Thursday, 28 February 2013

ලියා එවන්න නම් එපා! එපා!! එපා!!!

 
'ජාතික රාජ්‍යය' ගැන ලියනවයි කියපු ලිපිය තවම ඉවර නැහැ. දේශපාලනයට අමතරව සංස්කෘතිය ගැනත් ලියන නිසා අද වෙන කෙටි පොස්ටුවක් දමන්නම්.
බ්ලොග් ලෝකයට මම ආධුනිකයෙක් නිසා මේකේ මන් හසර දැනගන්න පහු ගිය දවසක නිදි වරාගෙන සිංහල බ්ලොග් 60ක් 70ක් විතර කියෙව්වා.ඇත්තටම මෙය ඉතා අරුමැසි මාධය අවකාශයක්. ප්‍රශ්නත් නැත්තේම නැහැ. කොතනද ප්‍රශ්න නැත්තේ.? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරද්දී එන පොදු ප්‍රශ්න බ්ලොග් අවකාශයටත් තිබෙනවා. ප්‍රශ්න නිරාකරනය කර ගත හැක්කේ වගකීම් ගැනත් හිතුවොත් විතරයි.බ්ලොග් ලිවීම කලාවක් විධියට ගත්තොත් මම දැකපු එක දුර්වලතාවක් තමයි අනුකරණය ඉතා බහුල වීම. කෙනෙක් ලියන දේම තව කෙනෙක් පොඩ්ඩක් එහෙන් මෙහෙන් වෙනස් කරලා ලියනවා. අද ලියන්න යන්නේ මේ අනුකරණය ගැනයි.
 
හෙළ හවුලේ රැයිපියෙල් තෙන්නකෝන් කවියා 'සක් පුබුදුව " කියලා විශාල කාව්‍ය සංග්‍රහයක් කළා. එකේ තේමාව ශක්‍ර දෙවියෝ පිස්සු කෙලින හැටි. ශක්‍රයා උපහාසයට ලක් කරලයි එය ලියවිලා තිබුනේ. මේක ඒ කාලේ හැටියට ලොකු කලාත්මක අපූරු රැඩිකල් වැඩක්. සිංහල සමාජය ශක්‍ර දෙවියන් දිහා එහෙමඋපහාසයෙන් බලල තිබුනේ නැහැ ඊට ඉස්සර.නමුත් කවි පොත ඉහල  ප්‍රතිභාවක් පෙන්නු කරපු කෘතියක්. හෙළ හවුලේ නායක කුමාරතුංග මුනිදාස මේ පොත ඉතා ඉහලින් අගය කළා.
 
වැඩි කාලයක් ගියේ නැහැ මෙන්න හෙළ හවුලට සම්බන්ධ අනික් කවියොත් මේ තේමාවෙන්ම ඒ කියන්නේ ශක්‍ර දිවියෝ උපහාසයට ලක් කරලා කාව්‍ය සංග්‍රහ කරන්න පටන් ගත්ත. ශක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙට ඇවිල්ල බූරු ගහන හැටි, ගෑනු පස්සේ යන හැටි, බේබද්දෙක් වගේ බොන හැටි. නොයෙක් සට කපටකම්, සෙප්පඩ විජ්ජා කරන හැටි වගේ දේවල් . අන්තිමට වැඩි කල් නොගොස් ශක්‍රයාගේ තේමාව පිළුණු වෙන්න පටන් ගත්ත. මේක බලාගෙන ඉන්න බැරිම තැන කුමාරතුංග මුනිදාස පඬිවරයා 'සුබස' සඟරාවට මෙහෙම කවියක් ලිව්වා.

සකා විකාරයෙන් - කුමක් කළත් තවත්
ලියා එවන්න නම් එපා එපා එපා!!
 
ප. ලි. මේ සිදුවීම වෙන්නේ 1940 දශකයේ පමණ. අපි වැඩි දෙනෙක් ඉපදිලාවත් නැහැ. කේ ජයතිලක මහතාත් මේ ගැන ලියල තිබුන. පුදුමේ කියන්නේ මේ කියන 'සුබස' සඟරා තොගයක්ම මට කැනඩාවේදී දකින්න ලැබුන. අපේ හිත මිත්‍ර ඇලෝයි පෙරේරා මහතා ටොරොන්ටෝ වේ අපි සංවිධානය කළ 'බසක වරුණ' සිංහල භාෂා දින පොත් ප්‍රදර්ශනයට ඒවා ගෙනත් තිබුන. ඇලෝයි පෙරේරා මහතා ඒ පොත් ඉතා භක්තියෙන් ආරක්ෂා කරනවා.

Wednesday, 27 February 2013

එළුවෙක් දෙන්නයි මං ආවේ!

එළුවෙක් දෙන්නයි මං ආවේ!

පූර්විකාව...

දොස්තර පියල් වල්පොලගේ ආරාධනයෙන් ලෝක ප්‍රසිද්ධ බෞද්ධ හිමිනමක් වන අජාන් ච බ්‍රහ්මවන්ශෝ හාමුදුරුවෝ මේ ළඟදී කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයට වැඩම කරමින් ධර්ම දේශනාවක් පැවැත්වුවා. උන්වහසේ කියපු එක දෙයක් මගේ හිතට වැදුන. 'ලොකු ගැඹුරු දේවල් පොඩි කතාවලින් විස්තර කරලා දෙන්න පුරුදුවෙන්න!'. උන්වහසේ ධර්ම දේශනාව ආරම්භ කළෙම 'වන්ස් ඔපොන් අ ටයිම්....'. කියලයි. එහෙනම් මේ ලිපියට අදාල කතාවට බහිමු.

කතාව

මේක ඇෆ්ගනිස්ථානයේ කතාවක්. ඉස්සර එක්තරා මහලු ගොවියෙක් එයාගේ වැඩිවියට පත්වුණු දරු මල්ලන්ද ඉන්න පුතුන් තුන්දෙනා (03) සමග එක ගමක වාසය කළා.මේ ගමේ මිනිස්සුන්ගේ අදායම් මාර්ගය වුනේ කිරි පිණිස එළුවන් ඇතිකිරීම.ඉතින් මේ ගොවියා ජීවත්වෙලා මරණාසන්න මොහොතට ලංවෙලා පුතුන් තුන්දෙනා ගෙන්නලා කිව්වා
 '' මගේ දේපල ගැන අන්තිම කැමති පත්‍රය ලියල තිබෙනවා.මගේ අවසන් කටයුතු වලින් පස්සේ ඒකෙ තියෙන ආකාරයට දේපල තුන්දෙනා අතර බෙදාගනිල්ල. මගේ අන්තිම කැමැත්ත මොනම අකාරයකටවත් වෙනස් කරන්න එපා" කියල. පියාගේ අවසන් කටයුතු වලින් පස්සේ පුතාල තුන්දෙනා අන්තිම කැමති පත්‍රය දිගහැරලා බැලුව. ඒකෙ තිබුනේ මෙහෙමයි.
 
මා සතු එකම දේපල අපේ පට්ටියේ සිටිනා එළුවන් 17 දෙනා පමණි . මෙම එළුවන් 17 දෙනාගෙන් භාගයක් (1/2) ලොකු පුතාටද, තුනෙන් එකක් (1/3) දෙවෙනි පුතාටද, නමෙන් එකක් (1/9) බාලම පුතාටද හිමිවිය යුතුය !

පුත්තු තුන්දෙනා පියාගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් වට්ටෝරුවට අනුව එළුවන් බෙදන්න හැදුව. බෙදාගන්න බැහැ. දා හත දෙකෙන් වත් තුනෙන් වත් නමෙන් වත් බෙදන්න බැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් නිසා. භාග ගණන් මයි එන්නේ. ලොකු පුතාට අටහමාරයි (8 1/2) . දෙවෙනියට පහයි තුනෙන් දෙපන්ගුවයි (5 2/3) බාලමයට එකයි නමෙන් අටයි (1 8/9). ඒ වුනාට බෙදන්න තිබෙන්නේ එළුවොනේ. කෑලි වලට කපන්නත් බැහැ. කිරට ඇතිකරන එළුවොනෙ. පියාගේ අවසන් කැමැත්ත වෙනස් කරන්නත් බැහැ.
පුතුන් තුන්දෙනා විශාල ජන්ජාලයක තමයි පැටලුනේ. අන්තිමට පුතාල තුන්දෙනා රණ්ඩු වෙන්න පටන් ගත්ත. රණ්ඩුවට ඒගොල්ලන්ගේ බිරින්දැල දරුවෝ එහෙමත් එකතුවෙලා ඒගොල්ල ළඟ තිබුන වෙන වෙන ප්‍රශ්නත් මේකටම ඇදගෙන විශාල කල කෝලාහලයක් ඇතිකරන්න පටන් ගත්ත සහෝදර නෑදෑයෝ අතර.
මේ රණ්ඩුව ඇහුන ගමේ යමක් කමක් හිතන්න පුළුවන් මනුස්සයෙක් ඇවිල්ල රණ්ඩුවට හේතුව ඇහුවම පුතාල අර මැරුණු ගොවියාගේ අවසන් කැමති පත්‍රය ගැන කිව්වා. ඉතින් මේ මනුස්සය ටිකක් කල්පනා කරලා කිව්වා
"ඕකට ඔය ළමයි සහෝදරයෝ අතර රණ්ඩු වෙන්න එපා. මගේ ළඟ එළුවෙක් ඉන්නවා. ඒ එළුවාත් අරගෙන එළුවෝ ගාන දහ අටක් කරගෙන තාත්තගේ වට්ටෝරුවට අනුව බෙදා ගන්න " කියල.
මුලදී අයියල මල්ලිලා මේ යෝජනාවට කැමති වුනේ නැහැ.
"තාත්ත දීපු වට්ටෝරුව වෙනස් කරන්න බැහැ. අනික මේ අහක ඉන්න මනුස්සයෙක් අපේ ප්‍රශ්නයක් නිසා නිස්කාරණයේ පාඩු කරගන්න හදනවා". එහෙමයි එයාල හිතුවේ.
මේ අය හිතන විධිය තේරුම් ගත් අර වැඩිහිටි මනුස්සය කිව්වා
 "මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. නිකමට මගේ එළුවාත් අරගෙන බලන්න" කියල අන්තිමට කට්ටිය ඒ යෝජනාවට එකඟ වෙලා ඒ එළුවාත් අරගෙන 18 බෙදුව.
ලොකු පුතාට 18 න් 1/2 යි කියන්නේ 9 යි. දෙවනි පුතාට 18න් 1/3 කියන්නේ 6 යි. බාලමයට 18න් 1/9 කියන්නේ 2 යි.
9+6+ 2 = 17 යි . හැබැයි බෙදුවේ 18.

දැන් අර වැඩිහිටි මනුස්සය කිව්වා "දැන් බලන්න තාත්තගේ කැමැත්තෙ හැටියට එක එක්කෙනාට හම්බවෙන්න නියමිත ගානටත් වඩා වැඩියෙන් ලැබිල තියෙනවා, ( 8 1/2 ලැබිය යුතු කෙනාට 9ක්. 5 2/3 ලැබිය යුතු කෙනාට 6ක් . 1 8/9 ලැබිය යුතු කෙනාට 2 ක් . ) එළුවෝ 17 බෙදිලත් තිබෙනවා. ඉතින් මට මගේ එළුවා නැවත දෙන්න" කියල.

කතාවෙන් අපිට- සිංහල දෙමල මුස්ලිම් කල්‍යාන මිතුරන්ට, නෑදෑයන්ට.....

මේ කතාව දැනට රන්ඩුවෙන අපේ රටේ සින්හල- දෙමළ - මුස්ලිම් සහෝදරයෝ තුන්දෙනාටත් අදාලයි. අපි ප්‍රශ්න බේරගන්න ගන්න හදන්නේ අපේ පියා අපට උරම කරල දීපු ( ඒ කියන්නේ ඉතිහාසය හෝ මතවාදය හෝ වෙනත් දේශපාලන වට්ටෝරුවක් ) ඒ විධියටම අනුගමනය කරන්න යන නිසා. එහෙම කරන්න ගියොත් අපි මූල ධර්ම වාදීන් වෙනවා. මහාවංශ ක්‍රමයටම අපේ වර්තමානය හදාගන්න බැරි බව සිංහල ලොකු සහෝදරයා හිතන්න ඕනි. තමන්ගේ ජාතික ආගමික සංස්කෘතික උරුමය හොයාගන්න කුරානය මූලධාර්මවාදීව අනුගමනය කරලා හරියන්නේ නැති බව ලන්කාවේ මුලිම් සහෝදරයෝ හිතන්න ඕනි . බොදු බල සේනාව නෙමෙයි ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ගේ ගැටලුව. ලංකාවේ දෙමල ජාතික වාදයේ පියා වෙන්නේ මැලේසියාවෙන් ලංකාවට ඉගෙන ගන්න ආපු එස් ජේ වී චෙල්වනායගම්. එයා තමයි දෙමල නිජබිමට ස්වයන්පාලනය ( ෆෙඩරල්, ඊලාම් ) මතවාදය හදල දුන්නේ. දෙමළ සහෝදරය තාම ඉන්නේ මේ මතවාදයේම මූල ධාර්මිකව එල්ලිලා. මේ විදියට ඉන්න ඉන්න රණ්ඩුව විතරයි ඉතිරි වෙන්නේ. කාටත් කියන්න වෙන්නේ එතකොට එළුවා කපා මගේ ගෙටයි - බොකු බඩවැල් තොපේ ගෙටයි කියලයි. ඒ ආකල්පයෙන් හොඳ ජාතික රාජ්‍යක් හැදෙන්න නැහැ. ජාතික රාජ්‍ය ගැන ඊ ලඟට කතා කරමු.
 
  

Tuesday, 26 February 2013

සතර දිගන්තය : මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය

සතර දිගන්තය : මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය: මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය. එක කලෙක (2009 දී) මම 'සංහිතාව' නමින් 'දිවයින ඉරිදා සංග්‍රහයට' තීරු ලිපි පෙළක් ලිවීමි. ...

මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය

මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය.
එක කලෙක (2009 දී) මම 'සංහිතාව' නමින් 'දිවයින ඉරිදා සංග්‍රහයට' තීරු ලිපි පෙළක් ලිවීමි. එය පාඨකයන් අතර තරමක් ජනප්‍රිය විය. ප්‍රේම් දිසානායක නම් සොඳුරු මිතුරා එය පොතක් වශයෙන්ද පල කළේය . ඒ අතර සංහිතාව නැවත ලියන්නැයි බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියහ. එවැනි ලිපි පෙළක් නැවත ලියනු පිණිස මෙම සටහන් පෙළ මෙසේ අරඹමි.
මගේ රැකියාව විසින් මට පනවා තිබෙන සීමාවන් හැර අදහස් ප්‍රකාශනයෙහි ලා මට වෙනත් කිසිදු සීමාවක් බලපාන්නේ නැත. මෙහි ලියවෙන සෑම අකුරකම වගකීම මම දරමි. එමෙන්ම ඔබගේ ප්‍රතිචාරයටද මෙහි ඉඩක් වෙන්කරමි.
සතර දිගන්තයේ ඉර හඳ යට ඇති සෑම දෙයක් ගැනම මෙහි ලියන්නට මම බලාපොරොත්තු නොවෙමි. දේශපාලනය සහ සංස්කෘතිය මෙම බ්ලොග් පත්‍රයේ විෂය ක්ෂේත්‍රයයි.

Google+ Followers