Friday, 29 March 2013

මොන රෙද්දක්ද මේ........ ?

මේ අවුරුදු කාලයයි. අපේ රටේ ජනතාව රෙදි සාප්පු ළඟ පොදිගැසී සිටිනවාට සැකයක් නැත. රෙදි ගන්න පොදි ගැසී සිටින සෙනග කන්දරාව දෙස බලන කොට පෙනෙන්නේ ශතවර්ෂ ගණනාවක් නිරවස්ත්රව හිටිය වගේ ජනතාව විශාල රෙදි පිපාසයකින් පෙලෙන බවයි. මේකට හේතුවක් තිබේ. මෙසේ පොර කමින් රෙදි ගන්නේ තමන්ට ඇඳ ගන්නටත් වඩා අනුන්ට තෑගී දෙන්නටය.තෑගී දෙන විධිය සංස්කෘතියෙන් සංස්කෘතිය වෙනස්ය.සමහරු කෑම. සමහරු ආබරණ, සමහරු මුදල්. සමහරු මූර්ති කැටයම්.සමහරු සමරු නිර්මාණ. අපේ සංස්කෘතියේ ප්‍රධානම තෑගි භාණ්ඩය රෙද්දය! අවශේෂ ඒවා නැතිවම නොවේ. එත් රෙද්ද ප්‍රධාන තෑග්ගය.

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි
උඹට රේන්ද රෙදීයි පට කම්බා අඳින්න දෙන්නයි...
මම ගාලු දුවන්නයි .. කොළඹ දුවන්නයි

විවාහ යෝජනාව ගේන්නේ එහෙමය.

අවුරුද්දට කොළඹ ඉඳන් ගමේ යනකොට අම්මට චීත්තයක්. තාත්තට කමිසයක්. උඩහ ගෙදර මාමට සරමක්. මස්සිනාට... චූටි පුතාට. සුදු අක්කට.. කළු මල්ලිට.. ආච්චිට ...... කොපමණ රෙදි කන්දරාවක්ද? රැකියාවක් කර ලබන පළමු වැටුපෙන් ගන්නෙත් තෑගී දීමට රෙදිය. "මම උන්ගෙන් රෙදි කෑල්ලක දෙයක් අරගෙන නැහැ". එහෙම කියනවා අප අසා ඇත. හාමුදුරුවන්ට වැඩිපුරම ලැබෙන්නෙත් රෙදිමය. සිවුරු, තුවා,ඇඳ ඇතිරිලි. පන්සලට වුවමනා කරන වෙන මොනවා තිබුනත් අපි කැමති පන්සල කහපාට රෙදි වලින් පුරවන්නටය. මිනිහෙක් මරුණහම ඒ මිනිය ඉදිරියේ තබාගෙනම අපි පන්සලට දෙන්නේ පාංශකූල රෙද්දය.

රෙදි මිනිසාගේ අත්‍යවශ්‍ය භාණ්ඩයකි. කාටත් එය අවශ්‍යය. එහෙත් අපට එය මෙතරම් විශේෂ වැදගත් කමක් සහිත භාණ්ඩයක් වී තිබෙන්නේ ඇයි? මේ සංස්කෘතික පුරුද්දට එතිහාසික හේතුවක් තිබෙන බව මට සිතේ. මට සිතෙන හැටිය. වැරදි වන්නට පුළුවන.

හේතුව අපි රෙද්දෙන් ස්වයන්පොෂිත වන තරමට රෙදි පිලි නිෂ්පාදනය කළ ජාතියක් නොවීමය. විජය ගොඩ බසින විට කුවේණි කපු කටිමින් හිටිය කිව්වට රටේ ප්‍රධාන කර්මාන්තය වුනේ කුඹුරු ගොවිතැනය. අපි ඉතිහාසය පුරා අමුඩ ගසාගෙන කුඹුරු කෙටූ ජාතියක දරුවන්ය. ( ඔලොක්කුවට නොවෙයි. සීරියස්!) ඉන්දියාවේ පකිස්ථානයේ වගේ ලොකු කපු වගාවක් චීනේ වගේ පටපිළි කර්මාන්තයක් අපට තිබුනේ නැත.හැම රටකම හැම කර්මාන්තයක්ම තිබිය යුතුය කියල නීතියක් නැත. අපි මහා පරිමාණ වැව් තනා කෙත් බිම් අස්වද්දුවෙමු. එහෙත් අපි ලොකුවට කපු වැව්වේ නැත. මීට දශක තුන හරකට පෙර හම්බන්තොට සහ මන්නාරමේ මහා පරිමාණයෙන් කපු වවන්නට වෙර දැරුවද ඒවා එතරම් යාදුන්නේ නැත. රෙදිපිළි ඈත අතීතයේ සිටම අප රටට අත්‍යවශ්‍ය එහෙත් හිග භාන්ඩයක් විය. අපට රෙදි ලැබුනේ ඉන්දියාවෙන්ය. චීනෙන්ය. ඒවා රටට අරන් ආවේ මුස්ලිම් සහ චීන වෙළෙන්දන්ය. ඔවුන්ගෙන් රෙදි අරගෙන අපි ඔවුන්ට ලෝකයේ තිබෙන ඉස්තරම්ම කුරුඳු ,ගම්මිරිස් , කරාබුනැටි,පුවක්, කරුන්කා ආදී කුළුබඩු දුන්නෙමු.

මුස්ලිම්- චීන වෙළෙන්දන්ගෙන් ලැබෙන රෙදි අපට මහමෙරටත් වඩා වටිනා වස්තුවක් විය. සිංහලයාට එතිහාසික වශයෙන් විකාශනය වූ ජාතික ඇඳුමක් නැතිවීමට හේතුවද මෙය විය හැකිය. ලොකු ඇඳුම් කර්මාන්තයක් තිබුනේ නම් රෙදි බහුල වී විලාසිතා නිර්මාණය වී ජාතික ඇඳුමක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. හැම ජාතියකටම නිශ්චිත ජාතික ඇඳුමක් තිබිය යුතු බව මෙයින් කියවෙන්නේ නැත. මේ කියන්නේ අපට නැතිවූයේ ඇයිද යන්න ගැනය. මතයක් විතරය. වැරදි වන්නට පුළුවන.

මොකක්ද අපේ ජාතික ඇඳුම? අපි අද අඳින සරම සාරිය දකුණු ඉන්දියාවෙන්.ඔසරිය කේරලයෙන්.කලිසම යුරෝපයෙන්, ෂල්වාර් කමීස් උතුරු ඉන්දියාවෙන්. ඒවාටත් ලොකු ඉතිහාසයක් නැත. එසේ නම් රෙද්ද සහ හැට්ටය!. එයට නම් තරමක දිගු ඉතිහාසයක් තිබෙන බව පෙනේ. එහෙත් දැන් කිසිම් ස්ත්‍රියක් රෙද්ද සහ හැට්ටය ජාතික ඇඳුමක් ලෙස අඳින බවක් නොපෙනේ. රෙදි හැට්ට ඇඳගත් කෙල්ලන් අවුරුද්දට උන්චිල්ල පදින්නේ රූපවාහිනී නාලිකා වල පමණය. අපේ ගමේ කෙල්ලන් නම් අඳින්නේ කලිසන්ය. මේවා මෙහෙම ලියන්නේ රට පහත් කිරීමට නොව රටට ඇති ආදරය නිසාමය. මගේ කලිසම ඇමෙරිකාවේ.... කලිසමේ ඉන පටිය තුර්කියේ...... සපත්තු දෙක ජර්මනියේ, කමිසය ඉතාලියේ...... කමිසයට යටින් අඳින බැනියම ඉන්දියාවේ.. එත් මගේ හදවත ශ්‍රී ලංකාවේ!

 මතකනේ.... ශ්‍රී 420 චිත්‍රපටයේ රාජ් කපූර් කියන සින්දුව..

මේර ජුටහේ ජපානී                 (මගේ සපත්තුව ජපානයේය )
යෙහ් පත්ලූන්  ඉන්ග්ලිස්තානී  (මගේ කලිසම එංගලන්තයේය )
සර්පේ ලාල් තෝපී රූසී          (මගේ තොප්පිය රුසියාවේය )
පිර බී දිල්  හයි හින්දුස්තානී      (එහෙත් මගේ හදවත ඉන්දියාවේය)

කෙසේ වෙතත් ඒ චිත්‍රපටයද ඉන්දියාවේය.

නැවතත් රෙද්දට බහිමු. සරම බැනියම හෙවත් නැෂනල් එක අපේ ජාතික ඇඳුම වුනේ යටත් විජිත යුගයේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයත් සමගමය.එයටත් ඇත්තේ ඉන්දීය උරුමයකි . එත් දේශපාලනය කරන අය හැරෙන්නට වැඩිදෙනෙක් මේ ඇඳුම අඳින්නේ උත්සව වෙලාවට පමණි. ගෑනු ළමුන් දහම් පාසලට අඳින ළමා සරියටත් වැඩි ඉතිහාසයක් නැත. ධර්මපාලතුමගේ බලපෑම නිසා ජනප්‍රිය වූ ඇඳුමකි.

එතකොට සිංහලයට ඇඳුමක් තිබුනේ නැද්ද? මොකද නැත්තේ? සිංහලයට තිබුනේ නැත්තේ නිශ්චිත එක ඇඳුමක් විතරයි. අවස්ථාවේ හැටියට සිංහලය එක එක ජාතියේ ඇඳුම් අන්දා. ඒක තමයි සිංහලයගේ ඇඳුම් ප්‍රතිපත්තිය. කුඹුරට එක විධිහේ ඇඳුමක්. ඒක ඇඳගෙන පන්සලට ගියේ නැහැ. පන්සලට වෙන එකක්. මගුල් තුලා වලදී තවත් විධිහක්. විවිධයි. විෂමයි. එක අතකට ඒකත් හොඳ ඇඳුම් ප්‍රතිපත්තියක්. මුහුදු වෙරළට යන විධිහට පන්සලට යන්න ඕනි නැහැ වගේම පන්සලට යන විධිහට ඇඳ ගෙන මුහුදු වෙරළට යන්න ඕනිත් නැහැ.

දැන්නම් ලංකාව ඇඳුම් වලින් පොහොසත්ය. ලංකාව ලෝකයේ ඇඳුම් සපයන රටවලින් ප්‍රධාන රටකි. අපි කපු වවා ඇති නිසා නොවේ. නිදහස් වෙළඳ කලාප සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රතිපත්තිය නිසාය. ජීඑස්ටී අවුල නිසා අපි දැන් යොමු වෙමින් තිබෙන්නේ "ඉහල වෙළඳ සන්නාම"(branded) ඇඳුම් නිපදවීමටය. අර "වික්ටෝරියා සීක්රට්" වගේ ඒවා. ඒවා මොනවාදැයි මම විස්තර කරන්නට යන්නේ නැත. ඒවා හදන කර්මාන්ත ශාලාවක් පන්නල තිබේ. ස්ලීම් ලයින්. දවසක් මම අනුර ප්රියදර්ශන යාපා ඇමැතිතුමාත් සමග ඒ කර්මාන්තශාලාව නැරඹීමට ගිය විට එහි කළමනාකාර ඩයන් ගෝමස් මහතා අපට තෑගී වශයෙන් (නැවතත් තෑගී ) වික්ටෝරියා සීක්රට් පෙට්ටි දෙකක්ම දුන්නේය. ඒ කාලය වන විටත් ඇමැතිතුමාත් මමත් දෙදෙනාම විවාහ වී සිටි නිසා එම තෑගී පෙට්ටි නිසා අනවශ්‍ය ප්‍රශ්න කිසිවක් මතු වුනේ නැත.

ලංකාව ඇඳුම් වලින් පොහොසත්ය.ඇඳුම් වලින් අප කෙතරම් පොහොසත් වුනත් ඇඳුම් හිග කාලයේ ඇති වූ පුරුද්දෙන් අපට ගැලවෙන්නට බැරිය. එම නිසා තවමත් අපේ ප්‍රධාන තෑගී භාණ්ඩය රෙද්දය. නැවතත් අපි ඇදුම් අඳින හැටි ගැන කතා කරමු.

 මම නම් අනුගමනය කරන්නේ සිංහලයගේ උදාර ඇඳුම් ප්‍රතිපත්තිය තමයි. තැනේ හැටියට ඇනේ. ගෙදරදී එක ඇඳුමක්. විශ්වවිද්යලේදී තව ජාතියේ කිටක්. කාර්යාලයේ රස්සාව කරද්දී තව එකක්. දේශපාලනය කරද්දී තව එකක්. ඔන්න නියම තැනට ආවා! දේශපාලකයෝ මොකද ඔය තරම්ම සුදු අදින්නේ ? දැන් ඉතින් දේශපාලකයාගේ සුදු රෙද්ද ගැන කතා කරමු. ඇත්තටම රසවත් කොටස එයයි. මේ ලිව්වේ ඒකට පෙරවදනක්. එහෙනම් ඊ ලඟට බලාපොරොත්තු වන්න.......
මොන සුදු රෙද්දක්ද මේ... ?

පසු සටහන
1. කරුණාරත්න දිවුල්ගනේගෙ 'හාද වෙලා යමන් පනේ' සින්දුව හොයාගන්න බැරි වුනා.

2. ශ්‍රී 420 රාජ් කපුර්ගේ 'මේර ජුටහේ ජපානී' සින්දුව කැමති නම් මෙතනින් රසවිඳින්න
http://www.youtube.com/watch?v=1jhOnjfEDEI

16 comments:

  1. මේක නම් බොහෝම රසවත්, බ්ලොග් වල වෙනම සංස්කෘතියක් තියෙනවා. මම හිතන්නේ පරණෙට ඒක තේරිලා තියෙනවා. අපිට ජාතික ඇඳුමක් නෙමෙයි අපෙයි කියලා කියන්න තියෙන්නේ කොහොඹා කංකාරිය විතරයි. ඒකත් අද හිඟන්නා ඉස්සරහත් රඟ දක්වනවා. ඒක උනත් ළෝකයේ ඇති අනෙක් නැටුම් එක්ක ගත්තහම බොහෝම සරළ නැටුමක්. අපි බොහෝම සරළ ජාතියක්. දේ ආ සිටින් ඔන් නතින්ග් කිව්වේ නිකන් නෙමෙයිනේ. කවදත් අනුන්ගෙන් යැපුන ජාතියක්. එදත් එහෙමයි අදත් එහෙමයි. දේශපාළකයෝ සුදු අඳින්නේ නම්, එයාලගේ මුළු ශරීරයම කක්කි ගොඩක් නිසා, ඒක වහගන්න. මම රනිල්ට කැමති, මෑන් පාජා සූට් එක ගහන්නෙ නැති නිසා.

    ReplyDelete
  2. අපෙ කන්තෝරුවෙ මුස්ලිම් ඩයල් එකක් ඉන්නවා..දවසක් උත්සව වැඩකට ආවා නැටුං කන්ඩායමක්..එයාල කාමරේකට ගිහින් ඇදුම් මාරුකරලා ඉවන්ට් එකෙන් පස්සෙ ආයිත් සපත්තු හෙම දාගෙන වාහනේක නැගල ගියාලු...
    අපේ මුස්ලිම් ඩයල් එකට මාර පස්නෙ ඇයි එයාල ආයිත් ඇදුම මාරුකරගන්නෙ කියලා...
    පොර ඒක අපෙන් ඇහුවා..
    අපිට බඩ අල්ලගෙන හිනා..කෝමද වෙස් ඇදුම ්කට්ටලයත් එක්ක පොරක් බස් එකක වගේ යන්න ගත්තොත්..

    ReplyDelete
  3. කිසිවකු නොහිතන මානයකට ඔබ මේ ලිපියෙන් අපය රැගෙන ගියා. මාරම කතිකාවකට මුලක්. ඒත් ඔබ දේශපාලනය කරද්දි (රත්නපුරය) සුදු නොඇන්නේ මන්ද යන්න ගැන අදහසක් එන්නේ දැනුයි. ඒත් යාන්තමට.

    ReplyDelete
    Replies
    1. නලීන්, මමත් සුදු ඇඳුමක් තමයි ඇන්දේ.....

      Delete
  4. මේර ජුටහේ ජපානී
    යෙහ් පත්ලූන් ඉන්ග්ලිස්තානී
    සර්පේ ලාල් තෝපී රූසී
    පිර බී දිල් හයි හින්දුස්තානී

    ලස්සන සිංදුවක්.... මෙන්න අසන කෙනෙකුට පාත් එක.
    http://www.youtube.com/watch?v=5wjGc1zGWBc

    පරණවිතාන අයියේ,
    මේ දේත් සඳහන් විය යුතුයි. අප ඇඳුම් අඳනුයේ සහ එය අවශ්‍ය කාටද....? ඇඳුම් අවශ්‍යතාවය ඇත්තේ සමාජයටයි. ඇඳුම සමාජ-සංස්කෘතික අවශ්‍යතා මත ගොඩනැගන අතර, එයින් සීමාවල් පැනවේ. සීමාව ඉක්මවා යෑමේදී එය තවත් කෙනෙකුට නුහුරු නුපුරුදු බැවින් එහි දෝශ බොහෝ දකිනු ලබයි. නමුත්, එසේ කියා එය සරලව සිතිය යුතු දෙයක් ද නොවේ.

    දේශපාලුවා සුදු රෙදි අඳිනවා වාගේම දේශපාලනයෙන් පසුගිය දිනවල සුදු රෙදි (පාසල් ළමුන්ගේ නිළ ඇඳුම්) හොරුද සිටියා. දේශපාලකයින් බොහෝ දෙනෙකුට සුදු කරපටි කාරයින් කීවාට කිසිම වරදක් නෑ. මා දැක ඇති පරිදි සුදු ඇඳුම ඇඳ ජනතාව ඉදිරියට යෑමේ අඩුම ප්‍රවනතාවයක් ඇත්තේ එජාපයේ සහ ජවිපෙයි.

    කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය. ඇත්තටම තවම නිළ ඇඳුම් අතින් ආදර්ශවත්. මා දැක තිබෙනවා එහි ළමුන් ළමා සාරිය ඇඳගෙන පාසැල් යනවා.

    ReplyDelete
  5. දේශපාලනය ගෑ වුනත් ඇති.ඉවරයි ඔකොකෝම. නලින් අයියා කියන්න වගේ කථා කළ යුතු තැනක් පිළිබඳව කථා කර ඇත.

    ReplyDelete
  6. ආදි කාලයේදී කිසිම ජාතියක් "අපේ ජාතික ඇඳුම මෙසේ විය යුතුයි" කියල සම්මත කරගෙන ඇඳුම් ඇන්දෙ නෑනේ. ඇඳුම් සපයාගැනීමේ පහසුව, අදාළ රෙදි පෙරෙදි වල සුලබතාව, ඇඳුම මසාගැනීමේ හැකියාව, තමන්ගේ නියැලෙන කාර්යයේ පහසුව, හදිසියකදී ශාරීරික කෘත්‍යයන්වල යෙදීමේ පහසුව ආදිය සළකලා තමයි කොයි මනුස්සයත් ඇඳුම තෝරගන්න ඇත්තෙ ඒ කාලෙදි. යුරෝපයේ මිනිස්සු කොළ අතු අඳින කාලෙත් පෙරදිග මිනිස්සු ඇඳුම් භාවිතා කරල තියන බව පෙනිල තියෙනවනෙ.
    සිංහලයටත් ඒකීය වූ ජාතික ඇඳුමක් නෑ තමයි. ඇත්ත. මේක ජාති ද්‍රෝහී ප්‍රකාශයක් නෙවෙයි. ඔබ සීයට සීයක් නිවැරදියි. එහෙම ඇඳුමකින් අනන්‍යතාවක් ඇති කරගන්න සිංහලයට අවශ්‍යතාවක් තිබුනෙ නෑනෙ ඇත්තටම.
    අනිත් එක, මට තේරෙන හැටියට ආදි සිංහලයා ජාතිය ගැන හෝ ජාතික අනන්‍යතාවක් ගැන හොයපු බලපු කෙනෙක් නෙවෙයි. ඕනැ මනුස්සයකුට මනුස්සයෙක් හැටියටයි සළකලා තියෙන්නෙ. ගජබා රජ්ජුරුවො සොළි දොළොස් දාහක් ලංකාවට පැහැරගෙන ආවය කියන්නෙ. ගෙනල්ල හිර කරල තිබ්බද? උනුත් මෙහේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඇති.

    ReplyDelete
  7. අපි ඝර්ම කලාපීය රටක්. එනිසා උඩු කය නිරුවත්ව සහ දෙකට නවන ලද සරමක්(දනිස්සෙන් උඩට ඇති) පහලට අඳින්න ඇති කියල හිතෙනවා. ගැහැණු ත්‍රී ක්වාටර් චීත්යක යටට ඇඳලා, උඩට තනපට වන් හැට්ටයක්(අර චිට්‍රපට වල තිබෙන) අඳින්න ඇති.

    ReplyDelete
    Replies
    1. උඩට මුකුත් ඇඳලා නෑ. තිබුනත් අඳින්න තහනම්, බොහෝම මෑත කාළයේ තමයි කාන්තව උඩට අඳින්න පටන් අරගෙන තියෙන්නේ..

      Delete
    2. එහෙමම කියන්න එපා.උඩුකය වැසීම තහනම් වෙලා තිබුනේ අඩු කුල වසයෙහ් වර්ග කරපු අයට විතරයි. තව එකක් හුඟක් දෙනා සිගිරි ලඳුන් උඩුකය නිරුවතින් සිටින බව කිව්වත් හොදින් බැලුවොත් (දෙඅතේ වැලමිටට උඩින් හැට්ට අතේ දාරය පෙනෙනවා. ප්‍රශ්නය පපු ප්‍රදේශය පෙනෙන එක ගැන නේ. පුරාන ශ්ත්‍රින් ශරීරය පෙනෙන ඇඳුම් තමයි ඇඳ තිබෙන්නේ.

      Delete
    3. උඩුකය වැහෙන්න ඇඳීම නම් මහනුවරිනුත් පස්සේ නේද ආවේ?

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අපූරු ලිපියක්... යුනික් ස්ටයිල් එකක් ...

    ReplyDelete
  10. හප්පේ මාතලන් අයියගේ පිහිටෙන් තමයි මේ පැත්තේ ආවේ. කොහොම වෙතත් වැදගත් ලස්සන ලිපියක්
    කෝරලේ වලව්ව

    ReplyDelete
  11. කරු,
    දිවුල්ගනේගේ ගීතය මියුරුගී එකතුවේ තියෙනවා.
    http://www.infolanka.com/miyuru_gee/art/karunarathna.html

    ReplyDelete
  12. වැදගත්. ලස්සනයි. සරලයි.

    එක දෙයක් එක්ක එකඟ වෙන්න බැහැ. සරම දකුණු ඉන්දීය නෙමේ ඉන්දුනීසියානු ඇඳුමක් කියලයි මම නම් දන්නේ.

    ප/ලි:මාතලන් ගේ සින්ඩියට පිං සිද්ද වෙන්න වෙනමම රසයක් තියෙන යුනික් බ්ලොග් එකක් කියෙව්වා.. සතුටුයි.

    ReplyDelete

Google+ Followers