Sunday, 17 March 2013

ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකු නොවේ !:ගොපලු උදානයක අසිරිය


'ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකි!'
 
 මේ යෙදුම දකින විට අපට මතක් වන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා ය.ඔහු ලියූ 'පමා වෙලා වැහපන් වැහි වලාවේ' නම් කාව්‍ය නිර්මාණය ය. එය කලෙක උසස් පෙළ විභාගයට සිංහල සාහිත්‍ය හැදෑරුවන් සඳහා නිර්දේශිත කවි පන්තියක් විය. එය අපට 'වෙඩි වගේ'කවියක් විය. පවතින සමාජ ක්‍රමය වහා උඩු යටිකුරු කර වඩා සාධාරණ සමාජවාදී සමාජයක් අද හෙටම බිහිකර ගැනීමේ උනන්දුවෙන් සිටි අපට එකල පරාක්‍රමගේ මෙම කවිය ඇතුළු බොහෝ කවි විශාල මානසික උත්තේජනයක් ගෙන දුන් ඒවා විය.

 බෞද්ධ සාහිත්‍යයේ එන 'ධනිය ගෝපාල' නම් චරිතය ඇසුරින් පරාක්‍රම මෙම විරෝධාකල්පික නිර්මාණය ඉදිරිපත් කරයි. පරාක්‍රම මවන ධනිය ගෝපාල චරිතය යනු 'තමන්ගේ කට බඩ පුරවාගත් පසු අනෙක් උන්ට හෙන ගැහුනත් කමක් නැතැයි' සිතන වර්ගයේ නරුම පරිභෝජනවාදියෙකි. එකල එම කවිය කියවන විට අතීත දඹදිව පමනක් නොව ඒ මොහොතේ අප අවටද ධනිය ගෝපාලලා බුරුතු ගණනින් සිටින බව අපට පසක් විය. (මෙකලද වෙනසක් නැත. ප්‍රමාණය වැඩිවී තිබේ.) එහෙයින් ධනිය ගෝපාල ලෙස අප සිත්හි සටහන් වූයේ ඉතා නරුමවාදියෙකු පිලිබඳ හැගීමකි. එහෙත්බුද්ධ කාලයේ විසූ ධනිය ගෝපාල එවැනි නරුමයකු නොව ඉතා උතුම් සත්පුරුෂයකු බව පසුව මට වැටහුනේ සුත්ත නිපාතයේ එන ධනිය සූත්‍රය සහ නිකෝ කසන්ට්සාකිස් නම් ග්‍රීක ලේඛකයා ලියූ "සෝබා නම් ග්‍රීකයා" ( Zorba de Greek)  යන නවකතාව කියවීමෙන් පසුවය.

''බත උයාගෙන තිබේ. කිරිදොවාගෙන තිබේ. ගෙය මැනවින් සෙවෙලි කර තිබේ. ගිනි දල්වා ඇත. වැස්ස ඉතින් ඔබට කැමතිනම් වහින්න."' ධනිය සූත්‍රයේ පළමු ගාථාව එපරිදිය. පරාක්‍රම කියන්නේ කුරිරු ධනවාදියෙකුට වැස්ස ගැන එසේ පැවසිය හැකි වුවද රබර් කිරි කපා ජීවත් වන කම්කරු පන්තියේ ස්ත්‍රියකට
 දාව උපන් දරුවෙකුට එසේ කිව නොහැකි බවය. වැසි වැස රබර් ගස් තෙමීගියහොත් හෙට දිනයේ අම්මාට වැඩ නැතිවන බව නියතය. එම නිසා ධනිය ගෝපාල නුඹ නම් කුරිරු ධනවාදියෙකි. අනේ වැස්ස මේ ධනවාදියාගේ කීම නොඅසා පමාවෙලා වැහපන්! පරාක්‍රම තම කවියෙන් කියන්නේ එවැනි කතාවකි. එය කවියාගේ නිදහසය. එහෙත් ධනිය සූත්‍රයේ සහ සෝර්බා නම් ග්‍රීකයා නව කතාවේ එන ධනිය ගෝපාල චරිතය පරාක්‍රමගේ කවියටත් වඩා සමහර අංශවලින් අපගේ ජීවිතය ප්‍රකම්පනය කරන්නාවූ උත්තම චරිතයකි.

දැන් අපි මේ කෙටි සූත්‍රය දෙස බලමු. මෙය බුදුන් වහන්සේ සහ ධනිය ගෝපාල අතර කෙරෙන සංවාදයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරී ඇත.

 ධනිය ගෝපාල : '' මම සිදුකළ බත් කිස ඇත්තෙමි. දෝනා ලද කිරි ඇතියෙමි. ' මහී ගංතෙර ' සමීපයෙහි අනුකූලපරිජනයා සමග වාස ඇතියෙමි. වාස ගෘහය සෙවෙනි කරන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව."

ඉහත දැක් වූ පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ භාෂාව තරමක් දුෂ්කර බැවින් අපි සරල පරිවර්තනයකින් ධනිය සූත්‍රය කියවමු.

ධනිය ගෝපාල :       " (බිරිඳ වන ගෝපිකාව විසින්) අහාරය පිළියෙළ කර ඇත. දෙනුන්ගෙන් කිරි දොවා අවසානය. මේ ගංගා තීරයේ මා හා සමාන අදහස් දරන ජනයා සමග කාලයක් තිස්සේ  වාසය කරමි. නිවස වැස්සෙන් නොතෙමෙන සේ සෙවෙලි කර ඇත. නිවස ගිනි දල්වා එළිය කර උණුසුම් කර ඇත. එහෙනම් වැස්ස, ඔබට ඔනෑ නම් වහින්න ."

බුදුන් වහන්සේ:    " ධනිය, මම කිපෙන තැනැත්තෙක් නොවෙමි. සිතේ ඇතිවන සැකය දුරුකළ තැනැත්තෙක්මි. මෙම "මහී" ගංතෙර අසල එක රාත්‍රියක් පමණක් වාසය කරමි. නුඹගේ කුටිය වසා ඇතත් මගේ කුටිය සැඟවිය යුතු ක්ලේශ ධර්ම නැති බැවින් විවෘතය. වැස්ස ඉතින් කැමති නම් වහින්න."

ධනිය ගෝපාල:     '' මාගේ ගෝපිකාවද මට ඉතා කීකරුය. ආහාරපානාදියෙහි හෝ පර පුරුෂයන් කෙරෙහි හෝ ලොල් බවක් නොදක්වන්නීය.බොහෝ කාලයක සිට ප්‍රිය මනාපයෙන් ඇසුරු කළෙමි. කිසි දිනෙක ඇය කෙරෙහි වරදක් අසන්නට නොලදිමි.වැස්ස ඉතින් කැමති නම් වහින්න". 

බුදුන් වහන්සේ:     "ධනිය, මගේ සිත මට වසඟ විය. සියලු කෙලෙසුන්ගෙන් මිදින. එය බොහෝ කාලයක් පරිභාවිත විය. මොනවට දැමුනේ විය. මම පව් නොකරමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

ධනිය ගෝපාල:   " මම මවිසින් සපයාගනු ලබන වැටුපින් ජීවත්වෙමි. මාගේ පුත්‍රයෝද මා සමගම සිටිති. ඔවුන්ගේද වරදක් අසා නැත්තෙමි. වැස්ස ඉතින් කැමතිනම් වහින්න".

බුදුන් වහන්සේ:     "මම කිසිවෙකුටත් දාසයෙක් නොවෙමි. මම දාස භාවයෙන් මිදී මුළු ලොවෙහිම හැසිරෙන්නෙමි. දාසකමින් මට වැඩක් නැත. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

ධනිය ගෝපාල:    " මට නහඹු වස්සෝ සිටිති. දෙන ගේ කිරි බොන වස්සෝද සිටිති. ගැබිණි දෙන්නුද ඇත. ප්‍රවේනි ඝටනා දෙන්නුද ඇත. මේ ගව ගාලෙහි ගවම්පති ගොනුන්ද ඇත. වැස්ස ඉතින් කැමතිනම් වහින්න"

බුදුන් වහන්සේ:  " මට නහඹු වස්සෝ නැත. දෙනගේ කිරි බොන වස්සෝද නැත. ගැබිණි දෙන්නුද නැත. ප්‍රවේනි ඝටනා කරන දෙන්නුද නැත. මෙහි ගවම්පති ගොනුන් ද නැත. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

ධනිය ගෝපාල:  " ගොනුන් බඳින කණු නොසැලෙන ලෙස සිටවා ඇත. මුදු තෘණ වලින් සැදී කඹ සවිකර ඇත. ගොනුන්ට ඒවා කැඩිය නොහැකිය. වැස්ස ඉතින් කැමතිනම් වහින්න"

බුදුන් වහන්සේ:    "බන්ධනයන් බිඳ ගෙන යන වෘෂභයෙකු සේ මද පට කඩාගෙන යන ඇතෙකු සේ මම යලිත් ගෘහ වාසයේ සයනයට නොයමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න".

 එම අවස්ථාවේදී මහා වැසි ඇද වැටෙන්නට විය. මහා වැසි වැටෙන හඬ අසා ධනිය ගෝපාල මෙසේ කීවේය.

ධනිය ගෝපාල: " යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමුද ඒ නිසා අපට අනල්ප ලාභයක් සිදුවේ. අපි ඔබ වහන්සේ සරණ යමු. ඔබ වහන්සේ අපට ශාස්තෘ වන සේක්වා මගේ බිරිඳද මමද ඉතා කීකරුව බුදුන් වහන්සේ වෙත් ගොස් බ්‍රහ්මචර්යාවෙහි වසන්නෙමි. ජාති ජරා මරණයන්ගෙන් මිදෙන්නෙමු. සියලු සසර දුක් කෙලවර කරන්නෙමු".

එවිට මාරයා මෙසේ කීවේය " පුතුන් ඇති අය පුතුන් නිසා සතුටු වෙයි. ගව හිමියන් ගවයන් නිසා සතුටු වෙයි. උපාදාන (ඇලීම ආශාවන්) මිනිසාට ගෙන දෙන්නේ සතුටකි "

බුදුන්වහන්සේ : ' පුතුන් ඇති අය පුතුන් නිසා දුක් වෙයි. ගව හිමියෝ ගවයන් නිසා දුක් වෙයි. ආශාවන් මිනිසාට ගෙනදෙන්නේ දුකමය. යමෙක් ආශාවන් රහිත වූයේද හෙතෙම ශෝක නොකරයි.

 ධනිය ගෝපාල යනු කාශ්‍යප බුදුන් සමයේ මහා පින්කම් කර ඒ පිනින් ගෞතම බුදුන් සමයෙහිද මිනිසත් බව ලබා ඉපදුන බව විස්තර කෙරේ. ඔහු ජීවත් වූයේ ගොපලු ප්‍රජාවක නායකයකු ලෙස සහ ඉතා සාධාරණ ව්‍යාපාරිකයකු ලෙසය. ඔහු ජීවත් වුන "මහී ගංගා මිටියාවත" මහා වැස්සට යටවී ගංවතුරට බිලිවන බව දිවැසින් දුටු බුදුන් වහන්සේ මේ ගංගා මිටියාවතට වඩින්නේ ධනිය ඇතුළු පිරිස ගංවතුරින් බේරා ගැනීමටය.
මෙහිදී අඹුදරුවන් පිරිවර දැසි දසුන් උප භෝග වස්තු දේපල තිබීම නිසා ධනිය සතුටුව උදම් අනයි. ඒවා කිසිවක් නැති නිසාම බුදුන්වහන්සේද සතුටුව උදම් අනයි. අවසානයේදී ධනිය ගෝපාල ඔහුගේ ජීවිතයේ නිසරු බව වටහා ගනියි. මාරයාට තවදුරටත් ධනියව රැවටිය නොහැකි විය.

මේ ජීවන දර්ශනය සොබා නම් ග්‍රීකයා නවකතාවට එකතු කිරීමට එහි කතුවරයා ප්‍රයත්න දරයි. ධනිය සහ බුදුන් වහන්සේ අතර ඇති වූ මෙම කාව්‍යමය ගීතමය විචිත්‍ර සංවාදය තම නවකතාවට එකතු කළ නිකො ක්සන්ට්සාකිස් එය බටහිර බිහි වූ අපූරු කලා කෘතියක් බවට පත් කළේය.

ධනිය ගෝපාල සුත්‍රය කලාත්මක වස්තු විෂයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේදී පරාක්‍රමට වඩා ඉදිරියෙන් නිකො කසන්ට්සාකිස්   සිටින බව පෙනේ. එහෙත් පරාක්‍රම "රශ්මි" සහ  "ආලෝක මිනිසා" වැනි කාව්‍ය කෘතීන් කරද්දී බුදු දහමේ එන ජීවන දර්ශනය කාව්‍ය නිමිති කර ගන්නා ශූර භාවය වෙනත් කිසිම කවියකු විසින් දක්වා නැති බව මට සිතෙයි. අදටත් මගේ ප්‍රියතම කවියා පරාක්‍රමය. ඔහු ලියූ සියලු කවි වලට මම කැමතිය.

පසු සටහන- ධනිය සූත්‍රයේ සිංහල පරිවර්තනය වෙනුවෙන් ඉවහල් කරගත්තේ බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනයත් කිතලගම පඤ්ඤාසීහ  හිමි විසින් රචිත "ගොපලු උදානය' කෘතියත්ය. එම පොත් මට ලබා දුන්නේ ටොරොන්ටෝ මහා විහාරයේ රතනසිරි නාහිමියන් සහ විමලබුද්ධි හිමියන්ය .

සෝර්බා නම් ග්‍රීකයා කෘතිය ඉංග්‍රීසියෙන් කියවූ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා මෙය සිංහලයට පරිවතනය කරන ලෙස තිස්ස වඩිගමංගාව මහතාට ඇරයුම් කළේය. මා කියවූයේ එම සිංහල පරිවර්තනයයි. එය මට දුන්නේ එකල ලේක් හවුසියේ අප සමග වැඩ කළ මාධ්‍යවේදිනියක වූ දේවිකා වඩිගමංගාව ය. මේ සියලු දෙනාටම තුති !

8 comments:

  1. ධනීය ගෝපාලයෝ හා බුදුන් අතරවන සංවාදය හුදු හෙළුවෙන් මෙන්ම සැබි හෙළුවෙන් ද පැහැරීනම් අගනේයැ.

    ReplyDelete
  2. සුමිත් අයියගෙන් පාර අහන් ආවේ..හරිම වැදගත් ..
    හෙමීට කියවන්න ඕනේ.....

    ReplyDelete
  3. මෙවර ඔබ හරියටම නිවැරදිව ඇණය ගසා ඇත...

    මේ සංවාදය මට පේන්නේ සියලු හෞතික සම්පත් වලින් අනූන වු, ජීවීතය යනු සියලු බෞතික සැප වීදීම යයි අදහස් කර ගත්තකු හා ඊට ප්‍රතිවිරුද්ධ වූ සැප යනු හෞතික සම්පත් අත ඇරිම යැයි තේරූම ගත්ත දෙදෙනෙකු අතර සංවාදයක් විදිහටයි..

    මෙච්චර දවසක් කරු පෙන්නෙගෙන ආපු පෙරදිග බටහිර අතර වෙනසක් මේ සංවාදයෙන් හරියටම පෙන්න්නුම කරනවා


    බටහිර ලෝකය ගවේඩ්ශණය කරලා සතුට හොයනවා...
    පෙරදිග තමන්ව ගවේශනය කරලා සතුට හෝයනවා.

    ReplyDelete
  4. මා දන්නා තරමින් භෞතික සම්පත් ලැබීමටත් පින් කර තියෙන්න ඕන. විවාහ වූ දින පටන් ආශාවන් ගෙන් තොර වූ වොත් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්ණයක්. මම හිතන විදිහට සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යන්න උපදෙස් බුද්ධ දේශණාවේ කියා දී තියනවා. කොටින්ම කියනවා නම් රහත් වෙන්නත් ආශාවක් තියෙන්න ඕන. කරූට ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න ආස නිසා නේද රත්නපුරෙන් චන්දය ඉල්ලන්නේ. මම කැමතියි අපිට ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ ලියනවා නම්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ධනිය ගෝපාල සූත්‍රය පැහැදිළි කර දෙමින් ඉටු කළ ධර්මදානමය පුණ්‍යකර්මය අගය කරන නමුත් සමාජවාදියකු නොවන පරාක්‍රම කොඩි‍තුවක්කු අදාළ කවිය නිර්මාණය කර ඇත්තේ සූත්‍රයේ පළමුවැනි ගාථාවේ ධනියගේ ප්‍රකාශය මතුපිට අර්ථයෙන් පමණක් අවබෝධ කරගෙන බව පෙනේ. සමහරවිට ඔහු සූත්‍රය කියවා නැතැයි සිතමි.

    යම් ප්‍රකාශයක අර්ථය එය කරන ස්ථානය අනුව වෙනස් වේ. මෙහිදී සිදු වී ඇත්තේ එයයි. ධනියගේ ප්‍රකාශයේ සැබෑ අර්ථය තේරුම ගත හැක්කේ අඩු වශයෙන් බුදුරදුන් විසින් වදාළ පිළිතුරු ගාථාව ද කියවා තේරුම් ගතහොත් පමණකි.

    මේ ගාථාව ඇසූ පළමු මොහොතේ මට සිතුනේ ද ධනිය ගෝපාල යනු ආත්මාර්ථකාමියකු බවයි. (ධනවාදියා යනු ආත්මාර්ථකාමියා නොවේ. බොහෝ විට ධනවාදියා එවැනි ආත්මාර්ථකාමී ප්‍රකාශයන් නොකරයි)

    ReplyDelete
  7. ඉතාම සරල ලෙසින් ධනිය ගෝපාල සූත්‍රය පැහැදිළි කිරීමට සහ එහි හරය දෙස එබී බැලීමට උනන්දු කරවීමට ගත් උත්සාහය ප්‍රසංසනීයයි. අවබෝධය භාවිතයට පෙර පැමීණීම ප්‍රායෝගිකව යමක් සාර්ථකව කිරීමට සැම විටම මුල්වෙනවා.

    ReplyDelete

Google+ Followers