Wednesday, 24 April 2013

මම් කෙසේ පවසම්...... බ්ලොග් හයිකු

පොළොවේ ගැසූ පුවක් වල්ල
ගෝලීය ධනවාදයේ යකඩ හස්තියා
මහා වීරකමක් කරන්නාසේ
ඔසවා දමා ගැසුවා
වාමාංශික පුවක් වල්ල
පොළොවේ.
අනේ!
රතුපාටට බැබලි බැබලී තිබුන
පුංචි පුංචි පුවක් ගෙඩි
පොළොව මත විසිරුණා.
සී සී කඩ වෙලා ගියා.

මොළය වියලුන කල
අපිත් හරියටම අපේ රට වගේමයි
රටේ සිතියම වගේමයි
ඔලුව පුංචියි
කඳ,බඩ ලොකුයි, ලෙඩ රෝග ගොඩයි
මොහොතක් ඉඳිමු
ඔලුවෙන් හිටගෙනවත්
ලේ කඳුලක් නැති
මුනට... ඇස් දෙකට... මොළයට.... ඔලු කට්ටට
රුධිරය උනන තුරු.

සමාජ මාධ්‍ය
ජාලයක් නොවේ
ජංජාලයක්
අස්මිමානය
ඊගොයිසම්
වපුරන
සෙල්ෆ් මාර්කටින්
සෙල්ෆ් මාර්කටින්
තමන්ගේ රුපය තමන්ම බලා සැනසෙන
ජංජාලයක්

උරුලෑවෝ
දෙයක් ඉතිරි වී තිබේ නම් යම්
එයද
නුසුදුස්සාටම අයිතිවිය යුතු
උරුලෑවන් මනා වූ
දිනිය යුතු සේම
ඉත්තෑවන්ගේ ගුල්

ඌරෝ
ධන චින්තන ගුරුතුමා
දෙසුම් දෙසමින් පොත් ලියමින්
කියාදුන්නේ
එක ඌරෙක් තවත් උරෙකුට
අල හාරා දෙන්නේ නැති බවයි
ඉතින් අනුන් ගැන නොසිතා
තමන්ගේ වැඩේ කරගනිමු
හාරගෙන හාරගෙන හාරගෙන යමු

සුද්දෙක් ඔබ අමතයි
නාට්ය‍යක්..? මොන විකාරයක්ද?
ඒකට නාට්‍යයක් කියන එක
භරතමුනිට සේෆොක්ලීස්ට ශේක්ස්පියර්ට සරච්චන්ද්‍රට කරන අපහාසයක්
උදයසිරියා.... දීග ජන්තුවා...... තක්කඩියා.... ත්‍රස්තවාදියා
ඌ කෙලෙව්වා මුළුමහත් සිංහල වේදිකාවටම
එත් පුලුවන්ද අමතක කරන්න
අරුන් තුන්දෙනා වේදිකාව උඩ කරපු කතා තුන
ඇඟ හිරිවටුන නේද
මයිල් කෙලින් හිටිය නේද හසන්ත මහත්තයෝ ?
ගැලෙව්වා නේද අපේ සංස්කෘතික කලිසම
ශාලාව මැද්දෙම
ඔව් ඒක නාට්‍යයක් නොවේ
නොනාට්‍යයක්ද නොවේ

අතු දෙක
මම නැග්ග
පුවක් ගහෙත් දෙබලයක්
එක අත්තක් බලය, දැනුම, ධනය, විද්‍යාව පැත්තට
අනෙක් අත්ත
ජීවිතය සහ අධ්‍යාත්මය පැත්තට

පැදුරු සාජ්ජය
මොහිදීන්...... හා ඉතින් කියමු සින්දුව
මුත්තුසාමි ගහපන් මචන් සර්පිනාව
අන්න අතන ඩෝලේ
කෝ මේ ඩේසි ඩැනියෙල් රුක්මනී?
ආදර පාන සුදා
අම්මද බොල
අන්න එනවා හරුන් ලන්ත්‍රා
සුළං කුරුල්ලත් අරගෙන
සිංහල බෞද්ධ කොල්ලනි නටමු
අපට මේ හැටිවත් නටන්න සංගීතෙ හදල දුන්නේ
මේ කට්ටිය තමයි

වෙසක් ළඟයි!
මෙම විට පැවසෙන මුවින් මගේ

බෙග් මාස්ටර්
දවසකට පස් වතාවක් සර්ව බලධාරී අල්ලාට වැඳ
දශ බලධාරී බුදුන්ගේ ගුණ ගී ගැයූ
මේ පාරත් මගේ රටේ
පන්සලේ දන්සලේ තොරණ පොලේ
සත්‍ය ලෝකේ වැනසී යාදෝ
දුක් බරිනී මිරිකී යාදෝ
නිර්මල පිවිතුරු චරිතේ අපේ
පවිටෙන් බොරුවෙන් කෙලෙසාදෝ
අගති අයුක්තිය මාරුතයේ ප්‍රාණෙ අපේ දෙදරා යාදෝ
ඔවු මාස්ටර් මේ පාරත් කියන්න හය්යෙන්
බුද්ධං සරණන් ගච්චාමී!
 
 
සුළි සුළඟක් හැදෙන හැටි
මේ වායු ගෝලයේ
නිසි මොහොතෙදි
සැළෙන 
සමනළ පියාපතකට වුව
සුළි සුළඟක් තැනිය හැකිය.
ඔබේ පියාපත රැක ගන්න
  

Thursday, 18 April 2013

මක්ඛලී ගෝසාලගේ අවසාන මහා ගල් විදින යුද්ධය

නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ...............

රේඛීය ආගමික විශ්වවේදයන් ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතාකරන බව අපි දුටුවෙමු. චක්‍රීය විශ්වවේදයන් ලෝකය දකින්නේ ඇතිවීම් සහ නැතිවීම් සන්තතියක් වශයෙනි. එහි නිමක් නැත. නූතන බටහිර දේශපාලන චින්තනයට වැඩියෙන් බලපෑවේ ආරම්භයක් සහ අවසානයක් ගැන කියවෙන රේඛීය විශ්ව වේදයන්ය. මානවයාගේ සමාජ ගමන කොමියුනිස්ට් සමාජයක් බිහිවීමෙන් පරිපාකයට පත්වන්නේය යන මාක්ස්වාදී ප්‍රවාදයෙහිත් ලිබරල් වාදයේ ලෝකපරිමාණ ජයග්‍රහණයත් සමග ඉතිහාසය අවසන්වේය යන ෆුකුයාමා ප්‍රවාදයෙහිත් මෙම ආගමික සෙවනැල්ල වැටී තිබේ.

ලෝකාවසානය පිලිබඳ මෙම රේඛීය ආගමික ප්‍රවාදයද බටහිරට ගියේ පෙරදිගිනි. එය හුදෙක් බයිබලයේ හෝ කුරානයේ පමණක් තිබු අදහසක් නොවේ. තවත් ආගමික ශාස්තෘවරු මෙම අදහස ඉදිරිපත් කළහ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ ශ‍රතුස්ත්‍ර සහ මක්ඛලී ගෝසාල ය. බුදුන් වහන්සේගේ කාලයේ ජීවත් වූ මක්ඛලී ගෝසාල තුමන්ගේ දර්ශනය එතරම් ව්යාප්ත නොවුවද ශරතුස්ත්‍ර තුමන්ගේ දර්ශනය පෙරදිග පර්සියාවේ සිට බටහිර විශාල ප්‍රදේශයක ව‍යාප්ත විය.Governments already offer 'official' tips on how to survive nuclear war, asteroid strike, or even a zombie virus outbreak. (Image: Rex)
 
මක්ඛලී ගෝසාල දර්ශනය ගැන දැනගත හැක්කේ බෞද්ධ සහ ජයින සාහිත්‍යයෙනි. එතුමන්ගේ දර්ශනය හඳුන්වන්නේ නියති වාදය හෝ නියති පරායන වාදය යන නම් වලිනි. නියති පරායනවාදය කෙටියෙන් මෙසේය,

"සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව ඉබේම සත්වයෝ කෙලෙසෙති. සත්වයන්ගේ පිරිසිදුවීමටද හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු නැතිව ප්‍රත්‍ය නැතිව සත්වයෝ පිරිසිදු වෙති. තමාගේ යහපත සඳහා කළ යුතු අවවාද අනුශාසනා ආදී කර්මයක්ද නැත...සැපක් ලබනට ඉවහල්වන බලය කියා එකක් නැත. වීර්යය කියා එකක් නැත.... හැම සත්තු , හැම ප්‍රාණීහු හැම ජීවයෝ, නියමය , සංගතිය, ස්වභාවය යන මේ තුනෙන් පරිනාමයට පැමිණියෝ අභිජාත සයක් පුරා සැප දුක් විඳිති.


... ප්‍රතිපත්ති හැට දෙකකි. අන්තඃකල්ප හැට දෙකකි. අභිජාත සයකි. පුරුෂ භූමි අටකි. ජීවිකාවෘත්ති හාරදහස් නවසීයකි... නාග මණ්ඩල සාරදහස් නවසීයකි. ඉන්ද්‍රියයෝ දෙදහසකි. නිරයයෝ තුන් දහසකි.... දේව වර්ග සතකි. මනුෂ්‍ය වර්ග සතකි. පිශාච ජාති සතකි. මහවිල් සතකි. මහා පරිවර්ත සතකි. කුඩා පරිවර්ත සත් සියයකි. මහා ප්‍රපාත සතකි. කුඩා ප්‍රපාත සත් සියයකි. මහා ස්වප්න සතකි. කුඩා ස්වප්න සත් සියයකි. අනුවණයනුත්, නුවනතියනුත් සසර දිව හැවිද දුක් කෙලවර කිරීමට ගෙවිය යුතු කල්ප අසූහාර ලක්ෂයකි.
 (මහාචාර්ය බලදේව උපාධ්‍යය ගේ බෞද්ධ දර්ශනය- හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි)

ඉහත විස්තරය අනුව පෙනෙන්නේ ලෝකය සහ විශ්වය නියත ගණන් හිලව් වලින් පැහැදිලි කිරීමට ගෝසාල තුමන් ඉදිරිපත් වූ බවය. අභිජාත සයක ඉපදීමෙන් පසු ජීව ප්‍රාණීන් කල්ප අසුහාර ලක්ෂයක් ගෙවා දමමින් අවසානයකට ලඟා වන බව මෙම අවසානවාදයෙන් කියවේ.

එහෙත් මක්ඛලී ගෝසාල තුමන් ලෝකාවසානය ලෙස දැක්කේ ස්වර්ග රාජ්‍යය, කොම්යුනිස්ට් තත්වය වැනි සුන්දර තත්වයක් නොව ඉතා නිශේධනීය දුක්බර තත්වයක් බව සමහර විද්වත්හු පෙන්වාදෙති. මහාචාර්ය සුචරිත ගම්ලත් ලියු බුද්ධ චරිතය කෘතියේ ගෝසාල තුමන් ගැන සිත් ඇදගන්නා සුළු විස්තරයක් ඉදිරිපත් කර තිබේ.
භගවතී සුත්‍රය ඇසුරින් කරුණු දක්වන මහාචාර්ය ගම්ලත් කියන්නේ අවසානතා හතක් ගැන ගෝසාල තුමන් දේශනා කළ බවය. ඒවා නම්

1.අවසාන පානය
2.අවසාන ගීතය
3.අවසාන නර්තනය
4. අවසාන වැඩිහිටි වන්දනය
5.අවසාන මහා ධාරානිපාත වර්ෂාව
6. අවසාන දිය ඉසින ගන්ධ හස්තියා
7.අවසාන මහා ගල් විදින යුද්ධය යනුවෙනි.

 ඒ අනුව ලෝකය අවසාන වන්නේ මහගල් විදින යුද්ධයකිනි. ( න්‍යෂ්ටික මිසයිල යුද්දයක්?)

එහෙත් මහාචාර්ය ගම්ලත් කියන්නේ මෙම අදහස් ගෝසාල තුමන් ඉදිරිපත් කළේ දාර්ශනික අදහසක් ලෙස නොව එකල තිබු ගණතන්ත්‍ර රාජ්‍යයන් සහ සංස්කෘතීන් විනාශ කරමින් රාජාණ්ඩු ගෙනගිය බියකරු යුද්ධ නිසා එතුමන් සිතෙහිඇති වූ මානසික ප්‍රකම්පනය නිසා බවය.ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ වජ්ජින්ගේ ගන තන්ත්‍ර රාජ්‍යය ආක්‍රමණය කිරීමට අජාසත් රජු විසින් කරන ලද යුද්ධයයි. මහාචාර්ය ගම්ලත්ට අනුව ගෝසාල තුමන් ආගමික ශාස්තෘවරයෙකු නොව භෞතිකවාදී කවියෙකි.

 එසේ වුවද මේ කාලයේම හෝ ඊට ශත වර්ෂ කිහිපයකට පමණ පසු නමුත්  නිශ්චිතවම ක්‍රිස්තුස්වහන්සේට පෙර ජීවත් වූ ශාරතුස්ත්‍ර තුමන් ඉදිරිපත් කළ අවසානතා වාදය වනාහී ජීවිතය පිලිබඳ ඉතා සුබවාදී දැක්මකි. අවසානයේදී නපුර පරදවා යහපත ජය ගන්නා බව එතුමන් දේශනා කරයි. ශාරතුස්ත්‍ර ධර්මය අදහන පාර්සි ජාතිකයන් ඇතුළු විශාල පිරිසක් ලෝකයේ අදටත් වෙසෙති.

ඉදිරි ලිපිය ... ''ශාරතුස්ත්‍ර නොමළ වගයි''

Tuesday, 16 April 2013

මිනිසා උතුම් උදාර සත්වයෙක්ද නැතිනම් පාපිෂ්ට කාලකන්නියෙක්ද?: හොබ්ස්ගේ අවස්ථිති නියමය

File:Luca Giordano - Perseus Fighting Phineus and his Companions - WGA9013.jpgදේශපාලන විද්‍යාවෙහි 'රාජ්‍යය න්‍යාය' ඇතුළත බ්‍රහ්මයාට තැනක් නැත. (අප එම සාකච්චාව ඇතුළට බ්‍රහ්මයා කැඳවාගෙන එන්නේ හේතුවක් ඇතිවය). බ්‍රහ්මයා නොසිටියද එම න්‍යාය ඇතුළත දෙවියන් වහන්සේ නම් වැඩ සිටිති. රාජ්‍ය පිලිබඳ 'දේව වරම්වාදය' නම් සංකල්පයක් සහ රාජ්‍යයෙන් ආගම හෙවත් දෙවියන් ඉවත් කිරීම නමැති 'ලෞකිකවාදය' යනුවෙන් හඳුන්වන සංකල්පයක් තිබෙන බැවිනි.
 
 ප්‍රකෘති සමාජයට එරෙහි දේශපාලන සමාජය
 
'දේශපාලන විද්‍යාව' විද්‍යාවක් බව යෝජනා කළේ තෝමස් හොබ්ස්ය. තමන්ට පෙර සිටි දේශපාලන චින්තකයන් දේශපාලනය පිලිබඳ හැදෑරීම විද්‍යාවක් වශයෙන් නොකළ බව හොබ්ස් විශ්වාස කළේය. හොබ්ස් දැඩි අදේවවාදියෙකි. එහෙත් රාජ්‍ය බලය දෙවියන්ගෙන් ලැබෙන්නේ යැයි විශ්වාශ කළ 'රාජාණ්ඩුවට' පක්ෂවුවෙකි. රාජ්‍යය සමාජ සම්මුතියකින් බිහිවන බව ප්‍රකාශ කළ අයෙකි. එහෙත් සමාජ සම්මුතිවාදයට වැඩියෙන් ගැලපෙන පාර්ලිමේන්තුවාදයට වඩා රාජාණ්ඩුවාදය පිළිගත්තේය. නූතන 'සිවිල් සමාජය' නම් සංකල්පයේ ආරම්භකයා හොබ්ස්ය. එහෙත් හොබ්ස් සිවිල් සමාජය යනුවෙන් අදහස් කළේ දේශපාලන සමාජය පරීක්ෂා කරනා එයට බලපෑම් කරනා 'පුරවැසියන්ගේ සමාජයක්' යන අද පවතින අර්ථයෙන් නොව 'ප්‍රකෘති සමාජයට' එරෙහිව මිනිසුන් ගොඩ නගනා 'දේශපාලන සමාජයක්' යන අර්ථයෙනි. හොබ්ස්ගේ සිවිල් සමාජය යනු ප්‍රකෘති සමාජයට එරෙහි දේශපාලන සමාජයක්ය.
 
හොබ්ස්ගේ දේශපාලන විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ මෙම ප්‍රකෘති සමාජය යනුවෙන් ඔහු ඉදිරිපත් කළ මූල සංකල්පය මතය. බයිබලයේ සිටින දෙවියන් වහන්සේ නොව එහි සිටින යක්ෂයා (සර්පයා) සංකේතවත් කරන ලෙවියතාන් සංකේතය තම දාර්ශනික ලකුණ කරගත් හොබ්ස්ගේ රාජ්‍යය න්‍යාය හැදෑරීම කිහිප ආකාරයකින්ම වැදගත් වන්නේය.
 
 කව්ටිල්‍ය සහ මකියවෙල්ලිගේ පියසටහන් ඔස්සේ
 
හොබ්ස් ජීවත් වුනේ මීට ශතවර්ෂ හතරකට පමණ පෙරය. එහෙත් දේශපාලන චින්තනයට අද වනතුරුද ඔහු වලංගු වන්නේ 'බලය' පිලිබඳ ඔහු ඉදිරිපත් කළ අදහස් පද්ධතිය නිසාය. විශේෂයෙන් ජාත්‍යන්තර දේශපාලනයේ ස්වභාවය හඳුනාගැනීමේදී හොබ්ස්ගේ අදහස් නව අර්ථකතනයන බදුන් කරමින් භාවිත වේ. යතාර්ථවාදය,ලිබරල්වාදය,මාක්ස්වාදය,පද්ධති න්‍යාය, ග්රම්ස්කිවාදය, විචාර සමාජ න්‍යාය, ආදී විවිධ එළැඹු අතරින් ජාත්‍යන්තර දේශපාලනය පැහැදිලි කිරීමෙහිලා ප්‍රමුඛම එළඹුම වී තිබෙන්නේ යතාර්ථවාදයයි. දේශපාලන යථාර්ථවාදයේ ආදී කතෘන් වනුයේ චානක්‍යය , සුන් ට්සු, මකියාවෙල්ලි ආදීන්ය. බලය සම්බන්ධයෙන් මේ අය ඉදිරිපත් කළ අදහස් තෝමස් හොබ්ස් විසින් විද්‍යාව සමග ගැට ගසන ලදී.

අප ජීවත් වෙන්නේ විද්‍යා යුගයකය. විද්‍යාව දේවත්වයෙන් සලකන, විද්‍යාව වඳින,විද්‍යාවට භයවන, විද්‍යාව යදින, විද්‍යාව වසින් ඇතිකරනු ලබන විනාශයන්හිදී පවා වඩ වඩා විද්‍යාවේ සරනම සොයන, සෑම දැනුමක්ම විද්‍යාවේ අධිකාරියට නතුකරන්නට බල කෙරී තිබෙන යුගයකය. දේශපාලනය නමැති මිනිස් චර්යාව පවා එසේ විද්‍යාවක් අනුව විශේෂයෙන් භෞතික  විද්‍යාව අනුව තේරුම් කළ හැකි බව විද්‍යා යුගයේ ආරම්භයේදී ජීවත් වූ හොබ්ස් විශ්වාශ කළේය. විද්‍යා දැනුම බලයක් ලෙස සැලකූ ෆ්‍රැන්සිස් බේකන්ගේ ලේකම් වරයකු ලෙස හොබ්ස් කටයුතු කළේය. බේකන්ගේ සමහර ලියවිලි ලතින් බසට පරිවර්තනය කළේ ඔහුය. ගැලීලියෝ හමුවීමට ගිය ඔහු ගැලීලියෝගේ චලිතය පිලිබඳ අවස්ථිති නියමයෙන්(law of inertia) ආකර්ෂණය වී එම නියමය මනුෂ්‍ය සමාජයේ ගතිකයන් පැහැදිලි කිරීමට යොදාගත හැකියි කල්පනා කළේය. කොපර්නිකස්ගේ සිට ගැලීලියෝ හරහා නිව්ටන් තෙක් වර්ධනයවී ගිය චලිතය සහ බලය පිලිබඳ නියම තුන ඇතුලත් අවස්ථිති නියමය වනාහී ඉතා තද බල වියුක්ත චින්තන රාමුවකි. භෞතික  විද්‍යාව ශතවර්ෂ කිහිපයක් තිස්සේ වර්ධනය වුයේ මෙම පදනම් නියමය මතය. ග්‍රීක ඉතිහාස කතා සාහිත්‍ය ආදිය හදාරමින් සිට පසුව බේකන් ගැලීලියෝ ආදීන් පස්සේ වැටුන තෝමස් හොබ්ස්ට වුවමනා වුයේ දේශපාලන විද්‍යාවටද  අවස්තිථි  නියමය මෙන් පදනම් සංකල්පයක් හඳුන්වා දීමටය. ඔහු හඳුන්වා දුන් සංකල්පය 'මනුෂ්‍ය ස්වභාවය' යන සංකල්පයයි.

මිනිසාගේ ප්‍රකෘතික ස්වභාවය ලෙස හොබ්ස් දුටුවේ එතරම් යහපත් චිත්‍රයක් නොවේ. ප්‍රකෘති සමාජයේ ජීවිතය බියකරු තනිකමකින් වෙලී තිබේ, එය විනාශකාරීය,දිළිඳුය,රුදුරුය,කෙටිය
(solitary poor ,nasty,brutish and short)  යනුවෙන් හොබ්ස් හඳුන්වයි. ප්‍රකෘති සමාජය වනාහී ඒ අනුව මහා කාලකන්නි සමාජයකි. එම කාලකන්නි කමින් ගැලවීමට මිනිසාට රාජ්‍යයක් නිර්මාණය කළ බව හොබ්ස් කියයි. මිනිසා දේශපාලනික වූයේ එසේත් නැතිනම් සිවිල් වූයේ අර ප්‍රකෘති කාලකන්නි කමින් ගැලවී වඩා ප්‍රමුදිත ජීවිතයක් ගත කිරීමටය.

 හොබ්ස්ගේ අවස්ථිති නියමය

මිනිසාගේ ප්‍රකෘති ස්වභාවය කුමක්ද? මිනිසා ස්වභාවයෙන්ම දරුණු ගති පැවතුම් ඇති, දුෂ්ට කල්පනාවලින් හෙබි භය සහ ආශාව මූලික කර ගනිමින් හැසිරෙන සත්වයෙක්ද?එසේත් නැතිනම් මිනිසාගේ ස්වභාවික ලක්ෂණය වන්නේ සාමකාමී කරුණා මුදිතාදී ලක්ෂණ වලින් සපිරිනු පින්වන්ත භාවයක්ද ? අපි නොදනිමු. මිනිසා ස්වභාවයෙන්ම බ්‍රහ්මයෙක්ද නො එසේනම් මෘගයෙක්දයි අපි නොදනිමු. මිනිස් ස්වභාවය ගැන අපට කිව හැක්කේ මිනිසා ස්වාභයෙන්ම යහපත් නොවේ. යහපත්  නොවන්නේද නොවේ යන්න පමණි. මිනිසාට බ්‍රහ්ම ලක්ෂණ මෙන්ම මෘග ලක්ෂණද ඇත.

හොබ්ස් ඉදිරිපත් කළ මනුෂ්‍ය ස්වභාවය පිලිබඳ නිශේධනීය සංකල්පය පසුකාලීන චින්තකයන් බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කළද සමාජය සහ රාජ්‍යය වැනි දේශපාලන ලක්ෂණ විස්තර කිරීමේදී සඳහා පදනම් සංකල්පයක් ලෙස ප්‍රාථමික හෙවත් ප්‍රකෘතික සමාජයේ ස්වරූපය කුමක්ද යන්න විග්‍රහ කරමින් තම විශ්ලේෂණ ඉදිරිපත් කිරීම මේ සෑම චින්තකයෙකුගේම පොදු ලක්ෂණයක් විය. එය හොබ්ස්ගේ දේශපාලන විද්‍යාවට දායාද කළ අවස්ථිති නියමයයි.
 

Saturday, 13 April 2013

නොනගත සංක්‍රාන්ති සටහන්... සුර්යයා ආවා වුද නාවා වුද මොහොතක....

 සුර්යයා  ආවා වුද නාවා වුද මොහොතක....
 
1. බටහිර පඬිවරුනි, ඔවුන් අනුගමනය කරන පෙරදිග මහා පඬිවරුනි, 'දැනුම බලය වේ' යනුවෙන් බේකන් පඬිවරයා කිව් අදහස අතහැර දැමීමට කාලය පැමිණ ඇත. දැනුමට බලය නොව අධ්‍යාත්මය එකතු කිරීමට කාලය පැමිණ ඇත.
 
2. දේශපාලනය කුමක් පිණිසද? යහපත් රාජ්‍යයක් බිහිකරගැනීමටය. යහපත් රාජ්‍යයක් යනු ධාර්මික රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මහාසම්මතය රැකගනිමින් එම මහා සම්මතය සංකල්පීයව දියුණු කරමින් පුරවැසියාගේ සාමය සෞභාග්‍යය නිදහස  සහ සතුට තහවුරු කිරීම යහපත් රාජ්‍යයේ පරම නිෂ්ටාවය.
 
3. පාලකයා, ජනතාව සහ රාජ්‍ය අතර ඇත්තේ කුමන සම්බන්ධයක්ද? පාලකයා අධර්මිෂ්ට වන විට ජනතාවද රාජ්‍යයද  අධර්මිෂ්ට වේ. ජනතාව අධර්මිෂ්ට වන විට පාලකයා සහ රාජ්‍යය අධර්මිෂ්ට වේ.
 
4. කලාව කුමක් පිණිසද?  කිසිදා පරණ නොවන පිළිතුරක් ඒ සඳහා ඇත. කලාව ඇත්තේ  අර්ථ, ධර්ම කාම, මෝක්ෂ සාධනය පිණිසය. එහෙයින් කලාවෙන් අර්ථ සම්පාදනය කරගන්න. කලාවෙන් ධර්මය පසක් කරගන්න. කලාවෙන් කාමය අත්දකින්න. කලාව මෝක්ෂ මාර්ගයක් කරගන්න.
 
5. ඔබේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගරු කරන්න. එහෙත් ඉතිහාසය සහ සංස්කෘතිය දෙස විචාරයෙන් බැලීමට පුරුදුවන්න. පෘතග්ජන අපට නිර්මාණය කරගත හැකි හොඳම දැනුම විචාරාත්මක දැනුමයි. ගතානුගතික මරුකතරේ ඔබේ විචාර මනස සිදී බිදී වැළලී යාමට ඉඩ නොදෙන්න.
 
6.ආගමික ගැටුම් මනුෂ්‍යත්වයට ඔබින පරිදි විසඳීමට ඇත්තේ එකම මගකි. සහජීවනය, සහජීවනය සහ සහජීවනය පමණි. මුලධර්මවාදීනි, ඔබේ මහ ලොකු පුස්තකාලයේ තිබෙන පොත්වල ඇත්තේ ප්‍රශ්න මිස විසදුම් නොවේ. කරුණාකර  පුස්තකාලයෙන් ලෝකයට බසින්න.
 
7. ලෝකය ඇත්තේ මගේ සහ  ඔබේ බඹයක් පමණ ශරීරය ඇතුලේමය. එයින් බාහිර ලෝකයක් නැත.  ඔබේ ලෝකය පනවාගන්නේ ඔබය. මගේ ලෝකය මමය.
 
8. ඔන්ටෝලොජියක් නැත. ඇත්තේ එපිස්ටෝමොලොජි පමණි. ඔන්ටෝලොජියක් ඇතැයි  කීමද නැතැයි කීමද එපිස්ටෝමොලොජි කතාන්දරය.
 
9. දවසේ වැඩ කටයුතු නිමවී අවරදිගින් බැසයන සූර්යයා " මගේ වැඩ කොටසට මෙතැන් පටන් උරදෙන්නේ කව්දැයි" ඇසුවේය. මහා පෘථිවි පොලව එබස නැසූ කන්ව මුනිවත රකිමින් නිහඬව සිටියේය.  පොලව එසේ නිහඩව සිටින කල එම මහා පොලවටම අයත් මැටිපිඩකින් තනනු ලැබූ පුංචි මැටි පහනක්, "හිමි සඳුනි මට හැකි පමණින් උත්සාහ කරන්නම්" යයි සූර්යයාට  පැවසීය.

''who will take up my work''
said the setting sun.
 
Earth kept silent like a picture
 
But there was an earthen lamp
that said
 
''My Lord I shall do what little I could do"
 
 
සතර දිගන්තය කියවන රසවිඳින අගයන බනින මල් පුදන ගල් ගසන ඔබ සැමට සුබ නව වසරක් වේවා !  
    

Wednesday, 10 April 2013

මාගරට් තැචර් වෙනුවෙන් ශෝක සටහනක්

මියගිය හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් වෙනුවෙන් නිල ශෝක සටහනක් තැබීමට රාජකාරියේ කොටසක් ලෙස කරන්නට සිදුවිය.ලංකාවේ නිල ශෝක සටහනට සමාන්තරව මෙබඳු සටහනක් ටොරොන්ටෝහි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයේ තබා තිබු ශෝක සටහන් පොතේ ලියන ලදී.

..................Prime Minister Margaret Thatcher was a friend of Sri Lanka.... She stamped her impress on the political and economic spheres of her country bringing it back on the economic landscape of Europe.... She also stood steadfastly aginst terrorism both in her country and around the world....  We would like to extend our profound condolence.......

මෙබඳු සටහන් තවත් බොහෝ දෙනා ලියා තිබුණි. ඒ අතර අප නෙත ගැටුනේ හිටපු අගමැතිනියගේ මරණය එම රටේ විවිධ පුවත් පත් ඒවායේ මුල් පිටුවලින් වාර්තා කර තිබු විවිධ ස්වරූපයයි.

හුදී ජන පහන් සංවේගය උදෙසා එම මුල් පිටු වලට නැවත ප්‍රචාරයක් මෙසේ ලබා දෙමු.

Margaret Thatcher & The Rise & Fall of the Great British Pop Protest Song
ඩේලිමේල් පුවත්පත - බ්‍රිතාන්‍යය රැකගත් ස්ත්‍රියThe women who saved Britain

ඩේලි මිරර් පුවත් පත - ‍ජාතියක්  භේද භින්න කළ ස්ත්‍රිය- The women who divided a nation

ද ස්ටාර් පුවත් පත - අපට කිසිදා ඇයට සමාව දිය නොහැකිය- We can never forgive her

සොෂලිස්ට් වර්කර් පුවත් පත- ( සොහොන් ගලක් ප්‍රදර්ශනය කරමින් ) මෙහි නිදන්නේ පොහොසතුන්ගේ ආදරයට බඳුන් වුද දුප්පතුන්ගේ වයිරයට බඳුන්වුද මාගරට් තැචර්ය. සතුටුවෙයල්ලා!- REJOICE! loved by the rich, hated by the poor

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත  - මහා පරිවර්තිකාව- the great transformer

ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත  - බ්‍රිතාන්‍යය වෙනස් කළ ස්ත්‍රිය- The women who changed Britain

ඉහත දක්වා ඇත්තේ පුවත් පත් කිහිපයක මුල් පිටු පමණි.
පින්තූර සමග සියලු මුල් පිටු පහත සබැඳියෙන් බලනු මැනවි.

http://www.thestar.com/photos/2013/04/08/margaret_thatcher_newspaper_coverage.html

Monday, 8 April 2013

සහෝදරයා තවත් අඹ ගස් තිබෙනවා


ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදරවරුනි සහෝදරියනි,

දැනුම යනු ගණිතය පමණක් නොවේ. භෞතිකවිද්‍යාව... දේශපාලන විද්‍යාව... නීතිය...  ජාත්‍යන්තර සබඳතා..... පරිගණක තාක්ෂණය.... ව්‍යාපාර කළමනාකරණය..... ඉතිහාසය.... ධනාත්මක චින්තනය...... පශ්චාත් නූතනවාදය... න,ණ ,ල,ළ භේදය පමණක් නොවේ. තවත් දැනුම්ද තිබේ.
 
ඒ අඹ ගස් වල ගෙඩිත් හරිම රසය.

භගවාන් ශ්‍රී ක්‍රිෂ්ණ විසින් බාහු බලයෙන් යුත් අර්ජුනට මෙසේ කියන ලදී.

නිහතමානිත්වය දැනුමකි.
උඩඟු නොවීම දැනුමකි.
ඉවසීම දැනුමකි.
අව්‍යාජත්වය දැනුමකි.

නිර්ව්‍යාජ අධ්‍යාත්මික ගුරු සේවනය දැනුමකි.
පිරිසිදු බව දැනුමකි.
ස්ථිරත්වය දැනුමකි.
ආත්ම දමනය දැනුමකි.

ඉන්ද්‍රිය අරමුණු කෙරෙහි නොඇලීම දැනුමකි.
අහංකාර නොවීම දැනුමකි.
ජාතිය, මරණය, ජරාව සහ ව්‍යාධිය දුකක් ලෙස මෙනෙහි කිරීම දැනුමකි.
විරාගය දැනුමකි.

අඹු දරුවන් ගේ දොර දේපොළ ආදියෙහි නො ඇලීම දැනුමකි.
කැමති දෙය මෙන්ම අකමැති දෙයද සම සිතින් පිළිගැනීම දැනුමකි.
විවෙක ස්ථානයක වාසය කිරීම දැනුමකි.
ජන සමාජයෙහි නො ඇලීම දැනුමකි.

ආත්මාවබෝධයෙහි වටිනාකම පිළිගැනීම දැනුමකි.

මේ අඹ ගෙඩි වලිනුත් අඩුම තරමින් කිහිපයක් හෝ රස බැලීමෙන් අයහපතක් වන්නේ නැත.

Friday, 5 April 2013

මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් නොව බ්‍රහ්මයාගෙනි

මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් නොව බ්‍රහ්මයාගෙනි. වඳුරාගෙන් පැවතෙන්නේ යයි කියන කතාව පස්සේ හදාගත් කතාවකි. අපේ කතාවට අනුව මිනිසා පැවත එන්නේ බ්‍රහ්මයාගෙනි. මිනිසා පිටසක්වල ජීවියෙකි.පෘථිවිය මිනිසාගේ පාරම්පරික නිජ බිම (traditional homeland) නොවේ. මිනිසාගේ පූර්වයා හෙවත් බ්‍රහ්මයා මේ ලෝකයට මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී  ආවේ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයේ සිටය. ආදී මිනිසා වඳුරෙකු හෝ මාලුවෙකු නොව පින්වන්ත බ්‍රහ්මයෙකි. පොලවේ සිටි අනෙකුත් සතුනට වඩා මිනිසා වෙනස් වන්නේ උසස් වන්නේ මේ පින්වන්ත 'බ්‍රහ්ම ස්වභාවය' නිසාය. එතකොට ඒ පින්වන්ත බ්‍රහ්මයා පැවත එන්නේ කාගෙන්දැයි ඇසිය හැකිය. ඒ බ්‍රහ්මයා මිනිසාගෙන් පැවත එනවා යයි එතකොට කිව හැකිය. මේක ලොකු චක්‍රයක කතාවකි. අපි චක්‍රයේ මැදින් පටන්ගෙන කතාව කියාගෙන යමු.

පෘථිවියට පැමිණි ඒ පින්වන්ත බ්‍රහ්මයා හෙවත් ආදී මිනිසා සිටියේ ඉතා සතුටිනි. ඔහුගේ මුහුණ පෘථිවිය ආසන්නයේ බැබලි බැබලී දිලිසුන චන්දරයා මෙන් බැබලි බැබලී තිබිණි. ඔහු ආහාර ලෙස කෑවේ මේ රස පොලවය. ජීවත් වූයේ ඉතා සතුටිනි.

ආදී මිනිසා ඉතා සතුටින් ජීවත්වූයේය යන කතාව දේශපාලන විද්‍යාවේ "රාජ්‍යය න්‍යාය" නමැති අරාබි නිසොල්ලාසයට හෙවත් කතා සරිත් සාගරය නමැති කතන්දර මාලාවට   එකතු කළේ ජීන් ජැක් රූසෝ නමැති කතන්දර කරුවාය. ඔහුගේ හොඳම කතන්දර පොතේ නම ' සමාජ ගිවිසුමයි' යි. මේ කතන්දර පොත් ටික ඔහු ඉපදුන ජිනීවා නගරයේද ඔහු රස්සාව කළ පැරිස් නගරයේද හිටපු පාලකයන් සහ පූජකයන් විසින් තහනම් කළ නිසා රූසෝ ලන්ඩනයට ගොස් කතන්දර කියන්නට පටන් ගත්තේය.

රූසෝ කියන අප හිතවත් මේ කතන්දර කරුවා එන්ගලන්තයේ ලන්ඩනයට යනවිට ඒ රටේ මිනිසුන් ආදී මිනිසාගේ ස්වභාවය ගැන කියමින් හිටියේ වෙන කතාවකි. ඒ කතාව ඔවුන්ට කියාදුන්නේ තරමක පැරණි කතාකරුවකු වන තෝමස් හොබ්ස් නම් තැනැත්තාය. ඔහු ජීවත් වූයේ එංගලන්තයේ මිනිසුන් ඔවුන්ගේ රටේ රජ්ජුරුවන්ව බෙල්ල කපා මරා දමපු මහා භීෂණ කාලයකය. හොබ්ස්ගේ කතාවේ නම "ලෙවියාතන" යයි. ලෙවියාතනය ගොඩක් බය හිතෙන කතාවකි. ලෙවියාතන නමින් හැඳින්වෙන්නේ මුහුදේ සිටින ඉතා බියකරු මාලුවෙකුටය. සර්පයෙකුටය. යෝධ තල්මසෙකුටය. යක්ෂයෙකුටය. මකරෙකුටය. මේ ඕනෑම එකෙකුට එංගලන්තයේ කිව්වේ ලෙවියාතන් කියාය. මේ ලෙවියාතන් කියන මුහුදු සර්පයා හෙවත් යක්ෂයා ගැන යුදෙව් මිනිස්සු ඔවුන්ගේ බයිබලය කියන පොතේ ලියල තිබෙනවාය.

හොබ්ස් එයාගේ කතාවට ලෙවියාතන් කියන මාතෘකාව අරගෙන තිබෙන්නේ මේ බයිබලය කියන ආගමික පොතෙනි. ලෙවියාතන් කියන යෝධ තල්මසා ඉන්නේ ලෝකය වටකරගෙන දරන ගසාගෙනය. වල්ගය ඇවිත් කටේ වදිනවාය. එතකොට පොඩි මාළුවෙක් තමන්ගේ ආහාරය පිණිස තමන්ගේ කට ළඟටම ඇවිත් කියල හිතාගෙන මේ ලොකු මාළුවා තමන්ගේම වලිගය හපා ගන්නවාය.

මේ වගේ ලොකු ලෝකය වටේ දරන ගසාගෙන ඉන්න ලොකු මාළුන්ට ඉන්දියානු කතන්දර වල දාල තිබුනේ ලෙවියාතනයා කියන නම නොවේ. තිමියා, තිමින්ගලයා, තිමිලයා, තිමිලපින්ගලයා, ආනන්දයා වගේ නම් ටිකක්. ඒවා හරියට නිකම් බලයා කෙලවල්ලා, තිලාපියා වගේ දැන් ඉන්න මාළුන්ගේ නම් වගේමයි.
File:Destruction of Leviathan.png
ලෙවියාතන් දමනය: යුරෝපයේ සම්භාවය චිත්‍රයකි 

කොහොම හරි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු බ්‍රහ්මයන්ගෙන් හරි එහෙම නැතිනම් මේ ලෝකයේම පාරම්පරික නිජබිම වාසීන් වෙලා ඉන්න වඳුරන්ගෙන් හරි පැවත එන ආදී මිනිසා හිටියේ පුර හඳ වගේ මුහුණ සතුටින් බබුලුවාගෙන නොවෙයි කියලයි හොබ්ස් කිව්වේ. හොබ්ස්ට එහෙම කියන්න හේතුවක් තිබුනා. එයා දැක්කේ රජ්ජුරුවන්ගේ බෙල්ල කපල අතට දෙන මිනිස්සුනේ. හොබ්ස් මිනිස්සුන්ව මැන්නේ මිනිසා යනු පින්වන්ත බ්‍රහ්ම පුත්‍රයින් ලෙස නොව හරි හමන් නීතියක් රීතියක් රාජ්‍යයක් නැතිව තිබෙන කොට එක එකා කා ගන්නා බලු රංචුවක් ලෙසය. එම නිසා මේ බලු රංචුව පාලනය කරනා 'රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්ඩ' වගේ ආකල්පයක් තියෙන පොල්ල අතට යක්ෂයෙක් වගේ රාජ්‍යයක් හෙවත් ස්වාමියෙක් ආදී මිනිසාට වුවමනා වුනා කියලයි හොබ්ස් කතන්දර පොතේ කිව්වේ.
සමාජ ගිවිසුම  කියන කතන්දර පොත ලියපු රූසෝට මේ හොබ්ස් ගේ බලු පොර කතාව එච්චර ඇල්ලුවේ නැති වුනත් එයාගේ සමාජ ගිවිසුම කතාවේ හැටියට එච්චර සතුටින් හිටපු මිනිස්සුන්ටත් රාජ්‍යයක් ඕනි වෙලා ඔවුන් ඔවුන්ගේ නිදහස රාජ්‍යයට පවරා දුන්නා කියල තමයි රූසෝ කිව්වේ. මනුෂ්‍ය ස්වභාවය ගැන මේ කතන්දර දෙකෙන් කියවෙන්නේ කතා දෙකක් වුනත් මිනිස්සු එකතුවෙලා රාජ්‍යයක් හදා ගත්තයි කියන කතාව කතා දෙකටම පොදු කතාවක්.

මේ දෙන්නගෙම කතන්දරේ එතනින් නැවතුනේ නැහැ. රාජ්‍ය නිසා මිනිසාගේ තිබුන බලු පොරය පාලනය වෙලා මිනිසාට සාමය උදා වෙනවා කියලා තමයි හොබ්ස් කිව්වේ.
 රූසෝ කිව්වේ රාජ්‍යය නිසා මිනිසුන්ගේ නිදහස් සීමා වෙනවා කියලයි. හොබ්ස් එතකොට කියනවා "නිදහස අවශ්‍ය නම් රාජ්‍ය නැති සමාජෙට යන්න.... හැබැයි නිදහසත් සමග අර බලු පොරයේ රසත් විඳින්න පුළුවන්" කියල. රූසොත් අරින්නේ නැහැ. රූසෝ කියනවා "රාජ්‍යය හදා ගන්නට ගිහින් නිදහස නැතිවුනත් රාජ්‍යය ඇතුලෙම නැවත නිදහස හදාගන්න සමාජ ගිවිසුමක් අලුතින් ලියන්නට මිනිසාට පුළුවන්" කියල. මිනිසාට එහෙම පුළුවන් වෙන්නෙ මිනිසා සතු අර වඳුරු ලක්ෂණය නිසා නොව පින්වන්ත බ්‍රහ්ම ලක්ෂණය නිසයි.
රූසෝගේ මෙම දෙවෙනි සමාජ ගිවිසුම් උප කතාවට අපට 'නීතියේ පාලනය' හෙවත් මහා සම්මතය කියල නමක් දාන්න පුළුවන්.

දැන් මම මේ කතන්දර මාලාව කියාගෙන යන්නේ පෙරදිග කතාවයි අපරදිග කතාවයි එකට එකතු කරලා. පෙරදිග අපරදිග එකතුවෙන්න නැහැ කියල රඩ්යාඩ් කිප්ලින් කිව්වට මේ දෙක මොකක් හරි ලොකු කතන්දරයකින් එකතු කළේ නැත්නම් බ්‍රහ්මයින්ගෙන් පැවත එන අයටයි වඳුරන්ගෙයි පැවත එන අයටයි ඔක්කොටම වැනසෙන්න සිද්දවෙනවා කියන එක නම් කතන්දරයක් ම පමණක් නොවෙයි.


Thursday, 4 April 2013

හප්පා... ගැන්ගම් ස්ටයිල් වෙන්ඩද යන්නේ... ?

උතුරු කොරියාවත් දකුණු කොරියාවත් ඉතාමත් ගන සැරේට කටින් ගහගනිමින් සිටියි. මේ වාචික යුද්ධය වාචික යුද්ධයකින්ම අවසන් වනු දැකීම ලෝක සාමය අගයන කාගේත් පැතුමය. යම් හෙයකින් මෙය ආයුධ යුද්ධයක් බවට පත්වුව හොත් ඇතිවිය හැක්කේ එසේ මෙසේ යුද්ධයක් නොව න්‍යෂ්ටික යුද්ධයකි. එවැනි න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලී ගිය හොත් කොරියා දෙකේ පමණක් නොව අවශේෂ ලෝකයේ ජනතාවද දැවී අළු වී කරුකුට්ටන්වී මුළු ලෝකයම 'ගැන්ගම් ස්ටයිල්' වී යනු ඇත.

උතුරු කොරියාව අන්තිම තුට්ටු දෙකට දමමින් කතා කළ ඇතැම් ඇමෙරිකන් යුධ විශ්ලේෂකයන් පවා දැන් කියන්නේ ඔවුන් සතුව අඩුම තරමින් ඇමෙරිකාවට කෙසේ වෙතත් දකුණු කොරියාවටවත් පහර දීමට තරම් මිසයිල ආදිය ඇති බවය. උතුරු කොරියාව වහසිබස් දොඩන්නේ ඇමෙරිකාව කුඩු සල්ලන් කරන්න වුනත් තමන්ට හැකි බවය.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් චක් හැගල් මේ වහසි බස් වලට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ ඇමෙරිකාවට හුරු සුපුරුදු තර්ජනයේ භාෂාවෙනි ''අපව ප්‍රකෝප කරන්න එපා! අපි දැඩි පියවර ගන්නවා! යයි පෙරේදා ( අප්‍රේල් 02) පැවසු ඔහු අද (අප්‍රේල් 04) කියා සිටින්නේ ෆැසිපික් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු වල මිසයිල ආරක්ෂණ පද්ධතියක් පිහිටුවන බවය.

මේ වන විට ඇමෙරිකානු යුධ නැව් කොරියානු ෆැසිපික් කලාපයට යවමින් තිබෙන බව කියවෙයි. ඇමෙරිකාවේ සහ කැනඩාවේ පත්තරවල පිරි තිබෙන්නේ මේ යුධ තර්ජනය විශ්ලේෂණය කරන ලිපි වලින්ය. තීරු ලිපි රචකයන් බොහෝ දෙනෙක් කියන්නේ කොරියාවට ඇමෙරිකාව සමග යුද්ධ කිරීමේ ශක්තියක් නැති බවය. ඔවුන් පෙන්වන්නේ සහ හුවා දක්වන්නේ උතුරු කොරියාවේ දුප්පත් කමය. විදුලි බලය නැති කමය. චීනය මත යැපෙන ආර්ථිකය පරාධීනත්වයය. එම සියල්ල ඇත්තය. එහෙත් මිනී මැරීමේ ශක්තිය අතින් බටහිර මිනිසා මෙන්ම පෙරදිග මිනිසාද වාර්තා පිට වාර්තා තබා ඇති බව අප අමතක කළ යුතු නැත. ඇමෙරිකාවට ඉරාකයේ සිදු කළා මෙන් උතුරු කොරියාව ආක්‍රමණය කළ හැකිය. එහෙත් කොරියානු බින් ලාඩන් ලා බිහිවීම වැළක්විය නොහැකිය.

මීට හරියටම අවුරුදු 100 කට පෙර 1913 දී ලෝකය තිබුනේද අද තිබෙන්නා සේම සේම යුධ රස්නයක දැවෙමින්ය. යුද්ධ කළ හැකි කවුරුත් හිටියේ වහසි බස් දොඩමින්ය.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆර්ඩිනන්ඩ් කුමරා බොස්නියානු සර්බියන් පුද්ගලයකු අතින් සරාජීවෝ නගරයේදී ඝාතනය වීමේ තනි සිද්ධිය සමගම එතෙක් දොඩමින් සිටි වහසිබස් පළමුවන ලෝක යුද්ධය බවට පරිවර්තනය විය. දෙවන ලෝක යුද්ධය යනු එහිම දිගුවකි. යුද්ධයක හේතුව ඒ වෙනුවෙන් පත්තුවන පළමු වෙඩි උණ්ඩයට ඌණනය කිරීම සුසුසු නැත. එහෙත් පළමු උණ්ඩය පත්තු නොකිරීමද යුද්ධය වැළක්වීමේ එක පියවරකි.

 අප ඉපදුන විසිවන ශතවර්ෂය වනාහී එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ වැඩියෙන්ම මිනීමැරූ ශතවර්ෂයයි. එරික් හොබ්ස්බ්වන් නම් ඉතිහාසඥයා කියන්නේ එය මානව ඉතිහාසයේ කෙටිම ශතවර්ෂය බවය . අපට නම් කියන්න තිබෙන්නේ විසිවන ශතවර්ෂය යනු ''මිනීමරු ශතවර්ෂය'' කියාය. අපට අවශ්‍ය නම් අපගේ දූ දරුවන් ඉපදුන විසි එක් වන ශතවර්ෂයද ඊටත් වඩා මිනීමරු ශතවර්ෂයක් බවට පත් කළ හැකිය. අවශ්‍ය ආයුධ අප නිපදවා ඇත. තිබෙන්නේ කොයි කොනකින් හෝ පත්තු කිරීම පමණි.

එහෙත් අවි වලින් නැසෙන්නේ අවි ගත්තෝ පමණක් නොවේ. වැඩි පුරම නැසෙන්නේ අවි නොගත්තෝය.


Wednesday, 3 April 2013

කවුද ඒ සුදු ඇඳන් බන කියන මහත සාදු ?

මොන රෙද්දක්ද මේ?...ලිපියෙන් අප කතා කරමින් සිටියේ සිංහලයාගේ රෙද්ද ගැනය. අතීතයේදී රෙදිපිළි හිග භාන්ඩයක් වීම, ඒ හිගකම නිසාම රෙද්ද අප සංස්කෘතියේ පොදු තෑගී භාණ්ඩයක් වීම සහ විකාශනයක් ඔස්සේ බිහි වූ ජාතික ඇඳුමක් නොතිබීම යන කරුණු ඔස්සේ එම ලිපිය අවසන් වූයේ 'දේශපාලකයන් සුදු අඳින්නේ ඇයිද? යන ප්‍රශ්නයෙනි.එසේත් නැතිනම් දේශපාලකයාගේ රෙද්දෙනි. එසේනම් මෙන්න ඒ ගැනත් ලිපියක්.

මොන සුදු රෙද්දක්ද මේ?
කෙටි කවි ලියන ජනක මහබෙල්ලන ගේ කවියකින් පටන් ගනිමු. ඔහු 'දේශපාලකතුමා' යන මැයින් කවියක් මට මතක හැටියට ඔහුගේ 'දෙසැම්බර් කාලකන්නියා' හෝ 'කම්මුල් පහර'  නම් පොතෙහි පළ කර තිබුණි. ඒ මෙපරිදිය;

දේශපාලකතුමා
කවුද ඒ
සුදු ඇඳන්
බන කියන
මහත සාදු?

කවිය කියවනවිට අප සිතෙහි මැවෙන්නේ සුදු ඇඳුමක් ඇඳගත් තරබාරු දේශපාලකයෙකි. ජනක කියන පරිදි දේශපාලකයා යනු සුදු ඇඳන් බන කියන සාදු කෙනෙක් හෙවත් හාමුදුරුකෙනෙකි. බන කීම දේශපාලකයන්ගේ කාරියක් නොවේ. එය හාමුදුරුවන්ගේ කාරියකි.එහෙනම් දේශපාලකයන් බන කියන්නේ හාමුදුරුවරුන් දේශපාලනය කරනා නිසා විය හැකිය. දේශපාලනය කරන හාමුදුරුවරුන් නම් කියන්නේ උන්වහන්සේ දේශපාලනය කරන්නේ ''දේශපාලකයන් හරියට දේශපාලනය නොකරන නිසා'' බවය. බන කියන දේශපාලකයාටත් ඒ අනුව ''අපි බන කියන්නේ හාමුදුරුවරුන් බන නොකියා දේශපාලනය කරන නිසා'' යනුවෙන් කිව හැකිය. අපි අද කතා කරන්නේ කහ ඇඳන් දේශපාලනය කරන හාමුදුරුවරුන් ගැන නොව සුදු ඇඳන් බන කියන සහ නොකියන සියලුම දේශපාලකයන්ගේ මෙකී සුදු ඇඳුම ගැනය.

දේශපාලකයන් ගැන සමාජයේ පොදුවේ තිබෙන්නේ යහපත් මතයක් නොවේ. එය අප රටේ පමණක් ලෝකයේ ඕනෑම රටක දක්නට ඇති තත්වයකි. හේතුව දේශපාලකයා සහ දූෂණය එකට බොහෝවිට එකට යා වී ඇති බැවිනි. බොහෝ දේශපාලකයන් දූෂිතයන් වී තිබෙන බව සත්‍යයක් නමුදු සියලුම දේශපාලකයන් දූෂිතයන් නොවීමද එපමණටම සත්‍යයකි. එහෙත් එම කරුණ ගැන සමාජයේ එතරම් තැකීමක් නැති බැවින් සාමාන්‍ය ජනතාව සියලුම දේශපාලකයන්ට සළකන්නේ 'එකවල්ලේ පොල්' ලෙසටය.

 දේශපාලකයන් සුදු අඳින්නේ තම දූෂිත අපිරිසිදු ජීවිතය සුදු රෙදි කඩතුරාවකින් වසා ගෙන පිරිසිදු චරිතයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රැවටීමට යයි පොදු මතයක් තිබේ. ඒ අනුව සුදු අඳින දේශපාලකයන් දූෂිතය. මෙහිදීද කිව හැක්කේ සුදු අඳින දේශපාලකයන් අතර දූෂිත අය මෙන්ම අදූෂිත අයද සිටින බවය. සුදු ඇඳුමට මේ තිබෙන නිග්රහත්මක පිලි ගැනීම නිසා හෝ වෙනත් හේතු නිසා හෝ සමහර දේශපාලකයන් සුදු අඳින්නේ නැත. සුදු නොඅඳින සියලුම දේශපාලකයන් අදූෂිත බව ඉන් අදහස් කෙරෙන්නේ නැත. සමහර විට සුදු අඳින දේශපාලකයා හොරෙක් වන විට ටයි කෝට් අඳින දේශපාලකයා කම්බ හොරෙක් වීමට ඉඩ ඇත.දූෂිත බව ඇඳුමේ ප්‍රශ්නයක් නොවේ. දූෂිත බව ඇඳුමින් වසා දැමිය හැකිද නොවේ.
දූෂිත දේශපාලකයන් බිහිවන්නේ දූෂිත චන්දදායකයන් නිසාය.

එසේනම් ප්‍රථම කොටම කළ යුත්තේ දූෂිත චන්දදායකයා වෙනුවට අදූෂිත චන්දදායකයකු නිර්මාණය කිරීමය. අදූෂිත චන්දදායකයා නිර්මාණය කරගැනීමත් මූලික වශයෙන් දේශපාලන කටයුත්තකි. එය දූෂිත  දේශපාලකයන්ට කළ නොහැකි කටයුත්තකි. තරමක් විහිළුවක් ලෙස පෙනුනනද මෙයද මහා බරපතල දේශ දේශපාලනික, ..... දාර්ශනික,..... ආගමික,.... සංස්කෘතික, ...... ,  ..... , ........ , ගැටලුවකි.

වටේ කොටනවා වැඩි නිසා නැවතත් සුදු රෙද්දේ කතාවට හැරෙමු.
 'ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවිතය සහ මරණය'(The Life and Death of Democracy, John Keane, 2009)නමින් විවාදයට තුඩුදුන් පොතක් ලියු ජෝන් කේන් නම්  ලේඛකයා කියන්නේ දේශපාලකයන් සුදු අඳින හේතුව ඔවුන්ට අන් අයගෙන් කැපී පෙනෙන්නට අවශ්‍යවූ නිසා බවය. කැන්ඩිඩේට් (candidate) හෙවත් චන්ද අපේක්ෂකයා යන ලතින් භාෂාවට අයත් (candidatus)  වචනයේ ඉතිහාසය සෙවූ ඔහු කියන්නේ එම වචනයේ මුල් අර්ථය "සුදු ඇඳුම් අඳින්නා" යන්න බවය.පෙර තිබුනේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. ශාලාවකට ඒකරාශී වූ පුරවැසි පිරිස එම ශාලාවේම නියෝජිතත්වය අපේක්ෂා කරමින් සිටි අයගෙන් තමන් කැමති අය තෝරා ගත්හ. මේ තෝරා ගැනීමට බඳුන්වන තැනැත්තන් තෝරන්නන්ගේ අවධානයට පහසුවෙන් ලක්වීම පිණිස සුදුපාට ඇඳුමකින් සැරසී සිටි බවත් එම නිසා ඔවුන්ට 'කැන්ඩිඩෙට්' (සුදු ඇඳුම් අඳින්නා) යනුවෙන් අන්වර්ථ නාමයක් එකතු වූ බවත් පසුව එය චන්ද අපේක්ෂකයා හැඳින්වීමට යොදාගත් බවත් ඔහු කියයි. සුදු ඇඳුමේ බටහිර දේශපාලන ඉතිහාසය එපරිදිය.

කෙසේ වුවද බටහිර මිනිසුන් පෙරදිග අප තරම් සුදු අඳින්නේ නැත. ඔවුන් වැඩිපුරම අඳින්නේ කලුය. කලුපාට හිරු රැස් උරා ගනී.උණුසුම වැඩිකරයි. ශීත රටවලට ගැලපෙයි. පෙරදිගට ගැලපෙන්නේ හිරුරැස් උරා නොගන්නා පාටකි. සුදු එවැනි පාටකි. පෙරදිග සුදුපාට වැඩියෙන් භාවිත කිරීමේ පාරිසරික හේතුව එය විය හැකිය. අනෙක පෙරදිග අප වැනි රටවල මිනිසුන්ගේ හමේ වර්ණය කලුය. දුඹුරුය.අපේ හමට වැඩියෙන් ගැලපෙන්නේ තද පාට ඇඳුම් නොව ලා පාට ඇඳුම්ය. කෙසේ වුවද මිනිසුන්ගේ වර්ණ තේරීම පාරිසරික සාධක මත පමනක් පදනම් නොවේ. මේ වන විට භූගෝලීය කලාප භේදයකින් තොරව පැතිරී යන්නේ කලිසමය. කමිසයය. උත්සව අවස්ථාවලදී අපේ සම්ප්‍රදායික ඇඳුම් ඇන්දත් ජපනුන්, චීනුන් ඉන්දියානුවන්. ශ්‍රී ලාංකිකයන් වන අප වැඩි දෙනෙක් එම උත්සව ඉවර වී නිවසට පැමිණි වහාම සරම් බැනියම් සාරි  ගලවා දමමින් කලිසමට කොට කලිසමට බසිමු.

"ඇඳුමින් මිනිසුන් මනින්න එපාය" කියා කීවද සාමාන්‍ය ජීවිතයේදී එය කෙරෙන්නේ නැත. අඳින ඇඳුමින් පුද්ගලයා මැනීම හැමවිටම කෙරෙන්නකි. එම නිසා තැනට සුසුදු පරිදි ඇඳීම සුදුසුය. දේශපාලකයන් වැඩිපුරම මිනිසුන් සමග ගැවසෙන නිසා කොහොමත් පිළිවෙලකට ඇඳිය යුතුය. නමුත් දේශපාලකයාගේ පිළිවෙල තිබිය යුත්තේ අඳින ඇඳුමේ පමනක් නොවේ වැඩවලද පිළිවෙලක් තිබිය යුතුය.පරතිපත්ති ගරුක විය යුත්තේ ඇඳුමට පමණක් නොවේ. දේශපාලන භාවිතාවද ප්‍රතිපත්තිගරුක විය යුතුය. ප්‍රතිපත්ති විරහිත දේශපාලනය මහත්මා ගාන්ධි සැලකුවේ මහා දේශපාලන පාපකර්ම සතකින් එකක් ලෙසය.

 මහත්මා ගාන්ධිද මුලින් යුරෝපීය ඇඳුම් ඇඳ පසුව සුදු ඇඳුම් ඇඳුම් අඳින්නට පටන් ගත්තේය. උඩට ඇන්දේ නැත. රෙද්දක් පෙරෙව්වා පමණි. එම නිසා වින්ට්සන්ට් චර්චිල් ඇතුළු සමහර  සුද්දන්ට ගාන්ධිව පෙනුනේ 'අඩ නිරුවත් හිඟන්නකු'  ලෙසය.  (half naked fakir) එහෙත් එම අඩනිරුවත් හිඟන්නාට  අවසානයේදී දේශපාලන වශයෙන් යටත් වන්නට ඉංග්‍රීසි අධිරාජ්‍යයට සිදුවිය. ගාන්ධි ඉන්දියාවේ 'ජාතියේ පියා' විය. ගාන්ධි ජාතියේ පියා වුවද එම ජාතියේ දරුවන් කිසිවෙක් ජාතියේ පියා වගේ අඳින්නට සූදානම් වූයේ නැත. ඉන්දියානුවන් වැඩිපුරම කැමති වූයේ ගාන්ධි මෙන් අඳින්නට නොව නේරු මෙන් අඳින්නටය. ඇත්තෙන්ම නිදසින් පසුව බිහිවූයේද ගාන්ධිගේ ඉන්දියාවක් නොව නේරුගේ ඉන්දියාවක්ය. පනික්කාර් නමැති ඉතිහාසඥයා එය යස අගේට විස්තර කර තිබේ. සමහර අංශ වලින් ගාන්ධිටත් වඩා මානවවාදී ප්‍රගතිශීලී නායකයෙක් ඉන්දියාවේ සිටියේය. ඒ බිම්බ්රාවෝ අම්බෙඩ්කාර්ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියන්නට ඔහු දායකත්වය දුන්නේය. අම්බෙඩ්කාර් ඇන්දේ සුදු ඇඳුමක් නොව යුරෝපීය කළු කෝට්ය. තවත් ශ්‍රේෂ්ට දෙමළ නායකයෙක් දකුණු ඉන්දියාවේ සිටියේය. ඒ සුබ්‍රමනිය භාරතීය. ඔහු ඇන්දේ සුදු වේට්ටියක් සහ කළු කෝට් එකකි (කපු මහත්තය ඇඳුමකි ).

ලංකාවේ දේශපාලකයන් සුදු  සරම් බැනියම්, වෙට්ටි, සුදු කමිස කලිසම්, ටයි කෝට් සියල්ල ඒ ඒ අයට කැමති ආකාරයට අඳිති. එහෙත් අපගේ සුදු ජාතික ඇඳුමට එතරම් ඉතිහාසයක් නැති බව ප්‍රකට කරුණකි. එහි යට කොටසට ඇත්තේ දකුණු ඉන්දියානු උරුමයකි. උඩ කොටසට ඇත්තේ උතුරු ඉන්දියානු සහ ඉස්ලාම් උරුමයකි. මේ ඇඳුම ජනප්‍රිය වූයේ ජාතික පුනර්ජිවන ව්‍යාපාරය සමයේදීය.ධර්මපාලතුමා, ශ්‍රී ආරුමුග නාවලර් තුමා ආදීන්ගේ බලපෑම නිසා මේ ඇඳුම සිංහල දෙමළ පිරිස අතර ජනප්‍රිය විය. පසුව හෙළ හවුලද මෙය ජනප්‍රිය කළේය. 1956 න් පසු වඩාත් ජනප්‍රිය විය. දේශපාලන ප්‍රභූන් මුලදී මේ ඇඳුම ඇන්දේ නැත. දේශපාලන ප්‍රභූන් වැඩිදෙනෙක් මෙය අඳින්නට පටන් ගත්තේ ඔවුන් 'ඩොනමෝර් බෞද්ධයන්' සහ 'ඩොනමෝර් සිංහලයන්' වූ පසුය.

මමද චන්දය ඉල්ලන දේශපාලකයකු වී සුදු කලිසමක් සහ කමිසයක් අන්දෙමි. ඒ අන් අයගෙන් වෙන් වී කැපී පෙනෙන්නටය!. දිනක් අවන්හලකදී මේ ඇඳුමද ඇඳ මිතුරකු සමග ආහාර ගනිමින් සිටියදී කොළඹ නමගිය පාතාල මැරයෙක් එම ස්ථානයට පැමිණ වෙනත් මේසයක ආහාර ගන්නට පටන් ගත්තේය. එම පාතාල "මැරතුමාද" ඇඳ සිටියේ මා ඇඳ සිටි වර්ගයේම සුදු කලිසමක් සහ කමිසයකි. ඔහුගේ හැඩ රුවද තරමක් මට සමාන විය. එය දුටු මා මිතුරා කිව්වේ "උඹෙයි අර මැරයගෙයි දැන්නම් කිසිම වෙනසක් නැහැ" යනුවෙනි.

චුල්ල පන්ථක නම් පොඩි හාමුදුරුවෝ තම අතේ තිබු සුදු රෙදි කැබැල්ල ඉක්මනින්ම කිලුටුවී යනු දැක ඒ සිතුවිලි ඔස්සේ භාවනා කර නිර්වාණ මාර්ගයට පිළිපන් වූ බවට කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තිබේ.


 
 




Monday, 1 April 2013

අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක්

සතර දිගන්තයේ මේ ලියන සටහන් නිර්නාමික ඇතුළු සියලු ප්‍රතිචාරවලට විවෘතය. (මහජන අවකාශයකට නුසුදුසු  ප්‍රතිචාර පමණක් මම ඉවත් කරමි). බ්ලොග් ලියන විට මල් මෙන්ම ගල්ද බලාපොරොත්තු වන්න යයි මාතලන් මහතා ලියා ඒවා තිබිණි. එම නිසා ප්‍රතිචාර ගැන වෙනම ලිවීම තේරුමක් නැතිවුවද මේ ලිපි පෙළ ගැන අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක් කළ  යුතුව තිබේ.

මං පොර ජාතකය ?

මේ බ්ලොග් සටහන් ලියන්නේ පොරක් වීමටය, මං පොර ජාතකය දේශනා කිරීමටය වැනි අදහසක් කෙනෙක් වෙන තැනක කියා තිබෙනු දුටුවෙමි. මේ චෝදනාව බ්ලොග් පොත් පත්, ලිපි ලේඛන ලියන ඕනෑම කෙනෙකුට එල්ල කළ හැකි එකකි. කෙසේ වුවත් ඉතා සීමිත පාඨක පිරිසක් සිටින බ්ලොග් අවකාශයේ පොරක් වී මට නම් කරන්නට දෙයක් නැත.

තවත් අයෙක් කියන්නේ මේවා චන්ද බලාගෙන ලියන සටහන් බවය. මම මැතිවරණ දේශපාලනයේ නියැලුණු කෙනෙක්මි. එහෙත් මගේ චන්දදායකයන් වැඩි දෙනෙක් මේ ලිපි කියවන අය  නොවේ. ඔවුන් මගේ ලිපි කියෙව්වා නම් සමහර විට දුන්න චන්දයවත් නොලැබී යන්නට ඉඩ තිබිණි.

තව සමහරෙකුට ප්‍රශ්නය වී ඇත්තේ මගේ දේශපාලනය සහ රැකියාවය. එය මගේ තෝරාගැනීමය. අනෙක් අයටත් එසේ තෝරා ගැනීම ඇති බව පමණක් මතක් කිරීම ප්‍රමාණවත්ය.

 මා ලියන්නේ මගේ නමින් පෙනී සිටිමිනි. ආරූඪ නම් වලින් ලියන අය  කෙරෙහි මගේ විරුද්ධත්වයක් නැති අතර එය වැදගත් මාධ්‍ය සම්ප්‍රදායක් ලෙස එයට ගරු කරමි. නමුත් මගේ සම්ප්‍රදාය කෙලින්ම මගේ නමින් ලිවීමය. තමන්ගේ නමින් ලියන්නෙකුට බ්ලොග් අවකාශයේ ඇත්තේ අවාසිදායක කොන්දේසිය. විශේෂයෙන් මා වැනි චරිතයකට ඇති අවාසිය වැඩිය. මම ලංකාවේ රට කරවන ආණ්ඩු පක්ෂයට සම්බන්ධය. එහි නිලධාරී තන්ත්‍රයට  සම්බන්ධය. දැන් ඉතින් ආණ්ඩුවට එරෙහි  බ්ලොග් අවකාශයේ සිටින සියලු දෙනාටම ආණ්ඩුවට බැට  දෙන්නට ඕනා වූ විට මාව අල්ලා ගත හැකිය. එහෙත් මේ බ්ලොගයේ අරමුණ එවැනි දේශපාලන ගෝරි මඩුවක්  නිර්මාණය කිරීම නොවේ. මම හැම විටම මගේ දේශපාලන ස්ථාවරත්වය ප්‍රකාශ කරමින් ලියන අතර මා ගැන මටම ඇති විවේචනයද සටහන් කරමි.

තවත් සමහරු කියන්නේ මගේ ලිපි වල ඇත්තේ නම් ගම්  දමා  ගැසීම (Name Droping)  බවය. එයද සම්බන්ධ  වන්නේ අර පොර කතාවටමය.සමහර ලිපි සිදුවීම් ගැන ලියද්දී සමහර නම් ගම්  ගැන ලියන්නට සිදුවේ. එහෙත් පුළුවන් තරමින් නම් ගම් ඈඳා ගැනීම අඩු කරමින් ලිවීමට මම මහන්සි ගනිමි.

අත්තුක්කන්ශනය  පරවම්භනය

මේ ලිපි ලියන්නේ මා විසින් මාවම පුම්බගෙන (අත්තුක්කන්ශනය )  අන් අය හෙළා  දැකීමට (පරවම්භනය)  නොවේ. එබඳු බ්ලොග් අඩවි ඕනා තරම් තිබෙන බැවින් තවත් එකක් අවශ්‍ය නැත. මගේ ලිපි වල කිසියම්  උපහාසයක් ඇත්නම් ඒවා මම මා  කෙරෙහිම  එල්ල කරගත් ඒවාය.   සයිමන්ගේ 'යසලාලක තිස්ස' මෙන් මම වැඩියෙන්ම කැමති මටම හිනාවීමටය. සමහර විට බෙල්ල කැපෙන්නට පුළුවන. එහෙයින් මේ ලිපි පෙළෙහි කිසිවෙකුටත් එරෙහි මඩ අවලාද නැත. ඒවා ප්‍රචාරය කිරීමට ප්‍රතිචාර අවකාශය ලබාදීමටද නොහැකිය. මගේ දේශපාලන සතුරෙකුට වුවද අවලාද නැගීමට මෙම අඩවියට  ඉඩ නොදෙමි.

සමහර අය  මේ ලිපි ඒ ඒ අයගේ වෙබ් අඩවි වල උපුටා දක්වා ඇත.  එසේ කිරීමට ඔවුන්ට ඔවුන්ගේම අරමුණු ඇත. සමහර අය  මගේ දේශපාලන අදහස් වලට විරුද්ධ අයයි. කෙසේ වුවද මොන තේරුමින් පළ  කළත් මගේ බ්ලොග් අඩවියටත් එමගින් ප්‍රචාරය දී තිබෙන නිසා එම වෙබ් අඩවි වලට මම ස්තුති කරමි.

රාජ්‍යවාදියා

උදිත සහ අරුණි ශපීරෝ ඉතා වැදගත් ප්‍රතිචාර දෙකක් ඒවා තිබිණි. ඒ මම රාජ්‍යවාදියෙකි යනුවෙන් කළ  සඳහන ගැනය. මා රාජයවාදියෙකු වන්නේ රාජ්‍යයක් අනවශ්‍යය යයි කියන අරාජිකවාදයට එරෙහිව මිස ජන ජීවිතයේ සියලුම අංග රාජ්‍යයක් විසින් පාලනය කළ   යුතු යයි කියන අදහසින් නොවේ. හැම දෙයකටම රාජ්‍යය මැදිහත්වන සමාජයක් ජීවත්වීම තරම් කාලකන්නි කමක් තවත් නැත. මා රජ්‍යවාදියෙකු වන්නේ ඒ අරුතින් නොවේ.  රාජ්‍යයකට සම්බන්ධ නොවී සාමාජික මිනිසාට  තම මනුෂ්‍යත්වය උපරිම වශයෙන් පූර්ණ කරගත හැකි නොවේ. මා ඇරිස්ටෝටල්ගේ ගෝලයකු යයි කාව්යෝක්තියකින් කීවේ එබැවිනි. අරුණි ශපීරෝ කියා ඇත්තේ මා  ප්ලටෝගේ ගෝලයකු බවය. නූතන රාජ්‍යයේ ආගමික පදනම ගැන මෙහි ලියවෙන ලිපි පෙළෙහි එක අරමුණක් වන්නේද ප්ලේටෝනියානු ආදර්ශ  ඔස්සේ සමාජය මෙහෙය වීමට යාමේ විනාශ කාරීත්වය ගැන යමක් කීමටය. එහෙයින් මට ප්ලේටෝගේ ගෝලයකු වීමට වුවමනා නැතිය. කෙසේ වුවද මේ ප්‍රතිචාර මෙසේ ලැබුනේ අවශ්ය වන පූර්ව පැහැදිලිකිරීම් නොකළ නිසා බව මගේ හැගීමය.

ජාතිකවාදියා

එසේම මම ජාතිකවාදියෙකි යැයි පැවසුවෙමි. ජාතිවාදයද ජාතිකවාදයෙහි එක්  ස්වරූපයක් නිසා ඇතැම් අයට  මාව ජාතිවාදියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය. මම පෙනී සිටින්නේ පුරවැසි ජාතිකවාදයක් වෙනුවෙනි. එවැනි ජාතිකවාදයක් ඇත්තටම  තිබේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ  හැකිය. අපි ඉදිරියේදී ඒ ගැන සංවාද කරමු.

Google+ Followers