Tuesday, 21 May 2013

මහ බඹාට මුහුණු දෙකයි : සිංහල ජාතිකවාදයට මහසෝනා වැහීම


මේ ලිපියේ මාතෘකාව උපුටා ගත්තේ නැසී ගිය සිනමා නළු ජෝ අබේවික්‍රම ලියු 'මහ බඹාට මුහුණු දෙකයි' නම් කෘතියෙනි. සපරගමු සමන් දේවාලයේ කෙරෙන පෙරහැරේ ඉදිරියෙන්ම යන මහ බඹා මුහුණු දෙකක්  පළඳියි. එකක් යක්ෂ මුහුණකි.අනෙක දේව මුහුණකි. සබරගමුවේ දක්නට ඇති මෙම පාරම්පරික සංස්කෘතික අංගයේ තේරුම ගැන විවිධ අර්ථකතන ඇත.
මේ ලිපියට මෙකී මුහුණු දෙකේ මහ බඹා කැඳවාගෙන ඇත්තේ වෙන තේරුමකිනි.කලින් ලිපිවලින් අප කතා කරමින් සිටියේ ජාතිකවාදය ගැනය. කෙනෙක් ජාතිකවාදියෙකු වනවිට එසේත් නැතිනම් ජාතිකවාදය ගැන හදාරන විට සිහිපත් කර ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ජාතිකවාදය දේශපාලන මතයක්  සහ වැඩ පිළිවෙලක් ලෙස විශාල ශක්‍යතාවන් මෙන්ම විශාල සීමාකම් වලින්ද යුක්ත වන බවය. ජාතිකවාදයේ සීමාකම් ගැන වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ අන් අයටත් වඩා ජාතිකවාදීන්මය.
 මෙම ලිපිය ලියන්නේ එවැනි එක සීමාවක් ගැන කතා කිරීමටය.'ජාතිකවාදය යනු ජානුස් මුහුනැති සත්වයෙකි'ය (Janus faced nationalism)
යන ප්‍රසිද්ධ කියමන බොහෝදෙනා උපුටා දක්වන්නට කැමතිය. ජානුස් යනු ග්‍රීක සහ රෝම දේව කතාවක එන දෙවියෙකි. ජනවාරි මාසය නම් කර තිබෙන්නේ මේ දෙවියාගේ නමිනි. ජානුස්ට මුහුණු දෙකකි. ඉදිරිපස මුහුණින් ඔහු ඉදිරිය හෙවත් අනාගතය දෙස බලයි. පසු පස මුහුණින් ඔහු අතීතය දෙස බලයි.ජාතිකවාදයද ජානුස් මෙන් නිතරම අතීතය දෙස බලයි. අතීතය ගැන ඉතිහාසය ගැන කිසිවක් කියන්නේ නැතිව ජාතිකවාදයට පැවතීමක් නැත. බොහෝ ජාතිකවාදයන් අපට හිමිව තිබු ස්වර්ණමය අතීතයක් ගැන අතීත ශ්‍රී විභූතියක් ගැන කතා කරන ආකාරය අපි දැක ඇත්තෙමු. ජාතිකවාදීහු තමන්ගේ දේශපාලන අවශ්යතාවන්ට අනුව අතීතයට යටගියාවට අර්ථකතන සපයති. අතීත කථනයකින් තොරව ජාතිකවාදයට පැවතිය නොහැකිය.
බොහෝ ජාතිකවාදවල තිබෙන ලොකු දුර්වල කමක් වන්නේ අතීතය දෙස පමණක් බැලීමය. සමහර ජාතිකවාදීන් මුළුමනින්ම ජීවත්වන්නේ අතීතයේය. ඒ අතින් ගත් කල බොහෝ සිංහල ජාතිකවාදීන් සමාන වන්නේ මුහුණු දෙකකින් ලෝකය දෙස බලන බටහිර ජානුස්ට හෝ පෙරදිග සපරගමුවේ මහා බඹාට නොව තනි මුහුනක් ඇති මහසෝනාටය.මහසෝනාද මහා බඹා මෙන්ම සිංහලයාගේ සංකල්පයකි. මහසෝනාට ඇත්තේ එක මුහුණකි. එය වලසෙකුගේ මුහුණකි..එයද පිහිටා තිබෙන්නේ ඉදිරියට නොව  පිටිපස්සටය. මහසෝනාට ඒ නිසා පෙනෙන්නේ පිටිපස්ස පමණි. ඔහුට ඉදිරියක් බැලිය නොහැකිය.
බොහෝ සිංහල ජාතිකවාදීන්ටද  වැහී ඇත්තේ මහසෝනාය. ඔවුන්ට අතීතය පමණක් පෙනෙන්නේ එබැවින්ය. අද සිංහලයාට අවශ්‍ය වී ඇත්තේ සිංහලයාගේ රාජ්‍යය,දේශපාලනය, සංස්කෘතිය ආදිය යහපත් ලෙස සකසා ගන්න අනාගතය දෙස බලන ජාතිකවාදයකි. මහසෝනා වැහුන පිටිපස්ස පමණක් බලන ජාතිකවාදයකට මෙය කළ නොහැකිය.
මේ මහසෝනා වෙනුවට මහා බඹා කැඳවිය යුතු කාලයකි.


16 comments:

  1. කියල වෙඩක් නේ. මම ඔයාට කියන්න ඕනනේ දේ කිව්වා. ඔය ලීකනයම කරන්න. මම මීක මෙය නොබලන යට බෙදල දෙනවා. තුරුනුව්න්සරනෛ.

    ReplyDelete
  2. අප නම් ගමන් කරන්නේ ඒ උතුම් වූ උදාර වූ අතීතයටයි..

    ReplyDelete
  3. මහපඹා අනෙක් අයට වඩා උසින් නීරූපනය වන බැවින් අංශක180 ක කොණයකින් පහසුවෙන්ම දෙපසම බැලිය හැකිවේ. ඔබ ලියන්නාක් මෙන් මෙකල අවශ්‍ය වන්නේ මහපඔාගේ භූමිකාව රග දක්වන අයවෙ.
    ඒත් මහසෝනා භුමිකාවේ සිටින අති බහුතරය ලේ පිරුණු මස් වැදලි වලින් තඩි බඩ පුරවා ගන්නා අයුරු මිස වෙනත් සැනසිල්ලක් නොදකී.

    ReplyDelete
  4. good writing and very interesting. really like the way the idea connected with mythology.

    ReplyDelete
  5. FOLLOWING COMMENT SENT BY SUREN RAGHAWAN
    Suren Rāghavan Karu,
    Your thoughts on 'Nationalism', 'Nation' and 'Nationalists' are often demanding more debate and theoretical pegging.

    Unless you are the new guru of nationalism your discourse should derive from the already established schools of nationalism of Anthony Smith, Ernest Gellner or Anthony Giddens and move to a specific school you wish to analyse the Lankan case - otherwise it may sound like the broad subject of nationalism and the sub branches within have been willfully neglected. You know the LES base journal Nations and Nationalism is one of the best academic debate promoters.
    I recommend it
    Because as you know and ( may agree) whether it is primordial
    Instrumental or structural, nationalism is in the essential part of the political DNA not just in Asia but even in the (post) modern West

    Modernity's rejection of nationalism (like religion) did NOT
    invalidate or evaporate nationalism, because nationalism is natural ( for this reason I have come to appreciate our own Prof KNO Dharmadasa for his work and his debate with Prof RAHLGoonawardane - )*

    Having said that :
    I SIMPLY ADMIRE the way you have in-culturalized the modern plight of so called nationalist and their 'Mahasona Syndrome'
    Well written - social slap

    * (we can discuss on this further elsewhere )

    ReplyDelete
  6. සතර දිගන්තය බ්ලොග් අඩවිය පටන්ගත් කාලයෙ මුලින්ම් පලවූ ලිපි දෙස මා බැලුවෙ වපරැසෙනි. සාම්ප්‍රදායික ජාතිකවාදයෙ අඳුරු සෙවනැලි මා ඒ තුලින් දුටු නිසාය. කෙසේ වෙතත් විෂය පිලිබඳ සාධනීය ශාස්ත්‍රීය දැනුමක් සහිතව පලවූ හරබර ලිපි මාගේ අදහස් වෙනස් කිරීමට සමත්විය. ඔබෙ ලිපි උඩින් පල්ලෙන් මිස, සාවධානව කියැවීමට තවමත් අවකාශ ලැබුනේ නැත. කෙසේ වෙතත් වේලාව ලද විට ඔබේ ලිපි සියල්ල කියවීමට බලාපොරොත්තු වෙමි.

    මා දේශපාලන විද්‍යාව හෝ සමාජ විද්‍යාවන් ගැන කිසිදු ශාස්ත්‍රීය දැනුමක් ඇත්තෙක් නොවෙමි. මාගෙ විෂය ක්ෂෙත්‍රය තාක්ෂනික පැත්තට බර එකකි. එබැවින් සමාජ විද්‍යාව සම්බන්ද විෂයෙදී මා පලකරන අදහස් හුදෙක්ම ශාස්ත්‍රීය නොවන layman ගනයේ එවාය. වත්පොතේ මා පලකරන්නට යෙදුනු එවැනි සිතිවිල්ලක් (පහත උපුටා දැක්වේ) දුටු මගෙ මිතුරෙකු මේ බ්ලොග් අඩවියවෙත මා හරවා එවීය. මාගෙ මේ ප්‍රකාශයෙ නොයෙකුත් සංකල්පමය හා මතවාදීමය වැරදි ඇතිබව දනිමි. නමුත් ගැලරිය ඇමතීමට මෙ ආකාර ප්‍රකාශයක් කිරීම වැරදි නැති බව මට සිතේ.

    "තමන්ම දරදිය ඇද පත්කොට ගත් ආන්ඩුව ගැන කලකිරීමෙන් පසුවන හා ආන්ඩුව ගෙදර යැවීමට උත්සාහකරන ඇතැම් ජාතිකවාදීන්ගෙ හා එක්ස්-ජාතිකවාදීන්ගෙ අවනඩුව ගැන මට ඇත්තෙ අනුකම්පාව මුසු කාලකන්නි සතුටකි. මේ බොහෝ ජාතිකවාදීන් නූතන සංදර්භය තුල ගත්කල සැබෑ ජාතිකවාදීන් (nationalists) නොවේ. මොවුන් බොහෝ විට ජාති-ආගම්-සංරක්ෂනවාදීන් ය. (ethno-religious-conservatives) ඔවුන් බොහෝවිට කරන්නේ අතීත හර පද්ධතීන් උත්කර්ෂයට නංවමින්, මානව සංහතිය විසින් අතහැර දැමූ පැරණි රාජාංඩු ක්‍රමය තුල පැවති සාරධර්ම වර්නණා කිරීමයි.

    මානව ශිස්ථාචාරය විසින් ගොඩ නැගූ නූතන හර පද්දධතීන් "බටහිර" යැයි නම්කොට ඒවා සිය අතීතකාමී විකෘතීන්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීම තුලින් බොර කල දියේ මාලු බාන්නේ කුමන ආකාර පුද්ගලයන්දැයි දැන් මේ අතීතකාමීන්ට ටික ටික හෝ අවබෝධ වෙනු ඇතැයි සිතමි."

    ReplyDelete
  7. තවත් අශාස්ත්‍රීය පහත ප්‍රකාශයද එයට එක්කලෙමි

    "ලබ්බට තිබ්බ අතමය පුහුලටත් යන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් උත්කර්ෂයට නංවමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආන්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය."

    ReplyDelete
  8. අප අතීතය මත පදනම්ව අනාගතය දෙස බැලිය යුතුය / එය ගොඩ නඟා ගත යුතුය. මේ ලිපියෙන් දොස් නඟන්නේ අතීතය දෙසම බැලීම වරදක් බවයි.

    සිංහල ජාතිකවාදයේ පරම සතුරන් වන රිටිගල වැන්නන්ට මින් කාලකන්නි සතුටක් ලැබීමට මේ ලිපියෙන් ඉඩ ප්‍රස්තා සලසා නැතැයි සිතමි.

    ලෝකය නියත සංවර්ධනයක් කරා ගමන් කරතැයි සිතන රිටිගලලා සිතන්නේ අතීත පද්ධති සියල්ල යල් පැන ගිය (අවුට් ඩේටඩ්) කියා සහ නූතන පද්ධති සියල්ල සමාජයේ සහ ලෝකයේ අභිවෘද්ධිය සඳහා හේතුවන බවයි. (නූතන යැයි සැලකෙන පද්ධති බටහිර යැ‍යි කීමට ඔහු මැලි වෙයි.) මේ හේතුවෙන් ඔවුහු අතීතය දෙස බලන මූණ ප්‍රතික්ෂේප කරති. මේ ලිපියේ කතුවරයාගේ අදහස එය නොවේ යැයි සිතමි.

    ReplyDelete
  9. අතීතය විතරක් බලන කෙනෙක් ඉන්නවාදැයි මා දන්නේ නෑ. කෙසේ නමුත් අතීතය ගැන ප්‍රවාද ගොඩනැගීම ඕනෑම මතවාදයක වෙන දෙයක්. මාක්ස්වාදයේත් පශ්චාත් නූතනවාදී මතවාද වලත් අතීත සමාජයේ වූ පරිවර්තන ගැන යම් යම් අර්ථකථන දෙනවා. ඊට පස්සේ අනාගතය ගැන යම් යම් පුරෝකථන කරනවා. දැන් බටහිර ලෝකයේ නිර්මාණය වන දැනුමේ මුල් අවුරුදු දහස් ගාණකට කලින් ග්‍රීසියේ තිබුනා. බටහිර ගණිතයේ මුල එතැන. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල ඇත්තේ පුරාණ ග්‍රීසියේ. ඒවත් අතීතය මත පදනම් වෙලා හදා ගත්ත දේවල් තමයි. අතීත කාමය නම් තේරුමක් නෑ තමයි. හැබැයි බොහෝ දෙනා නොදන්නවාට වර්තමාන සහ අනාගත කාමයකුත් තියෙනවා (දැන් තමයි එතෙක් මෙතෙක් තිබ්බ හොදම කාලේ කියලා අදහන එක තමයි වර්තමාන කාමය). අපි කාටවත් අතීතයට ගිහිල්ලා ජීවත් වෙලා බලන්ඩ බැරි නිසා ඒ ආකාර සන්සන්දනයක් කරන්ඩ අමාරුයි. කෙසේ වෙතත් යම් යම් කරුණු අතින් (විවේකය අතින්, ජීවිතයේ සරල බව අතින්) අතීතය වර්තමානයට වෙනස් කියලා උපකල්පනය කරන එක සාධාරණයි. පුද්ගලයකුගේ ජීවිත කාලය තුළදීම මේ වෙනස ඔහු අත්දකිනවානේ.

    ReplyDelete
  10. රිටිගල නලින් දර්ශන එක්ක ඇතිවෙන්න සංවාද කර තියෙන නිසා ඒ තිදෙනාගේ බුද්ධිමය කතිකාවට [ජපන් ස්ටයිල්] යමක් එකතු කරන්නේ නැත.

    මේ ලේඛකයාටයි.

    ඔබ ජාතිකත්වය ගැන කරන කතිකාවත් ලෙනින් කලාක් වැනිම වූ පටලැවිල්ලකි. ඔහු තරම් ඔබ ප්‍රයෝජ්‍යවාදියෙක් වූවා දැයි නොදනිමි.

    ජාතිකත්වය සඳහා ජාතිය මනා කොට නිර්වචනය කරන්නට සිදු වේ. ස්ටාලින් විසින් කලේ රුසියානු මූලික සෝවියට් රාජ්‍යයක් ගොඩ නැගීමට අවශ්‍ය වූ අර්ථ දැක්වීමකි. එය එසේම හැම තැනටම සත්‍ය නොවේ.

    මේ ගැටලුව මනාව තෙරුම් ගන්නට "නව ලෝකයේ' රටක දිහා බලන්න. කැනඩාවේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සු තවම තම මුල් ජාතීන්ට අනුගතවීමට තරම් මතකයක් හිමි ඇත්තන්ය. මම 1/2 ක් ස්කොටිෂ්, 1/4 ගානේ ජර්මන් සහ අරාබි කියා කීමට හැකි බොහෝ දෙනෙකු සිටිති. 1/8 පමණ අබෝරිජිනි වුනත් ඇබෝ ලෙස පෙනී සිටින ඔසියෝ සුලබය. එහෙත් මේ කිසිම රටක ස්කොටිෂ්, ඉන්ග්ලිෂ්, ජර්මන් ජාතිකත්වයක් ඉස්මතු වන්නේ නැත. ඒ පදනමින් ඔවුන් ජාතිකවාදීන් නොවේ. ඕස්ට්‍රේලියාවේ තවමත් සැහෙන විශාල සුළුතරයක් වන ඇන්ග්ලෝ වරුන් ඇන්ග්ලෝ ඔස්ට්‍රේලියානුකම අගයන්නට හෝ ඒ මත දේශපාලනය කරන්නට නොඑති. පෝලින් හැන්සන් ඇන්ටිට හොදි බේරෙන්නට වැදුනේ එබැවිනි.

    එහෙත් මේ සියලු දේශයන් ජාතින් සහිත වූ ජාතිකවාදී ස්තාවර වල සිටින දේශයන් වේ. කැනඩා දේශය කැනේඩියානු ලෙසත්, ඇමරිකානු දේශය ඇමරිකානු ලෙසත්, යනාදී වශයෙන් ඔවුහු පාස්පෝට් පදනමින් ජාතියක් නිර්මාණය කරති. මේ මට්ටමින් ඔවුහු ජාතිකවාදී හැසිරීමක් දක්වති. එනම් නියෝජනයක් කරති. ඒ නියෝජනය ඔවුන්ගේ අනුදැනුමින් තොරවම බහුතර වාදී වේ. එනම් මේ රටවල පවතින පද්ධතිය තුල ක්‍රිස්තියානි මූලික චින්තනයක්, සුදු/ඉංග්‍රීසි මූලික සංස්කෘතියක්, කොටින්ම ක්විබෙක් ඇනොමලිය හැරුණුවිට ඉංග්‍රීසි බස මූලික වූ රාජ්‍යයන් වේ.

    එහෙත් භුමියේ මේ ජාතින් නොපවතී.

    මෙන්න මේ විසංවාදය තුල ඔබ සිටින ස්ථාවරය පැහැදිලි නොවී ඔබ ලේබලයක් ලෙස 'ජාතිකවාදය" ගැන කතා කිරීමෙන් පලක් නොවේ. එය මුහුණු දෙකක් ඇති මහ බඹෙක් හෝ ඉදිරි මුහුණ අහිමි මහසොනෙක් වන්නේ මේ කතාවේ අතුරු කලාප තුලය. අත්‍යන්තයෙන් ජාතිකවාදය ලෙස ඔබ කතාවට ගන්න මතවාදය ළූණු ගෙඩියකි. ලෙලි ගලවා බැලු විට ඇතුළු ලෙලි/බික් පෙනේ.

    ලංකාවට මේ කතාව යොදා බැලීම තවම කවුරුත් හරියට කර නැත. ලංකාවේ ජාතිකවාදය කියා කියන්නේ අප්‍රිකාවේ ගෝත්‍රවාදය වැනි දෙයකි. ඒ තුල අතීත කාමය පමණක් නොව තමන්ගේ ගෝත්‍රික කුට්ටිය වෙනුවෙන් පෙනී සිටීමත් නොඅඩුව තිබේ. එහි ධ්‍රැවිකරණයේ ආන්තික බව නිසා ඕස්ට්‍රේලියානු පන්නයේ පිට පොත්තක් වැඩෙන්නේ නැත.

    මේ විසංවාදය තුල මා කලක සිට මුහුණ දුන් එහෙත් මටම හිනා යන කතාවක් කැටි වී තිබේ. එකම මොහොතක වර්ගවාදියෙක්, ජාතිවාදියෙක් මෙන්ම විජාතිකවාදියෙක්, ජාතිකත්ව විරෝධියෙක් වීමේ මහගු භාග්‍ය මට හිමිය. ඒක මහත්මයෙක් හලාල් වලට එරෙහිව මුස්ලිම් අන්තවාදයේ අඩුපාඩු ගැන කරන මගේ කතා මත මා සිංහල ජාතිකවාදියෙක් කරද්දී, තවත් මහත්මයෙක් බොදුබලසේනාවට හා සින්හල බෞද්ධ ජාති[ක] වාදය කල ක්‍රියා වලට මතු කල විරෝධය තුල මගේ හලාල් විරෝධය පලක් නැති දෙයක් ලෙස දකින්නේ එකම මොහොතකය. මෙය සිනහ උපදවන තත්වයක් වුවද අප ඒ විහිළුව තුල අතරමං වන්නේ ජාතිය ගැන හරි හමන් නිගමනයක් නැති බැවිනි. එය හුදු විසංවාදයක් බැවිනි.

    වචන වල අරුත පැටලිලි වනවිට භාවිතය තෙරුමක් නැතිවේ. ඒ නිසා පුරුදු "මෙව්වා' බාසාවෙන් කිව්වොත්, රාජ්‍යය කියන අපි පිලි ගත්තත් නැතත් පිළිගන්න සිදුවන නියත රාමුව තුල එකක් ලෙස පවතින ඕස්ට්‍රේලියා, කැනේඩියානු, ඇමරිකානු "මෙව්වෙක" යහපත් හා කාලින දෙයක් වුවද, ඒ ළූණු ගෙඩියේ හුදෙක් ඇතුළු බික් වන ඇන්ග්ලෝ, ස්කොටිෂ් හෝ අබෝරිජිනි "මෙව්වෙක" අදට නොගැලපෙන බහුබූතයකි.

    අවාසනාවට ලංකාවේ ඇත්තේ පිට පොත්ත නොවැඩුණු, එහෙයින්ම අනාරක්ෂිත වූ එකිනෙකා සමග කුලල් කා ගන්නා ළූණු බික් ගොඩකි. යුරෝපිය හෝ නව ලෝකයෙන් ළූණු ගෙඩිය ගැන කියූ කතන්දර බික් ගොඩක් කා ගන්නා ලංකාවට කෙලින්ම අද දැමීමෙන් බයානක ප්‍රතිපල ඇතිවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. සුළු සංශෝධනයක් සහිතව කොමෙන්ටුව බ්ලොග් ගත කලෙමි

      සංශෝධනය නම්;

      "මෙන්න මේ විසංවාදය තුල ඔබ සිටින ස්ථාවරය පැහැදිලි නොවී ඔබ ලේබලයක් ලෙස 'ජාතිකවාදය" ගැන කතා කිරීමෙන් පලක් නොවේ. එය මුහුණු දෙකක් ඇති මහ බඹෙක් හෝ ඉදිරි මුහුණ අහිමි මහසොනෙක් වන්නේ මේ කතාවේ අතුරු කලාප තුලය. අත්‍යන්තයෙන් ජාතිකවාදය ලෙස ඔබ කතාවට ගන්න මතවාදය ළූණු ගෙඩියකි. ලෙලි ගලවා බැලු විට ඇතුළු ලෙලි/බික් පෙනේ. එමෙන්ම මෙහි පිටත මට්ටමට ජාතිකවාදය කියා බොහෝ දෙනෙක් කියන්නේද නැත."

      Delete
    2. සුජීව ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

      ජාතිකවාදය පිලිබඳ මගේ ස්ථාවරය නම් පුරවැසි ජාතිකවාදයයි. එනම් ජාතික රාජ්‍යයක පුරවැසියන් සියලු දෙනාටම ඔවුන්ගේ අනෙකුත් සියලුම අනන්‍යතා නොසලකා සමානව සලකනා ජාතිකවාදයකි.

      මෙවැන්නක් ඇත්තටම ගොඩනැගිය හැකිද යන්න පිලිබඳ බැරෑරුම් විවාදයක් ජාතිකවාද කතිකාව ඇතුළත පැන නැගී ඇත. මට අවශ්‍ය වන්නේ මේ කතිකාව සිංහල බ්ලොග් අවකාශය වෙත රැගෙන ඒමය.

      Delete
    3. පුරවැසි ජාතිකවාදය ගැන තමයි මමත් කිව්වේ. පාස්පෝට් ජාතිකවාදය කියා. ඒක පැහැදිලිව නොකියා ජාතිකවාදය කියන වචනය පාවිච්චි කිරීම බයානකයි.

      ශ්‍රී ලාංකිකත්වය ජාතික වාදයක් නම මම එයින් එකෙක්.

      Delete
  11. අනේ මේ පණ්ඩිත මහත්තුරු දෙසා බාන පඬි දෙසුම් අපට තේරුම් ගන්ට හරි අමාරුයි. කමක් නැහැ ආයිබොන්ඩ. තමුන්නාන්සේලාගේ බුද්ධිමය මෙව්වා ඒකට මෙහෙම මෙව්වා කර ගන්න එක ගැන අපිත් මනාපයි.

    - සිරිබිරිස් ---

    ReplyDelete
  12. මහසෝනා විතරක් නෙමේ ගෝඨාඉම් බරත් වැහිච්ච එවුන් ගේ මේ උන්මාදය හොඳකරන එක ලෙහෙසි නෑ.

    ReplyDelete
  13. සිංහල සමාජයේ එක පැතිකඩක් දෙස විමසුම් ඇසින් බලන්නට ඔබේ ලිපිය වැදගත් වුනා.

    ReplyDelete

Google+ Followers