Wednesday, 3 April 2013

කවුද ඒ සුදු ඇඳන් බන කියන මහත සාදු ?

මොන රෙද්දක්ද මේ?...ලිපියෙන් අප කතා කරමින් සිටියේ සිංහලයාගේ රෙද්ද ගැනය. අතීතයේදී රෙදිපිළි හිග භාන්ඩයක් වීම, ඒ හිගකම නිසාම රෙද්ද අප සංස්කෘතියේ පොදු තෑගී භාණ්ඩයක් වීම සහ විකාශනයක් ඔස්සේ බිහි වූ ජාතික ඇඳුමක් නොතිබීම යන කරුණු ඔස්සේ එම ලිපිය අවසන් වූයේ 'දේශපාලකයන් සුදු අඳින්නේ ඇයිද? යන ප්‍රශ්නයෙනි.එසේත් නැතිනම් දේශපාලකයාගේ රෙද්දෙනි. එසේනම් මෙන්න ඒ ගැනත් ලිපියක්.

මොන සුදු රෙද්දක්ද මේ?
කෙටි කවි ලියන ජනක මහබෙල්ලන ගේ කවියකින් පටන් ගනිමු. ඔහු 'දේශපාලකතුමා' යන මැයින් කවියක් මට මතක හැටියට ඔහුගේ 'දෙසැම්බර් කාලකන්නියා' හෝ 'කම්මුල් පහර'  නම් පොතෙහි පළ කර තිබුණි. ඒ මෙපරිදිය;

දේශපාලකතුමා
කවුද ඒ
සුදු ඇඳන්
බන කියන
මහත සාදු?

කවිය කියවනවිට අප සිතෙහි මැවෙන්නේ සුදු ඇඳුමක් ඇඳගත් තරබාරු දේශපාලකයෙකි. ජනක කියන පරිදි දේශපාලකයා යනු සුදු ඇඳන් බන කියන සාදු කෙනෙක් හෙවත් හාමුදුරුකෙනෙකි. බන කීම දේශපාලකයන්ගේ කාරියක් නොවේ. එය හාමුදුරුවන්ගේ කාරියකි.එහෙනම් දේශපාලකයන් බන කියන්නේ හාමුදුරුවරුන් දේශපාලනය කරනා නිසා විය හැකිය. දේශපාලනය කරන හාමුදුරුවරුන් නම් කියන්නේ උන්වහන්සේ දේශපාලනය කරන්නේ ''දේශපාලකයන් හරියට දේශපාලනය නොකරන නිසා'' බවය. බන කියන දේශපාලකයාටත් ඒ අනුව ''අපි බන කියන්නේ හාමුදුරුවරුන් බන නොකියා දේශපාලනය කරන නිසා'' යනුවෙන් කිව හැකිය. අපි අද කතා කරන්නේ කහ ඇඳන් දේශපාලනය කරන හාමුදුරුවරුන් ගැන නොව සුදු ඇඳන් බන කියන සහ නොකියන සියලුම දේශපාලකයන්ගේ මෙකී සුදු ඇඳුම ගැනය.

දේශපාලකයන් ගැන සමාජයේ පොදුවේ තිබෙන්නේ යහපත් මතයක් නොවේ. එය අප රටේ පමණක් ලෝකයේ ඕනෑම රටක දක්නට ඇති තත්වයකි. හේතුව දේශපාලකයා සහ දූෂණය එකට බොහෝවිට එකට යා වී ඇති බැවිනි. බොහෝ දේශපාලකයන් දූෂිතයන් වී තිබෙන බව සත්‍යයක් නමුදු සියලුම දේශපාලකයන් දූෂිතයන් නොවීමද එපමණටම සත්‍යයකි. එහෙත් එම කරුණ ගැන සමාජයේ එතරම් තැකීමක් නැති බැවින් සාමාන්‍ය ජනතාව සියලුම දේශපාලකයන්ට සළකන්නේ 'එකවල්ලේ පොල්' ලෙසටය.

 දේශපාලකයන් සුදු අඳින්නේ තම දූෂිත අපිරිසිදු ජීවිතය සුදු රෙදි කඩතුරාවකින් වසා ගෙන පිරිසිදු චරිතයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රැවටීමට යයි පොදු මතයක් තිබේ. ඒ අනුව සුදු අඳින දේශපාලකයන් දූෂිතය. මෙහිදීද කිව හැක්කේ සුදු අඳින දේශපාලකයන් අතර දූෂිත අය මෙන්ම අදූෂිත අයද සිටින බවය. සුදු ඇඳුමට මේ තිබෙන නිග්රහත්මක පිලි ගැනීම නිසා හෝ වෙනත් හේතු නිසා හෝ සමහර දේශපාලකයන් සුදු අඳින්නේ නැත. සුදු නොඅඳින සියලුම දේශපාලකයන් අදූෂිත බව ඉන් අදහස් කෙරෙන්නේ නැත. සමහර විට සුදු අඳින දේශපාලකයා හොරෙක් වන විට ටයි කෝට් අඳින දේශපාලකයා කම්බ හොරෙක් වීමට ඉඩ ඇත.දූෂිත බව ඇඳුමේ ප්‍රශ්නයක් නොවේ. දූෂිත බව ඇඳුමින් වසා දැමිය හැකිද නොවේ.
දූෂිත දේශපාලකයන් බිහිවන්නේ දූෂිත චන්දදායකයන් නිසාය.

එසේනම් ප්‍රථම කොටම කළ යුත්තේ දූෂිත චන්දදායකයා වෙනුවට අදූෂිත චන්දදායකයකු නිර්මාණය කිරීමය. අදූෂිත චන්දදායකයා නිර්මාණය කරගැනීමත් මූලික වශයෙන් දේශපාලන කටයුත්තකි. එය දූෂිත  දේශපාලකයන්ට කළ නොහැකි කටයුත්තකි. තරමක් විහිළුවක් ලෙස පෙනුනනද මෙයද මහා බරපතල දේශ දේශපාලනික, ..... දාර්ශනික,..... ආගමික,.... සංස්කෘතික, ...... ,  ..... , ........ , ගැටලුවකි.

වටේ කොටනවා වැඩි නිසා නැවතත් සුදු රෙද්දේ කතාවට හැරෙමු.
 'ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවිතය සහ මරණය'(The Life and Death of Democracy, John Keane, 2009)නමින් විවාදයට තුඩුදුන් පොතක් ලියු ජෝන් කේන් නම්  ලේඛකයා කියන්නේ දේශපාලකයන් සුදු අඳින හේතුව ඔවුන්ට අන් අයගෙන් කැපී පෙනෙන්නට අවශ්‍යවූ නිසා බවය. කැන්ඩිඩේට් (candidate) හෙවත් චන්ද අපේක්ෂකයා යන ලතින් භාෂාවට අයත් (candidatus)  වචනයේ ඉතිහාසය සෙවූ ඔහු කියන්නේ එම වචනයේ මුල් අර්ථය "සුදු ඇඳුම් අඳින්නා" යන්න බවය.පෙර තිබුනේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. ශාලාවකට ඒකරාශී වූ පුරවැසි පිරිස එම ශාලාවේම නියෝජිතත්වය අපේක්ෂා කරමින් සිටි අයගෙන් තමන් කැමති අය තෝරා ගත්හ. මේ තෝරා ගැනීමට බඳුන්වන තැනැත්තන් තෝරන්නන්ගේ අවධානයට පහසුවෙන් ලක්වීම පිණිස සුදුපාට ඇඳුමකින් සැරසී සිටි බවත් එම නිසා ඔවුන්ට 'කැන්ඩිඩෙට්' (සුදු ඇඳුම් අඳින්නා) යනුවෙන් අන්වර්ථ නාමයක් එකතු වූ බවත් පසුව එය චන්ද අපේක්ෂකයා හැඳින්වීමට යොදාගත් බවත් ඔහු කියයි. සුදු ඇඳුමේ බටහිර දේශපාලන ඉතිහාසය එපරිදිය.

කෙසේ වුවද බටහිර මිනිසුන් පෙරදිග අප තරම් සුදු අඳින්නේ නැත. ඔවුන් වැඩිපුරම අඳින්නේ කලුය. කලුපාට හිරු රැස් උරා ගනී.උණුසුම වැඩිකරයි. ශීත රටවලට ගැලපෙයි. පෙරදිගට ගැලපෙන්නේ හිරුරැස් උරා නොගන්නා පාටකි. සුදු එවැනි පාටකි. පෙරදිග සුදුපාට වැඩියෙන් භාවිත කිරීමේ පාරිසරික හේතුව එය විය හැකිය. අනෙක පෙරදිග අප වැනි රටවල මිනිසුන්ගේ හමේ වර්ණය කලුය. දුඹුරුය.අපේ හමට වැඩියෙන් ගැලපෙන්නේ තද පාට ඇඳුම් නොව ලා පාට ඇඳුම්ය. කෙසේ වුවද මිනිසුන්ගේ වර්ණ තේරීම පාරිසරික සාධක මත පමනක් පදනම් නොවේ. මේ වන විට භූගෝලීය කලාප භේදයකින් තොරව පැතිරී යන්නේ කලිසමය. කමිසයය. උත්සව අවස්ථාවලදී අපේ සම්ප්‍රදායික ඇඳුම් ඇන්දත් ජපනුන්, චීනුන් ඉන්දියානුවන්. ශ්‍රී ලාංකිකයන් වන අප වැඩි දෙනෙක් එම උත්සව ඉවර වී නිවසට පැමිණි වහාම සරම් බැනියම් සාරි  ගලවා දමමින් කලිසමට කොට කලිසමට බසිමු.

"ඇඳුමින් මිනිසුන් මනින්න එපාය" කියා කීවද සාමාන්‍ය ජීවිතයේදී එය කෙරෙන්නේ නැත. අඳින ඇඳුමින් පුද්ගලයා මැනීම හැමවිටම කෙරෙන්නකි. එම නිසා තැනට සුසුදු පරිදි ඇඳීම සුදුසුය. දේශපාලකයන් වැඩිපුරම මිනිසුන් සමග ගැවසෙන නිසා කොහොමත් පිළිවෙලකට ඇඳිය යුතුය. නමුත් දේශපාලකයාගේ පිළිවෙල තිබිය යුත්තේ අඳින ඇඳුමේ පමනක් නොවේ වැඩවලද පිළිවෙලක් තිබිය යුතුය.පරතිපත්ති ගරුක විය යුත්තේ ඇඳුමට පමණක් නොවේ. දේශපාලන භාවිතාවද ප්‍රතිපත්තිගරුක විය යුතුය. ප්‍රතිපත්ති විරහිත දේශපාලනය මහත්මා ගාන්ධි සැලකුවේ මහා දේශපාලන පාපකර්ම සතකින් එකක් ලෙසය.

 මහත්මා ගාන්ධිද මුලින් යුරෝපීය ඇඳුම් ඇඳ පසුව සුදු ඇඳුම් ඇඳුම් අඳින්නට පටන් ගත්තේය. උඩට ඇන්දේ නැත. රෙද්දක් පෙරෙව්වා පමණි. එම නිසා වින්ට්සන්ට් චර්චිල් ඇතුළු සමහර  සුද්දන්ට ගාන්ධිව පෙනුනේ 'අඩ නිරුවත් හිඟන්නකු'  ලෙසය.  (half naked fakir) එහෙත් එම අඩනිරුවත් හිඟන්නාට  අවසානයේදී දේශපාලන වශයෙන් යටත් වන්නට ඉංග්‍රීසි අධිරාජ්‍යයට සිදුවිය. ගාන්ධි ඉන්දියාවේ 'ජාතියේ පියා' විය. ගාන්ධි ජාතියේ පියා වුවද එම ජාතියේ දරුවන් කිසිවෙක් ජාතියේ පියා වගේ අඳින්නට සූදානම් වූයේ නැත. ඉන්දියානුවන් වැඩිපුරම කැමති වූයේ ගාන්ධි මෙන් අඳින්නට නොව නේරු මෙන් අඳින්නටය. ඇත්තෙන්ම නිදසින් පසුව බිහිවූයේද ගාන්ධිගේ ඉන්දියාවක් නොව නේරුගේ ඉන්දියාවක්ය. පනික්කාර් නමැති ඉතිහාසඥයා එය යස අගේට විස්තර කර තිබේ. සමහර අංශ වලින් ගාන්ධිටත් වඩා මානවවාදී ප්‍රගතිශීලී නායකයෙක් ඉන්දියාවේ සිටියේය. ඒ බිම්බ්රාවෝ අම්බෙඩ්කාර්ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියන්නට ඔහු දායකත්වය දුන්නේය. අම්බෙඩ්කාර් ඇන්දේ සුදු ඇඳුමක් නොව යුරෝපීය කළු කෝට්ය. තවත් ශ්‍රේෂ්ට දෙමළ නායකයෙක් දකුණු ඉන්දියාවේ සිටියේය. ඒ සුබ්‍රමනිය භාරතීය. ඔහු ඇන්දේ සුදු වේට්ටියක් සහ කළු කෝට් එකකි (කපු මහත්තය ඇඳුමකි ).

ලංකාවේ දේශපාලකයන් සුදු  සරම් බැනියම්, වෙට්ටි, සුදු කමිස කලිසම්, ටයි කෝට් සියල්ල ඒ ඒ අයට කැමති ආකාරයට අඳිති. එහෙත් අපගේ සුදු ජාතික ඇඳුමට එතරම් ඉතිහාසයක් නැති බව ප්‍රකට කරුණකි. එහි යට කොටසට ඇත්තේ දකුණු ඉන්දියානු උරුමයකි. උඩ කොටසට ඇත්තේ උතුරු ඉන්දියානු සහ ඉස්ලාම් උරුමයකි. මේ ඇඳුම ජනප්‍රිය වූයේ ජාතික පුනර්ජිවන ව්‍යාපාරය සමයේදීය.ධර්මපාලතුමා, ශ්‍රී ආරුමුග නාවලර් තුමා ආදීන්ගේ බලපෑම නිසා මේ ඇඳුම සිංහල දෙමළ පිරිස අතර ජනප්‍රිය විය. පසුව හෙළ හවුලද මෙය ජනප්‍රිය කළේය. 1956 න් පසු වඩාත් ජනප්‍රිය විය. දේශපාලන ප්‍රභූන් මුලදී මේ ඇඳුම ඇන්දේ නැත. දේශපාලන ප්‍රභූන් වැඩිදෙනෙක් මෙය අඳින්නට පටන් ගත්තේ ඔවුන් 'ඩොනමෝර් බෞද්ධයන්' සහ 'ඩොනමෝර් සිංහලයන්' වූ පසුය.

මමද චන්දය ඉල්ලන දේශපාලකයකු වී සුදු කලිසමක් සහ කමිසයක් අන්දෙමි. ඒ අන් අයගෙන් වෙන් වී කැපී පෙනෙන්නටය!. දිනක් අවන්හලකදී මේ ඇඳුමද ඇඳ මිතුරකු සමග ආහාර ගනිමින් සිටියදී කොළඹ නමගිය පාතාල මැරයෙක් එම ස්ථානයට පැමිණ වෙනත් මේසයක ආහාර ගන්නට පටන් ගත්තේය. එම පාතාල "මැරතුමාද" ඇඳ සිටියේ මා ඇඳ සිටි වර්ගයේම සුදු කලිසමක් සහ කමිසයකි. ඔහුගේ හැඩ රුවද තරමක් මට සමාන විය. එය දුටු මා මිතුරා කිව්වේ "උඹෙයි අර මැරයගෙයි දැන්නම් කිසිම වෙනසක් නැහැ" යනුවෙනි.

චුල්ල පන්ථක නම් පොඩි හාමුදුරුවෝ තම අතේ තිබු සුදු රෙදි කැබැල්ල ඉක්මනින්ම කිලුටුවී යනු දැක ඒ සිතුවිලි ඔස්සේ භාවනා කර නිර්වාණ මාර්ගයට පිළිපන් වූ බවට කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තිබේ.


 
 




7 comments:

  1. කැන්ඩිඩේට් කියන්නෙ එතකොට සුදු අඳින එක්කෙනා. ඒ වගේ භාෂාවන් ගොඩනැගිල තියෙන්නෙ හරිම ප්‍රාථමික විධියට‍ වගේ. මං හිතන්නෙ පෙරදිග භාෂාවන්ගේ ඔය වගේ තත්වයන් නැහැ. (මං ජාතිකවාදියෙක් නෙවෙයි. ඒත් ශ්‍රාස්ත්‍රීය කරුණු වලින් පෙරදිග ඉදිරියෙන් සිටින බවයි මට දැනිල තිබෙන්නෙ).

    //උඩ කොටසට ඇත්තේ උතුරු ඉන්දියානු සහ ඉස්ලාම් උරුමයකි// මේකනම් ඔබතුමාට ඡන්ද අඩු වෙන කතාවක්. සිංහල අපට කොහෙන්ද ඉස්ලාම් උරුම? කුනුහරප අහගන්නත් වෙයි.

    ReplyDelete
    Replies
    1. හොඳට බලන්න මහින්ද මහත්තයා උඩට ඇඳලා ඉන්න කෑල්ල විළුඹ දක්වා දික්වුනානම් වෙන මොකක්ද?

      Delete
  2. පොතේ කවරෙන් පොත තීරණය කරන්න එපා කියනවා වගේ, ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. පාතාලේ පොරවල් අඳින්නේ වැඩිපුර සුදු. කොටින්ම සපත්තුව බෙල්ට් එක පවා සුදු. ඇඳුමෙන් පමණක් නෙමෙයි අද මිනිස්සු මනින්නේ ඔරලෝසුවෙන්, ජංගම දුරකථනයෙන් පවා මිනිස්සු මනින සමාජයක් අද තියෙන්නේ. ඔය කිසිම දෙයකින් මිනිස්සු මනින්න බෑ. මිනිහෙක් මනින්න ඕන ඔහුගේ ක්‍රියාකාරකම් වලින්. එහෙම බැලුවම ක්ලීන් සූට් ගහලා ඉන්න බහුතරයකගේ හදවත නම් ක්ලීන් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. දේශපාලකයා නම් සුදු අඳින්නේ තමන් කුණු ගොඩක් කියලා එයාලා දන්න නිසා. ඇඳුමවත් ක්ලීන් එකට පෙන්නන්න ඕන නිසා. ඔතනින් මනිනවට වඩා සැබෑ චරිතය බලා ගන්න පුළුවන්, රූපවාහිනි සාඛඡ්චා වලදි අඳින ඇඳුමෙන්. උදාහරණයක් හැටියට ඇස් බී අගමැති වෙන්න සයිස් එකේ හිටපු කාළේ පවා මෑන් කවුද මොකක්ද මානසිකත්වය, මොකක්ද පන්තිය, මොකක්ද සමාජ තත්වය කියලා බලා ගන්න පුළුවන් ඇඳින ටී ෂර්ට් එකෙන්. එරාන් වික්‍රමරත්නගේ කැෂුවල් ඩ්‍රෙස් එක බලන්න. එතකොට දයාසිරි තරඟෙකට ගිහින් නාන හැටි බලන්න, බන්දුලගේ ටී ෂර්ට් බලන්න, අරුන්දිත අඳින ඒවා වල පාට පලන්න, හේමාගේ සාරිය බලන්න. රෝසී සාරිය අඳින ලස්සන බලන්න. ඒ සාරියම පවිත්‍රා අන්දින හැටි බලන්න. එතනින් පේනවා නියම චරිතය.

    ReplyDelete
    Replies
    1. මහින්දානන්දත් අඳින්නේ කලසන් කෝට්, රනිල් අඳින්නෙත් ඒකමයි. ඒත් බොහෝම පැහැදිලි වෙනසක් පේනවා නේද?

      Delete
    2. ඔවු මහින්දානන්ද කළු ජාතික බොක්සිං ක්‍රීඩකයෙක් වගේ,රනිල් ලොක්ක මිස්ටර් බීන් වගේ.මාතලන්@ මහින්දානන්ද පට්ට ගොඩයෙක් නෙවේ පොරගේ තාත්තාත් හිටපු මන්ත්‍රී කෙනෙක්.

      Delete
  3. මම ලිව්ව කවියක්. මේවා නොමිලේ වැටෙන දැන්වීම් බවට ඉබේම පත්වෙන නිසා අකමැති නම් ඉවත් කරන්න.

    සුනිල් අයිය... දන්නෙ නැද්ද?

    කරුණාරත්න පරණවිතාන වෙන්ඩ [ගිය] මන්තිරි තුමාට ඉලක්ක කර කී එකක් හෙම නොවේ.

    ReplyDelete
  4. Do You Remeber how did you vote?...එසේනම් ප්‍රථම කොටම කළ යුත්තේ දූෂිත චන්දදායකයා වෙනුවට අදූෂිත චන්දදායකයකු නිර්මාණය කිරීමය. අදූෂිත චන්දදායකයා නිර්මාණය කරගැනීමත් මූලික වශයෙන් දේශපාලන කටයුත්තකි. එය දූෂිත දේශපාලකයන්ට කළ නොහැකි කටයුත්තකි. තරමක් විහිළුවක් ලෙස පෙනුනනද මෙයද මහා බරපතල දේශ දේශපාලනික, ..... දාර්ශනික,..... ආගමික,.... සංස්කෘතික, ...... , ..... , ........ , ගැටලුවකි.

    ReplyDelete

Google+ Followers