්භයක් සහ අවසානයක් ගැන කියවෙන රේඛීය විශ්ව වේදයන්ය. මානවයාගේ සමාජ ගමන කොමියුනිස්ට් සමාජයක් බිහිවීමෙන් පරිපාකයට පත්වන්නේය යන මාක්ස්වාදී ප්‍රවාදයෙහිත් ලිබරල් වාදයේ ලෝකපරිමාණ ජයග්‍රහණයත් සමග ඉතිහාසය අවසන්වේය යන ෆුකුයාමා ප්‍රවාදයෙහිත් මෙම ආගමික සෙවනැල්ල වැටී තිබේ.

ලෝකාවසානය පිලිබඳ මෙම රේඛීය ආගමික ප්‍රවාදයද බටහිරට ගියේ පෙරදිගිනි. එය හුදෙක් බයිබලයේ හෝ කුරානයේ පමණක් තිබු අදහසක් නොවේ. තවත් ආගමික ශාස්තෘවරු මෙම අදහස ඉදිරිපත් කළහ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ ශ‍රතුස්ත්‍ර සහ මක්ඛලී ගෝසාල ය. බුදුන් වහන්සේගේ කාලයේ ජීවත් වූ මක්ඛලී ගෝසාල තුමන්ගේ දර්ශනය එතරම් ව්යාප්ත නොවුවද ශරතුස්ත්‍ර තුමන්ගේ දර්ශනය පෙරදිග පර්සියාවේ සිට බටහිර විශාල ප්‍රදේශයක ව‍යාප්ත විය.Governments already offer 'official' tips on how to survive nuclear war, asteroid strike, or even a zombie virus outbreak. (Image: Rex)
 
මක්ඛලී ගෝසාල දර්ශනය ගැන දැනගත හැක්කේ බෞද්ධ සහ ජයින සාහිත්‍යයෙනි. එතුමන්ගේ දර්ශනය හඳුන්වන්නේ නියති වාදය හෝ නියති පරායන වාදය යන නම් වලිනි. නියති පරායනවාදය කෙටියෙන් මෙසේය,

"සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව ඉබේම සත්වයෝ කෙලෙසෙති. සත්වයන්ගේ පිරිසිදුවීමටද හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු නැතිව ප්‍රත්‍ය නැතිව සත්වයෝ පිරිසිදු වෙති. තමාගේ යහපත සඳහා කළ යුතු අවවාද අනුශාසනා ආදී කර්මයක්ද නැත...සැපක් ලබනට ඉවහල්වන බලය කියා එකක් නැත. වීර්යය කියා එකක් නැත.... හැම සත්තු , හැම ප්‍රාණීහු හැම ජීවයෝ, නියමය , සංගතිය, ස්වභාවය යන මේ තුනෙන් පරිනාමයට පැමිණියෝ අභිජාත සයක් පුරා සැප දුක් විඳිති.


... ප්‍රතිපත්ති හැට දෙකකි. අන්තඃකල්ප හැට දෙකකි. අභිජාත සයකි. පුරුෂ භූමි අටකි. ජීවිකාවෘත්ති හාරදහස් නවසීයකි... නාග මණ්ඩල සාරදහස් නවසීයකි. ඉන්ද්‍රියයෝ දෙදහසකි. නිරයයෝ තුන් දහසකි.... දේව වර්ග සතකි. මනුෂ්‍ය වර්ග සතකි. පිශාච ජාති සතකි. මහවිල් සතකි. මහා පරිවර්ත සතකි. කුඩා පරිවර්ත සත් සියයකි. මහා ප්‍රපාත සතකි. කුඩා ප්‍රපාත සත් සියයකි. මහා ස්වප්න සතකි. කුඩා ස්වප්න සත් සියයකි. අනුවණයනුත්, නුවනතියනුත් සසර දිව හැවිද දුක් කෙලවර කිරීමට ගෙවිය යුතු කල්ප අසූහාර ලක්ෂයකි.
 (මහාචාර්ය බලදේව උපාධ්‍යය ගේ බෞද්ධ දර්ශනය- හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි)

ඉහත විස්තරය අනුව පෙනෙන්නේ ලෝකය සහ විශ්වය නියත ගණන් හිලව් වලින් පැහැදිලි කිරීමට ගෝසාල තුමන් ඉදිරිපත් වූ බවය. අභිජාත සයක ඉපදීමෙන් පසු ජීව ප්‍රාණීන් කල්ප අසුහාර ලක්ෂයක් ගෙවා දමමින් අවසානයකට ලඟා වන බව මෙම අවසානවාදයෙන් කියවේ.

එහෙත් මක්ඛලී ගෝසාල තුමන් ලෝකාවසානය ලෙස දැක්කේ ස්වර්ග රාජ්‍යය, කොම්යුනිස්ට් තත්වය වැනි සුන්දර තත්වයක් නොව ඉතා නිශේධනීය දුක්බර තත්වයක් බව සමහර විද්වත්හු පෙන්වාදෙති. මහාචාර්ය සුචරිත ගම්ලත් ලියු බුද්ධ චරිතය කෘතියේ ගෝසාල තුමන් ගැන සිත් ඇදගන්නා සුළු විස්තරයක් ඉදිරිපත් කර තිබේ.
භගවතී සුත්‍රය ඇසුරින් කරුණු දක්වන මහාචාර්ය ගම්ලත් කියන්නේ අවසානතා හතක් ගැන ගෝසාල තුමන් දේශනා කළ බවය. ඒවා නම්

1.අවසාන පානය
2.අවසාන ගීතය
3.අවසාන නර්තනය
4. අවසාන වැඩිහිටි වන්දනය
5.අවසාන මහා ධාරානිපාත වර්ෂාව
6. අවසාන දිය ඉසින ගන්ධ හස්තියා
7.අවසාන මහා ගල් විදින යුද්ධය යනුවෙනි.

 ඒ අනුව ලෝකය අවසාන වන්නේ මහගල් විදින යුද්ධයකිනි. ( න්‍යෂ්ටික මිසයිල යුද්දයක්?)

එහෙත් මහාචාර්ය ගම්ලත් කියන්නේ මෙම අදහස් ගෝසාල තුමන් ඉදිරිපත් කළේ දාර්ශනික අදහසක් ලෙස නොව එකල තිබු ගණතන්ත්‍ර රාජ්‍යයන් සහ සංස්කෘතීන් විනාශ කරමින් රාජාණ්ඩු ගෙනගිය බියකරු යුද්ධ නිසා එතුමන් සිතෙහිඇති වූ මානසික ප්‍රකම්පනය නිසා බවය.ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ වජ්ජින්ගේ ගන තන්ත්‍ර රාජ්‍යය ආක්‍රමණය කිරීමට අජාසත් රජු විසින් කරන ලද යුද්ධයයි. මහාචාර්ය ගම්ලත්ට අනුව ගෝසාල තුමන් ආගමික ශාස්තෘවරයෙකු නොව භෞතිකවාදී කවියෙකි.

 එසේ වුවද මේ කාලයේම හෝ ඊට ශත වර්ෂ කිහිපයකට පමණ පසු නමුත්  නිශ්චිතවම ක්‍රිස්තුස්වහන්සේට පෙර ජීවත් වූ ශාරතුස්ත්‍ර තුමන් ඉදිරිපත් කළ අවසානතා වාදය වනාහී ජීවිතය පිලිබඳ ඉතා සුබවාදී දැක්මකි. අවසානයේදී නපුර පරදවා යහපත ජය ගන්නා බව එතුමන් දේශනා කරයි. ශාරතුස්ත්‍ර ධර්මය අදහන පාර්සි ජාතිකයන් ඇතුළු විශාල පිරිසක් ලෝකයේ අදටත් වෙසෙති.

ඉදිරි ලිපිය ... ''ශාරතුස්ත්‍ර නොමළ වගයි''

Tuesday, 16 April 2013

මිනිසා උතුම් උදාර සත්වයෙක්ද නැතිනම් පාපිෂ්ට කාලකන්නියෙක්ද?: හොබ්ස්ගේ අවස්ථිති නියමය

File:Luca Giordano - Perseus Fighting Phineus and his Companions - WGA9013.jpgදේශපාලන විද්‍යාවෙහි 'රාජ්‍යය න්‍යාය' ඇතුළත බ්‍රහ්මයාට තැනක් නැත. (අප එම සාකච්චාව ඇතුළට බ්‍රහ්මයා කැඳවාගෙන එන්නේ හේතුවක් ඇතිවය). බ්‍රහ්මයා නොසිටියද එම න්‍යාය ඇතුළත දෙවියන් වහන්සේ නම් වැඩ සිටිති. රාජ්‍ය පිලිබඳ 'දේව වරම්වාදය' නම් සංකල්පයක් සහ රාජ්‍යයෙන් ආගම හෙවත් දෙවියන් ඉවත් කිරීම නමැති 'ලෞකිකවාදය' යනුවෙන් හඳුන්වන සංකල්පයක් තිබෙන බැවිනි.
 
 ප්‍රකෘති සමාජයට එරෙහි දේශපාලන සමාජය
 
'දේශපාලන විද්‍යාව' විද්‍යාවක් බව යෝජනා කළේ තෝමස් හොබ්ස්ය. තමන්ට පෙර සිටි දේශපාලන චින්තකයන් දේශපාලනය පිලිබඳ හැදෑරීම විද්‍යාවක් වශයෙන් නොකළ බව හොබ්ස් විශ්වාස කළේය. හොබ්ස් දැඩි අදේවවාදියෙකි. එහෙත් රාජ්‍ය බලය දෙවියන්ගෙන් ලැබෙන්නේ යැයි විශ්වාශ කළ 'රාජාණ්ඩුවට' පක්ෂවුවෙකි. රාජ්‍යය සමාජ සම්මුතියකින් බිහිවන බව ප්‍රකාශ කළ අයෙකි. එහෙත් සමාජ සම්මුතිවාදයට වැඩියෙන් ගැලපෙන පාර්ලිමේන්තුවාදයට වඩා රාජාණ්ඩුවාදය පිළිගත්තේය. නූතන 'සිවිල් සමාජය' නම් සංකල්පයේ ආරම්භකයා හොබ්ස්ය. එහෙත් හොබ්ස් සිවිල් සමාජය යනුවෙන් අදහස් කළේ දේශපාලන සමාජය පරීක්ෂා කරනා එයට බලපෑම් කරනා 'පුරවැසියන්ගේ සමාජයක්' යන අද පවතින අර්ථයෙන් නොව 'ප්‍රකෘති සමාජයට' එරෙහිව මිනිසුන් ගොඩ නගනා 'දේශපාලන සමාජයක්' යන අර්ථයෙනි. හොබ්ස්ගේ සිවිල් සමාජය යනු ප්‍රකෘති සමාජයට එරෙහි දේශපාලන සමාජයක්ය.
 
හොබ්ස්ගේ දේශපාලන විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ මෙම ප්‍රකෘති සමාජය යනුවෙන් ඔහු ඉදිරිපත් කළ මූල සංකල්පය මතය. බයිබලයේ සිටින දෙවියන් වහන්සේ නොව එහි සිටින යක්ෂයා (සර්පයා) සංකේතවත් කරන ලෙවියතාන් සංකේතය තම දාර්ශනික ලකුණ කරගත් හොබ්ස්ගේ රාජ්‍යය න්‍යාය හැදෑරීම කිහිප ආකාරයකින්ම වැදගත් වන්නේය.
 
 කව්ටිල්‍ය සහ මකියවෙල්ලිගේ පියසටහන් ඔස්සේ
 
හොබ්ස් ජීවත් වුනේ මීට ශතවර්ෂ හතරකට පමණ පෙරය. එහෙත් දේශපාලන චින්තනයට අද වනතුරුද ඔහු වලංගු වන්නේ 'බලය' පිලිබඳ ඔහු ඉදිරිපත් කළ අදහස් පද්ධතිය නිසාය. විශේෂයෙන් ජාත්‍යන්තර දේශපාලනයේ ස්වභාවය හඳුනාගැනීමේදී හොබ්ස්ගේ අදහස් නව අර්ථකතනයන බදුන් කරමින් භාවිත වේ. යතාර්ථවාදය,ලිබරල්වාදය,මාක්ස්වාදය,පද්ධති න්‍යාය, ග්රම්ස්කිවාදය, විචාර සමාජ න්‍යාය, ආදී විවිධ එළැඹු අතරින් ජාත්‍යන්තර දේශපාලනය පැහැදිලි කිරීමෙහිලා ප්‍රමුඛම එළඹුම වී තිබෙන්නේ යතාර්ථවාදයයි. දේශපාලන යථාර්ථවාදයේ ආදී කතෘන් වනුයේ චානක්‍යය , සුන් ට්සු, මකියාවෙල්ලි ආදීන්ය. බලය සම්බන්ධයෙන් මේ අය ඉදිරිපත් කළ අදහස් තෝමස් හොබ්ස් විසින් විද්‍යාව සමග ගැට ගසන ලදී.

අප ජීවත් වෙන්නේ විද්‍යා යුගයකය. විද්‍යාව දේවත්වයෙන් සලකන, විද්‍යාව වඳින,විද්‍යාවට භයවන, විද්‍යාව යදින, විද්‍යාව වසින් ඇතිකරනු ලබන විනාශයන්හිදී පවා වඩ වඩා විද්‍යාවේ සරනම සොයන, සෑම දැනුමක්ම විද්‍යාවේ අධිකාරියට නතුකරන්නට බල කෙරී තිබෙන යුගයකය. දේශපාලනය නමැති මිනිස් චර්යාව පවා එසේ විද්‍යාවක් අනුව විශේෂයෙන් භෞතික  විද්‍යාව අනුව තේරුම් කළ හැකි බව විද්‍යා යුගයේ ආරම්භයේදී ජීවත් වූ හොබ්ස් විශ්වාශ කළේය. විද්‍යා දැනුම බලයක් ලෙස සැලකූ ෆ්‍රැන්සිස් බේකන්ගේ ලේකම් වරයකු ලෙස හොබ්ස් කටයුතු කළේය. බේකන්ගේ සමහර ලියවිලි ලතින් බසට පරිවර්තනය කළේ ඔහුය. ගැලීලියෝ හමුවීමට ගිය ඔහු ගැලීලියෝගේ චලිතය පිලිබඳ අවස්ථිති නියමයෙන්(law of inertia) ආකර්ෂණය වී එම නියමය මනුෂ්‍ය සමාජයේ ගතිකයන් පැහැදිලි කිරීමට යොදාගත හැකියි කල්පනා කළේය. කොපර්නිකස්ගේ සිට ගැලීලියෝ හරහා නිව්ටන් තෙක් වර්ධනයවී ගිය චලිතය සහ බලය පිලිබඳ නියම තුන ඇතුලත් අවස්ථිති නියමය වනාහී ඉතා තද බල වියුක්ත චින්තන රාමුවකි. භෞතික  විද්‍යාව ශතවර්ෂ කිහිපයක් තිස්සේ වර්ධනය වුයේ මෙම පදනම් නියමය මතය. ග්‍රීක ඉතිහාස කතා සාහිත්‍ය ආදිය හදාරමින් සිට පසුව බේකන් ගැලීලියෝ ආදීන් පස්සේ වැටුන තෝමස් හොබ්ස්ට වුවමනා වුයේ දේශපාලන විද්‍යාවටද  අවස්තිථි  නියමය මෙන් පදනම් සංකල්පයක් හඳුන්වා දීමටය. ඔහු හඳුන්වා දුන් සංකල්පය 'මනුෂ්‍ය ස්වභාවය' යන සංකල්පයයි.

මිනිසාගේ ප්‍රකෘතික ස්වභාවය ලෙස හොබ්ස් දුටුවේ එතරම් යහපත් චිත්‍රයක් නොවේ. ප්‍රකෘති සමාජයේ ජීවිතය බියකරු තනිකමකින් වෙලී තිබේ, එය විනාශකාරීය,දිළිඳුය,රුදුරුය,කෙටිය
(solitary poor ,nasty,brutish and short)  යනුවෙන් හොබ්ස් හඳුන්වයි. ප්‍රකෘති සමාජය වනාහී ඒ අනුව මහා කාලකන්නි සමාජයකි. එම කාලකන්නි කමින් ගැලවීමට මිනිසාට රාජ්‍යයක් නිර්මාණය කළ බව හොබ්ස් කියයි. මිනිසා දේශපාලනික වූයේ එසේත් නැතිනම් සිවිල් වූයේ අර ප්‍රකෘති කාලකන්නි කමින් ගැලවී වඩා ප්‍රමුදිත ජීවිතයක් ගත කිරීමටය.

 හොබ්ස්ගේ අවස්ථිති නියමය

මිනිසාගේ ප්‍රකෘති ස්වභාවය කුමක්ද? මිනිසා ස්වභාවයෙන්ම දරුණු ගති පැවතුම් ඇති, දුෂ්ට කල්පනාවලින් හෙබි භය සහ ආශාව මූලික කර ගනිමින් හැසිරෙන සත්වයෙක්ද?එසේත් නැතිනම් මිනිසාගේ ස්වභාවික ලක්ෂණය වන්නේ සාමකාමී කරුණා මුදිතාදී ලක්ෂණ වලින් සපිරිනු පින්වන්ත භාවයක්ද ? අපි නොදනිමු. මිනිසා ස්වභාවයෙන්ම බ්‍රහ්මයෙක්ද නො එසේනම් මෘගයෙක්දයි අපි නොදනිමු. මිනිස් ස්වභාවය ගැන අපට කිව හැක්කේ මිනිසා ස්වාභයෙන්ම යහපත් නොවේ. යහපත්  නොවන්නේද නොවේ යන්න පමණි. මිනිසාට බ්‍රහ්ම ලක්ෂණ මෙන්ම මෘග ලක්ෂණද ඇත.

හොබ්ස් ඉදිරිපත් කළ මනුෂ්‍ය ස්වභාවය පිලිබඳ නිශේධනීය සංකල්පය පසුකාලීන චින්තකයන් බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කළද සමාජය සහ රාජ්‍යය වැනි දේශපාලන ලක්ෂණ විස්තර කිරීමේදී සඳහා පදනම් සංකල්පයක් ලෙස ප්‍රාථමික හෙවත් ප්‍රකෘතික සමාජයේ ස්වරූපය කුමක්ද යන්න විග්‍රහ කරමින් තම විශ්ලේෂණ ඉදිරිපත් කිරීම මේ සෑම චින්තකයෙකුගේම පොදු ලක්ෂණයක් විය. එය හොබ්ස්ගේ දේශපාලන විද්‍යාවට දායාද කළ අවස්ථිති නියමයයි.
 

Saturday, 13 April 2013

නොනගත සංක්‍රාන්ති සටහන්... සුර්යයා ආවා වුද නාවා වුද මොහොතක....

 සුර්යයා  ආවා වුද නාවා වුද මොහොතක....
 
1. බටහිර පඬිවරුනි, ඔවුන් අනුගමනය කරන පෙරදිග මහා පඬිවරුනි, 'දැනුම බලය වේ' යනුවෙන් බේකන් පඬිවරයා කිව් අදහස අතහැර දැමීමට කාලය පැමිණ ඇත. දැනුමට බලය නොව අධ්‍යාත්මය එකතු කිරීමට කාලය පැමිණ ඇත.
 
2. දේශපාලනය කුමක් පිණිසද? යහපත් රාජ්‍යයක් බිහිකරගැනීමටය. යහපත් රාජ්‍යයක් යනු ධාර්මික රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මහාසම්මතය රැකගනිමින් එම මහා සම්මතය සංකල්පීයව දියුණු කරමින් පුරවැසියාගේ සාමය සෞභාග්‍යය නිදහස  සහ සතුට තහවුරු කිරීම යහපත් රාජ්‍යයේ පරම නිෂ්ටාවය.
 
3. පාලකයා, ජනතාව සහ රාජ්‍ය අතර ඇත්තේ කුමන සම්බන්ධයක්ද? පාලකයා අධර්මිෂ්ට වන විට ජනතාවද රාජ්‍යයද  අධර්මිෂ්ට වේ. ජනතාව අධර්මිෂ්ට වන විට පාලකයා සහ රාජ්‍යය අධර්මිෂ්ට වේ.
 
4. කලාව කුමක් පිණිසද?  කිසිදා පරණ නොවන පිළිතුරක් ඒ සඳහා ඇත. කලාව ඇත්තේ  අර්ථ, ධර්ම කාම, මෝක්ෂ සාධනය පිණිසය. එහෙයින් කලාවෙන් අර්ථ සම්පාදනය කරගන්න. කලාවෙන් ධර්මය පසක් කරගන්න. කලාවෙන් කාමය අත්දකින්න. කලාව මෝක්ෂ මාර්ගයක් කරගන්න.
 
5. ඔබේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගරු කරන්න. එහෙත් ඉතිහාසය සහ සංස්කෘතිය දෙස විචාරයෙන් බැලීමට පුරුදුවන්න. පෘතග්ජන අපට නිර්මාණය කරගත හැකි හොඳම දැනුම විචාරාත්මක දැනුමයි. ගතානුගතික මරුකතරේ ඔබේ විචාර මනස සිදී බිදී වැළලී යාමට ඉඩ නොදෙන්න.
 
6.ආගමික ගැටුම් මනුෂ්‍යත්වයට ඔබින පරිදි විසඳීමට ඇත්තේ එකම මගකි. සහජීවනය, සහජීවනය සහ සහජීවනය පමණි. මුලධර්මවාදීනි, ඔබේ මහ ලොකු පුස්තකාලයේ තිබෙන පොත්වල ඇත්තේ ප්‍රශ්න මිස විසදුම් නොවේ. කරුණාකර  පුස්තකාලයෙන් ලෝකයට බසින්න.
 
7. ලෝකය ඇත්තේ මගේ සහ  ඔබේ බඹයක් පමණ ශරීරය ඇතුලේමය. එයින් බාහිර ලෝකයක් නැත.  ඔබේ ලෝකය පනවාගන්නේ ඔබය. මගේ ලෝකය මමය.
 
8. ඔන්ටෝලොජියක් නැත. ඇත්තේ එපිස්ටෝමොලොජි පමණි. ඔන්ටෝලොජියක් ඇතැයි  කීමද නැතැයි කීමද එපිස්ටෝමොලොජි කතාන්දරය.
 
9. දවසේ වැඩ කටයුතු නිමවී අවරදිගින් බැසයන සූර්යයා " මගේ වැඩ කොටසට මෙතැන් පටන් උරදෙන්නේ කව්දැයි" ඇසුවේය. මහා පෘථිවි පොලව එබස නැසූ කන්ව මුනිවත රකිමින් නිහඬව සිටියේය.  පොලව එසේ නිහඩව සිටින කල එම මහා පොලවටම අයත් මැටිපිඩකින් තනනු ලැබූ පුංචි මැටි පහනක්, "හිමි සඳුනි මට හැකි පමණින් උත්සාහ කරන්නම්" යයි සූර්යයාට  පැවසීය.

''who will take up my work''
said the setting sun.
 
Earth kept silent like a picture
 
But there was an earthen lamp
that said
 
''My Lord I shall do what little I could do"
 
 
සතර දිගන්තය කියවන රසවිඳින අගයන බනින මල් පුදන ගල් ගසන ඔබ සැමට සුබ නව වසරක් වේවා !  
    

Wednesday, 10 April 2013

මාගරට් තැචර් වෙනුවෙන් ශෝක සටහනක්

මියගිය හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් වෙනුවෙන් නිල ශෝක සටහනක් තැබීමට රාජකාරියේ කොටසක් ලෙස කරන්නට සිදුවිය.ලංකාවේ නිල ශෝක සටහනට සමාන්තරව මෙබඳු සටහනක් ටොරොන්ටෝහි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයේ තබා තිබු ශෝක සටහන් පොතේ ලියන ලදී.

..................Prime Minister Margaret Thatcher was a friend of Sri Lanka.... She stamped her impress on the political and economic spheres of her country bringing it back on the economic landscape of Europe.... She also stood steadfastly aginst terrorism both in her country and around the world....  We would like to extend our profound condolence.......

මෙබඳු සටහන් තවත් බොහෝ දෙනා ලියා තිබුණි. ඒ අතර අප නෙත ගැටුනේ හිටපු අගමැතිනියගේ මරණය එම රටේ විවිධ පුවත් පත් ඒවායේ මුල් පිටුවලින් වාර්තා කර තිබු විවිධ ස්වරූපයයි.

හුදී ජන පහන් සංවේගය උදෙසා එම මුල් පිටු වලට නැවත ප්‍රචාරයක් මෙසේ ලබා දෙමු.

Margaret Thatcher & The Rise & Fall of the Great British Pop Protest Song
ඩේලිමේල් පුවත්පත - බ්‍රිතාන්‍යය රැකගත් ස්ත්‍රියThe women who saved Britain

ඩේලි මිරර් පුවත් පත - ‍ජාතියක්  භේද භින්න කළ ස්ත්‍රිය- The women who divided a nation

ද ස්ටාර් පුවත් පත - අපට කිසිදා ඇයට සමාව දිය නොහැකිය- We can never forgive her

සොෂලිස්ට් වර්කර් පුවත් පත- ( සොහොන් ගලක් ප්‍රදර්ශනය කරමින් ) මෙහි නිදන්නේ පොහොසතුන්ගේ ආදරයට බඳුන් වුද දුප්පතුන්ගේ වයිරයට බඳුන්වුද මාගරට් තැචර්ය. සතුටුවෙයල්ලා!- REJOICE! loved by the rich, hated by the poor

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත  - මහා පරිවර්තිකාව- the great transformer

ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත  - බ්‍රිතාන්‍යය වෙනස් කළ ස්ත්‍රිය- The women who changed Britain

ඉහත දක්වා ඇත්තේ පුවත් පත් කිහිපයක මුල් පිටු පමණි.
පින්තූර සමග සියලු මුල් පිටු පහත සබැඳියෙන් බලනු මැනවි.

http://www.thestar.com/photos/2013/04/08/margaret_thatcher_newspaper_coverage.html

Google+ Followers