Thursday, 21 March 2013

හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත්වෙන්නේ...?


අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදා වෙලා තිබෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක  අපි ජීවත්වෙන්නේ

මෙයද එක්තරා උදාන ගීයකි. එකල අප උදයට ගුවන් විදුලියෙන් ඇසූ උදා උදාන ගීයකි. මේ උදානය ගයන්නේ ධනිය ගෝපාල නොව හෙළ ජාතික අභිමානේ ගැයූ සී.ටී. ප්‍රනාන්දුය. එම ගීයෙහි ඔහු මෙසේද ගයයි.

ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ

අදට වැඩිය හෙට හොඳයි! එනමින් චිත්‍රපටයක්ද තිබිණි. අප කතාකරමින් සිටින තේමාවට මෙය අදාලය. ඇත්තෙන්ම අදට වැඩිය හෙට හොඳද? මනුෂ්‍යයා නොදියුණු අතීතයක සිට වඩා හොඳ අනාගතයක් කරා ගමන් ගනිමින් සිටින්නේය යන විශ්වාසය සහිත 'ප්‍රගතිශීලී' 'ඉදිරිගාමී' 'අනාගතවාදී'දෘෂ්ටියට අනුව නම් එය එසේය. ඇත්තෙන්ම එය එසේ නොවේද?

ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවේ

ගල් යුගයේ ජීවත් වූ මිනිසාට වඩා මේ පරිගණක යුගයේ මිනිසා වඩා ඉහල අවධියක ජීවත් වන බව අමුතුවෙන් කිව යුතුද? පරිගණක යුගය දක්වා මිනිසා පැමිණියේ ගල් යුගයේ සිට නව නිර්මාණ කරමින් ඉදිරියට ගිය බැවිනි. ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවේ. ගල් නම් අදටත් තිබේ. ගල් යුගය අවසන් වූයේ මිනිසා ගල් ආයුධ භාවිතය හැර දමා තඹ, යකඩ ආයුධ කරා තාක්ෂණිකව මාරු වූ නිසා බව පුරාවිද්‍යාඥයෝ කියති. ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවුනද තෙල් යුගය හෙවත් පොසිල ඉන්ධන මත පදනම් වන මෙම නූතන 'තෙල් යුගය' තෙල් අවසන් වීමෙන් පසු අවසාන වේ යැයි සමහරු කියති. ප්‍රගතිගාමී අනාගතවාදීන් එසේ අසුභවාදී වන්නේ නැත. ඔවුන් කියන්නේ තෙල් යුගය හෙවත් නූතන යුගය තෙල් අවසන් වුවද නොවුවද පවත්වාගෙන යාමට හැකිවන සේ විකල්ප බල ශක්ති තාක්ෂණයක් මිනිසා මේ වනවිට දියුණු කරගෙන තිබෙන බවය.

මම මේ ස්වභාවික සුබවාදීන්ට ඉතා කැමතිය. එහෙත් මිනිසා අනුක්‍රමයෙන් දියුණුව කරා ගමන් ගන්නේය යන පිළිගැනීම ස්වභාවික තත්වයක් නොව නිශ්චිත දෘෂ්ටිවාදාත්මක පදනමක් මත බිහිවූවකි. ඕනෑම දෘෂ්ටිවාදයක ප්‍රබලතා මෙන්ම දුබලතාද ඇත. එම නිසා දෘෂ්ටිවාදයක් විචාරයට ලක් කිරීම නිරර්ථක ක්‍රියාවක් නොවේ.
අපි අපේ සමීප ඉතිහාසය දෙස හැරෙමු. ඔබ ඇත්තටම කැමති මහනුවර යුගයේ පවතී රාජාණ්ඩු සමාජයටද වර්තමානයේ අප ජීවත්වන සමාජයටද?   අතීතය පිලිබඳ අපට කෙතරම් අතීතකාමයක් තිබුනද එවැනි සමාජයක ගෙවන ජීවිතයක් ගැන අපට හිතාගන්නටවත් බැරිය. මහා අදිකාරම් සමග තරහට රජු අදිකාරම්ගේ බිලිඳු දියණිය වන්ගෙඩියක දමා කොටා මරවන අදිකාරම්ගේ ළමා පුතුන් දෙදෙනා බෙල්ල කපා මරවන අදිකාරම් බිරිඳ දියේ ගිල්වා මරණ නීතියක් තිබෙන සමාජයකට අප කැමති නැත.

පිං ඇති අතපත්තු මට කළ          කාරියා
මං කළ   කුඹුර වපුරන්නට           නෑරියා
ගස් මුල් උදුරන්ට මං දරපු           වීරි යා
නඩු නැති රටක මොට පායාද      සූරි යා

මෙම කවියෙන් කියවෙන ආකාරයේ අසරණ මිනිසුන් පාගා දමන රදල වැඩවසම් සමාජයක් , රැවුල කොණ්ඩය කපා ගන්නටත්, ගෙදර බිත්තියේ හුණු ටිකක් තවරා ගන්නටත් වහලයට උළු ටිකක් සෙවිලිකර ගන්නටවත් සාමාන්‍ය මිනිහාට අවසර නැති සමාජයක් දියුණු සමාජයක් යයි කියන්නේ කෙසේද? ඊට වඩා අද අප ජීවත් වන සමාජය ඒ අතින් කෙතරම් මානව ගරුත්වයකින් යුතු සමාජයක්ද ?

ඒ දේශපාලනමය සහ සමාජ ආර්ථික අතින්ය. කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ අශාවෙන් සිටි ගජමන් නෝනාට එය ඉටුකර ගැනීමට පිරිමි වේශයෙන් පන්සලේ හාමුදුරුවන් ලඟට යාමට සිදුවිය. ඒ එකල කාන්තාවන්ට අධ්‍යාපනයක් දීමක් ගැන අදහසක් නොතිබුණු බැවිනි. අද විශ්වවිද්‍යාලයට යන හාමුදුරුවරු කාන්තා කතිකාචාර්යවරියන්ගෙන් ඉගෙන ගනිති. කලාව සහ කාන්තාවගේ පැත්තෙන් දියුණුවක් ප්‍රගතියක් තිබෙන්නේ අද නොවේද? ප්‍රගතිය පිලිබඳ මෙවැනි උදාහරණ ගණනාවක් සහිත ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය. 

එවැනි ලැයිස්තුවකින් පෙනෙන්නේ නිසැකවම ඊයේට වැඩිය අද තරමක් සුබ බවත් අදට වඩා හෙට හොඳ වන බවත්ය. අප ගමන් ගනිමින් සිටින්නේ ප්‍රගතිය කරා බව ආනුභාවිකව දැනෙන්නට පෙනෙන්නට තිබේ.
එහෙත් අපගේ මනස හිතුවක්කාරීය. අපගේ මනස මේ ආනුභාවිකත්වයට යටත් වන්නට සූදානම් නැත. මානවයා ගමන් ගන්නා මේ 'නියත ප්‍රගති මාවත' ප්‍රශ්න' කරන්නට මානව මනස පෙළඹේ.

සියලුම ට්‍රැජඩින් කොමඩි බවට වෙමින් තිබේ  අපට දුකක් නැත!

 ප්‍රගතියේ හිනිපෙත්තටම ඉහල තට්ටුවලට නැග සිටින අපට උදාන ගීතිකා ගැයීමට නොහැකිය. අප සිටින්නේ විශාල බියකිනි. ඇමෙරිකානුවා සිටින්නේ කොරියාවේ න්‍යෂ්ටික ආයුධවලට වලට බියෙනි.සිංහලයාට ජීවත් වෙන්නට සිදුවී තිබෙන්නේ දෙමලාට සහ මුසල්මානුවාට බියෙනි. දෙමලා සිංහලයා කෙරෙහි බියෙනි.ඉන්දියානුවා චීනාට බියෙනි. සියල් සිරින් පිරි ඇමෙරිකාවේ දෙමව්පියන් ජීවත් වෙන්නේ පාසලට ගිය තම දරුවා තුවක්කුව අතින් ගත කොලු ගැටයකු විසින් මරා දමාවි යන බියෙනි. පූජකයා බිය වන්නේ තමන්ට වඩා ජනතාවගේ හිත ඇඳ බැඳ ගන්නා දෙසනා කරුවකු බිහිවෙය යන බියෙනි.................. අප ජීවත් වෙන්නේ කෑදර පෙරේතයන් මෙනි. ධනය බලය කීර්තිය හමුවේ අප නොකරන දෙයක් නැත. අපට ඉවසීමක් නැත.අපේ හොස්ස ලඟින් මැස්සෙක්වත් යනවාට අප කැමති නැත....................... අප ජීවත් වන්නේ කපටි නරියන් මෙනි. 'හොක්කි බල්ලන්' රංචුවක් මෙනි. ජාත්‍යන්තර නීතිය යනු එමානුවෙල් කාන්ට් කිවූ ලෝක සාමයේ සුර ගීතිකාව නොව ලෝකය යටත් කර ගැනීමේ ආශාවෙන් පෙලෙන කීන බල්ලන්ගේ උඩු බිරීමකි.............................. සයිබර් අවකාශය වයිරය ද්වේශය ක්‍රෝධය වපුරන කෙත්බිමකි. වයිද්යවරු වෙළෙන්දෝ වී ඇත.ගුරුවරු තක්කඩින් වී ඇත. ඔවුන්ගේ ගෝලයෝ දුව දුවා මුත්‍ර කරති. තම පියා සහ සහෝදරයා පාවා නොදුන්නේ පූර්ව නූතන ඇන්ටිගනී කුමරිකාවය. නූතන පිදෙල් කස්ත්‍රෝගේ දියණිය පියා පාවා දෙයි.............. සියලුම ට්‍රැජඩින් කොමඩි බවට වෙමින් තිබේ අපට දුකක් නැත!.........ලෝක සාමය ගැන වැඩිපුරම කතා කරන්නේ ආයුධ වෙළඳාම ජයටම කරගෙන යන රටවල්ය............................. ජනමාධ්‍යකරණය යනු ගැටුම් සහ ලිංගිකත්වය විකුණා බඩවියත සපුරා ගැනීමය... "හැමතැනම මරු වැල්ය. නුරා නෙතු ගිනිදැල්ය ආත්මය  පරඬල්ය". ලෝක ජනගහනයෙන් පහෙන් එකක හෙවත් බිලියනයක් කුස ගින්නේ දිළිඳුකමින් දුක්විඳිති....................පරිසරය අපට දඬුවම් කරමින් තිබේ...................... ........................... ......................... ඔබ තව මෙයට එකතු කරන්න ..............................  .......................... .................ගල් යුගයේ තිරිසනෙක් ලෙස ජීවත් මිනිසාට වඩා අපගේ නූතන මහා උජාරු ජීවිත වල ලොකු ගුණාත්ම වෙනසක් ඇතිවී තිබේද ? (n)

 දියුණු ප්‍රගතිශීලී ඉදිරිගාමී මනුෂ්‍යත්වය දියුණු කළ ලෝකයේ මෙහෙමත් චිත්‍රයක් පෙනෙන්නට තිබෙනවා නේද ? මේවා ඇත්තටම ආගමික මැසිවිලි යයි ඔබට යෝජනා කළ හැකිය. දේශපාලනිකව සිතන්නෙකු කළ යුත්තේ වඩාත් යහපත් සමාජයක් බිහි කර ගැනීමේ අරමුණින් මේ මැසිවිලි සහගත කරුණු වලට බලපා තිබෙන සමාජ ආර්ථික දේශපාලන කොන්දේසි වෙනස් කිරීම යයි ඔබ පවසනු ඇත. මා නැවත යෝජනා කරන්නේ මේ මැසිවිලි ආගමික වනවා සේම සමාජය යහපත් වෙනස් කිරීම යන කාරණයද ආගමික අදහසක් බවය. 'ආගමෙන් අපට ගැලවීමක් නැතැයි'; යනුවෙන් මුලදීම පැවසුවේ එහෙයිනි.
 
ඉදිරියට ........

9 comments:

  1. ඇත්තමයි පරණෙ. මේ හැම වන්නෙ එදාට වඩා දියුණු යැයි අපිම කියා ගන්නා ලෝකයක් තුළ. අපි අපිටම විතරක් වේගන යන්නෙ. එනපොට හොද නැති බව මම නම් මුල සිටම දනිමි. එයට පිළිතුර......... නැත........ මා අසමත්ය. අන්තිමට මටත් කියන්න තියෙන්නෙ මොට පායා ද සූරියා කියා පමණි.

    ReplyDelete
    Replies
    1. http://syndi.lankeeya.lk/

      http://blogs.sinhalabloggers.com/

      http://kottu.org/



      පරණෙ බ්ලොග් එක සින්ඩි වලට දැම්ම ද, අපි බ්ලොග් සින්ඩි වලට දාමු. කොත්තුවට ඊමේල් එකක් යවන්න. සින්ඩි ලංකා එකට ගිහින් බලන්න. එතැන විස්තර තියනවා. අනික සිංහල බ්ලොග් කියවනය ඒකටත් යවන්න පුළුවන්. මේක බොහෝ අය කියවිය යුතුයි.

      Delete
  2. මල් මසුරන් බ්ලොග් අඩවියක් නොව. වෙද මහත්තයා බුකියේ දාලා තිබුන ලින්ක් එකකින් ආවේ. මගේ පුංචි සින්ඩියට අනාරාධිතවම එකතු කර ගන්නවා. අදහස් අතින් නම් බොහෝ දුරට සමානයි වගේ. අපි බලමු ඉදිරියටත්.....

    ReplyDelete
  3. පරණවිතාන මහතා සැහෙන්න බිසී කෙනෙක් බව දන්නවා ඒත් සංවාදයෙන් තොර බ්ලොග් අවකාශයක් නැහැනේ. ඔබ පිළිතුරු දෙන බව දුටු නිසයි මම කොමෙන්ට් කරන්නේ. කෙසේ වෙතත් ඔබේ ලිපි නිතර කියවනවා. කාලෙකින් දැක්ක හොඳ බ්ලොග් එකක්.

    සමාජය ප්‍රගතිය කරා යනවා කියන එකත මනින්නේ ශිෂ්ටාචාර සම්මුති මත ඉඳගෙන. ශිෂ්ටාචාර සම්මුති අනුව සමාජය ඉදිරියට යනවා. ඒක හරි. හැබැයි එහෙම යද්දී අපි තවත් ගැටළු නිර්මාණය කර ගන්නවා. ඊට හේතුව ජීවී ලෙස හෝ සාමාජිය ලෙස මානවයා පරිනාමය වන්නේ "දියුණුව" පදනම කරගෙන නොවන නිසා. පරිනාමය උත්තරීතර ධර්මයක් නොවේ. පහත් තැනින් ජලය ගලන්නා වැනි ඉනේවිටබල් දෙයක්. පරිනාමය තුලින් උත්තරීතර ජීවියෙක් හැදෙන්නේ නැහැ. හැබැයි මනසක් තියෙන මනස තුල ශිෂ්ටාහ්චආරයක් මවාගෙන ඉන්න මිනිසා තමන්ට රිසි සේ හර්ද ශාක්ෂියක් හදාගෙන [ශිෂ්ටාචාර සම්මුති වලට යටත්ව] ඒක කොහොම හරි සම්පුර්ණ කරන්න වෙහෙසෙනවා. හැබැයි යටින් ඉන්නේ පරිනාමික සතා නේ. ඉතින් ඌ ඒක අස්සේ තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ෂෝට් කට් කපටි වැඩ කරනවා.

    අද අපි ඉන්න දියුණු යයි සම්මත යුගයේ ගව දෙනුන්ට උපදින පිරිමි පැටවුන් සතියක් තුල මරා දමන්නේත්, ඒ සතියේ කිරි අපතේ යන නිසා ඌව බඩගින්නේ තියන්නෙත් මේකයි. මේක ඇහුවම සමහර විට අතීත ලාංකිකයා කම්මුලේ අත තියා ගනියි. හැබැයි රජුට ද්‍රෝහී වෙච්ච එකාගේ අඹු දරුවන් මරද්දී එහෙම කම්මුලේ අත තියා ගත්තු බවක් පෙනෙන්නේ නැහැ. ශිෂ්ටාචාර සම්මුති.

    මේ ශිෂ්ටාචාර සාමුති වලින් එහාට පේ තියෙන එකම ප්‍රගමනය විද්‍යා හා තාක්ෂණික දියුණුව පමණයි. ඒ කාලේ පවුලක් වෙතොත් ඒක දරුවෙක් විතර මැරිලා. මිනිහෙක් සමහර විට බඳින්නේ ගැහැනියගේ නංගි දෙවන මනමාලියට අරගෙන, මොකද දරු උපතේදී එතරම් ගැහැණු මැරෙනවා. මේවා නැති කිරීම පමණයි අපේ පහු කාලින ප්‍රගතිය.

    දැන් තියෙන අර්බුධය වෙන්නේ මේ ලබා ගත්තු දියුණුව ලොව පුරා බෙදා ගැනීම. එතනදිත් මම හිතන්නේ අපි පහුගිය වසර 50 ඇතුලටත් මාර දුරක් ඉස්සරහට ගිහින්. සී එන් එන් කාරයාට දැන්වීම් විකිණීමේ උවමනාවට හරි හිතෙනවා සහෙල් ප්‍රදේශයේ ජල හිගය හා හාමත ගැන ඇමරිකාවට පෙන්නන්න. වසර පනහකට පෙර මාලි, චැඩ් කිව්වම මොකද්ද කියා නොදැන උන්නේ මිනිස්සු පමණක් නොවේ මාධ්‍ය වත් දැන උන්නේ නැහැ. අපි ඉස්සරහට අඩියක් ගිහින්.

    මෙහෙම තමයි කරුණාරත්න මහත්තයා මේ ගමන යන්නේ. ඔයිට එහා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. කොටින්ම පරිනාමික ක්‍රියාවලියක් තුල බලාපොරොත්තු තියාගන්න බැහැ. හුදෙක් ලද දෙයින් සතුටු වෙන්නත් හෙට වඩාත් හොඳ කර ගන්නත් විතරමයි පුළුවන්.

    මේක ඇතුලේ ලයින්ස් මැද්දේ තියෙනවා පණිවුඩයක් මේ සිස්ටම් ඒක අවුල් නිසා මේක වැටෙනකම් ඉන්න හෝ වට්ටන්න හදන අයට. එහෙම කරපු ඒක පර්යේෂණයක් වත් සාර්ථක වෙලා නැහැ. සරල හේතුව තමා මානවයා යනු උත්තරීතර මිනිසෙකු නොව පරිනාමික සතෙක් වීම. උත්තරීතර විය යුත්තේ පද්ධති විනා මිනිසුන් නොවේ. පද්දතියක උත්තරීතර බව කියන්නේ ආත්මාර්ථකාමී සාමාන්‍ය මනුස්ස සතෙකුට පිස්සු කෙලින්න බැරි වීම. වර්තමාන පළමු ලෝකය හදාගෙන යන්නේ එහෙම පද්ධති.

    දිගු අදහස කෙටි කරලා කෙනෙකුට කොමෙන්ට් එකක් දැම්මා. පස්සේ මම ඒක මගේම බ්ලොග් එකක දැම්ම. ඉඩක් ලදොත් කියවන්න.

    අදහස් දෙකක්

    මම හිතන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපූර්ණතාවයේ මානසික රෝගය වෙනුවට අදට වඩා හෙට සුබ කර ගන්න හදන ඒක තමා. සී ටී ප්‍රනාන්දු හරි.

    ReplyDelete
  4. බොහොමයක් හිත්වල ඇති (ප්‍රස්නය මෙන්ම විසඳුමද ආගමෙන් බැඳුනු??) කාරණා රූප රචනයක් රහිතවම සිතුවම් පටයක් වී ඇති සැටියි. සමහර කොටස් සංස්කරණය වී ගිලිහී ගොස් ඇත්ද නැතිද යන්න ප්‍රේක්ෂකයින් නොදනී. අවසන් නිමැවුම දෙස අප බලා සිටිමු. ප්‍රේක්ෂකයනට කථාව වෙනස්කිරීමට හැකියාවක් නැත්තාසේම ඒ බලන්නේ තමන් දෙසම යැයිද නොතේරේ. References තනන්නෝ කවුරුන්ද? පැරණි ගීත වලට මාත් කැමැතිය. ජෝතිපාලගේ "රසෝඝයේ බැඳී එනු රහයි ජීවිතේ" මෙන් සිතා මේ ගීය කිව හැකිය;
    "තැන තැන රවුමට ඉඳගෙන
    ඉද හිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඤ්ඤා"



    ReplyDelete
  5. ගල් යුගය අවසන් වුවද ගල් වඩුවෝ අදද සිටිති.

    ReplyDelete
  6. කරු,
    මේ සටහන් කියවන්න ඉඩක් ලැබුණෙ දවස් කීපෙකට පස්සෙ.

    ඔබේ සටහන අහනවා: “ගල් යුගයේ තිරිසනෙක් ලෙස ජීවත් මිනිසාට වඩා අපගේ නූතන මහා උජාරු ජීවිත වල ලොකු ගුණාත්මක වෙනසක් ඇතිවී තිබේද ?“

    මේ එක්කම කියවන්න ලැබුණු සටහනක් මේක:
    http://romatearne.blogspot.ca/2013/03/ranis-story.html

    ReplyDelete

Google+ Followers