Tuesday 4 November 2014

මගේ බූරුවා සහ ඔබේ බූරුවා

නො ලියා සිටියා නො වේ. ලියූ බොහෝ දේ පළ නො කළා පමණි. ලියන දේ එළියට දෙන්නට නලියන සිත අකමැත්තෙන් වුව පාලනය කරන්නට සිදු වී තිබෙන්නේ තව ම ඒවා එළියට දැමීමට සුදුසු කාලය පැමිණ නැති බැවිනි.

කෙසේ වෙතත් ඇයි නො ලියන්නේ? යනුවෙන් සතර දිගන්තයට එකතු වූ පාඨකයන් කෙනෙක් දෙන්නෙක් ඉදහිට අසති. එබදු එක් මොහොතක දී මට දැනුනේ අර සගවා සිටින දේවල් එළියට දමන තුරු මේ බ්ලොගය නො ලියා නො සිටිය යුතු බව ය.

"මොනවා හරි ලියපං" ලිවීම පුරුද්දක් කරගත් තවත්  මිතුරෙක් මට නිතර ම කිය යි.
එසේ කියන එක් මොහොතක මතක් වුනේ හපිස් (Hafiz) ගේ කවියකි.
හපීස් යනු  දොළොස් වන ශත වර්ෂයේ පර්සියාවේ සිටි කවියෙකි. සම්සුදීන් මොහොමඩ් යන නමින් ද හු හැදින්විණි. හපීස්ගේ කවි ඕමාර් ඛයියාම්ගේ රුබය්යාට් කවිවලට බෙහෙවින් ළග ය.

හපිස්ගේ කවි පොතක් මට තෑගි දුන්නේ හැම දිනක ම බ්ලොග් පිටුවක් ලියා එවන ලිවීම ජිවිතය කරගෙන සිටින මා මිතුරකු වන මාලින්ද සෙනෙවිරත්න ය. ඔහු එය තෑගි දෙන විට මෙවැනි සටහනක් ද පොතේ මුල පිටුවක ලියුවේ ය.

අරුමැති රහස් ඇති
මේ පොත
නුඹ හදවතට
තුරුලු කර ගනු

Hold this book
to your heart
for it contains
wonderful secrets

දැන් හපීස් ගේ කවියට එමු. කවියා මෙසේ අසයි.

නුඔ හද පොපියනු කැමතිව
කල් බලමින් සිටිනා
නෙක් වණින් දිදුලන සියොතුන් හා සතුන්
මා තුළ නලියද්දී
ඇයි  අයදින්නේ?
මා තුළ වෙසෙන බූරුවාට පමණක්
අමතන ලෙස
ඔබ තුළ වෙසෙන බූරුවාට

Why
Just ask donkey in me
To speak to the donkey in you
When I have so many other beautiful animals
And brilliant colored birds inside
That are all longing to say something wonderful
and exciting your heart

Thursday 10 July 2014

කුකුළන් කෙටවීම හෙවත් කාලකන්නි කම සාමූහිකව බෙදා හදා ගැනීම

අප රටේ රූපවාහිනී නාලිකා වල රාත්‍රියට කෙරෙන දේශපාලන සංවාද විවාද වනාහී වත්මන් ප්‍රවණ්ඩ දේශපාලන සංස්කෘතියේම අත්‍යවශ්‍ය අංගයක් මිස පුරවැසියාගේ දේශපාලන විඤ්ඤාණය පොහොසත් කරමින් දියුණු විවාරශීලී පුරවැසියකු බිහිකිරීමට උදව් වෙන ඒවා නොවේ.

ජන මාධ්‍ය ජීවත් වන්නේ බඩ වියත සරි කර ගන්නේ ගැටුම් සමථකරණය කිරිමෙන් නොව ගැටුම් ප්‍රවර්ධනය කිරීමෙනි. ගැටුම් වැඩියෙන් පෙන්වන මාධ්‍යයයේ රේටින්ස් වැඩි වේ. එවිට එයට වැඩියෙන් දැන්වීම් ලැබී ආදායම තරවේ. ජන මාධ්‍යයට සමාජයේ තිබෙන ගැටුම රසකාරක දමා වාර්තා කළ හැකිය. ඊට අමතරව ජන මාධ්‍ය ආයතනයටද තමන්ගේම නිර්මාණ ලෙස ගැටුම් ඇති කළ හැකිය. නාලිකා වල කෙරෙන දේශපාලන සංවාද වනාහී ජන මාධ්‍ය විසින්ම ප්‍රවණ්ඩත්වය වගා දිගා කිරීම සදහා තනා ගත් මෙවලමකි. මේවා නිර්මාණය කරන්නන්, මෙහෙය වන්නන්, මේවාට සහභාගී වන්නන්, සහ රෑ නිදිවරමින් මේවා බලා සිටින්නන් අවසාන වශයෙන් බෙදා හදා ගන්නේ සාමුහික කාලකන්නිකමක් මිස දැණුමක් හෝ ප්‍රඥාවක් නොවේ.

මේ විවාද දෙස ජනයා බලා සිටින්නේ කුකුළන් කෙටවීම ගොන් පොර වැනි මිලේච්ඡ විනෝදය මිනිසාට ලබා දුන් සමහර පැරණි සුදු ක්‍රීඩා නරඹන මානසිකත්වයකිනි. මේවායේ ගැටුම සිදුවන්නේ වාචික ප්‍රවණ්ඩත්වය උපරිම ලෙස මතු කිරීමෙනි. වාචික සංවරය ශීලයක් ලෙස පිළිපැදිය යුතු යැයි වසර දහස් ගණනක තිස්සේ ආගමික උපදෙස් අසමින් සිටින සුභාෂිතය මංගල කාරණයක් සේ අදහන රටක මහජන සංවාද අවකාශය වාචික ප්‍රවණ්ඩත්වයෙන් දූෂණය වී තිබෙන ආකාරය තේරුම් ගන්නේ කෙසේද?

මේ ඊනියා සංවාද වැඩ සටහන් වලට සහභාගි වන දේශපාලකයන් හා වෙනත් මතධාරින් හොදින් දන්නා කරුණක් වන්නේ මේවායේදී කිසිදු වැදගත් යමක් කීම අත්‍යවශය නොවන බවය. අවශ්‍ය වන්නේ මේවා ඇතුළේ දිගටම මොන මොනවා හෝ කියමින් එක දිගටම පෙනී සිටීමය. කියන පණිවුඩය වැදගත් නැතත් මාධ්‍යයයේ එක දිමට පෙනී සිටිය හොත් ඕනෑම හරසුන් මිනිසෙකුට දේශපාලන සුපර්ස්ටාර් කෙනෙක් විය හැකිය. මේ සුපිරි තාරකා ඉල්ලා සිටින යුගයක් මිස සැබෑ මිනිසුන් ඉල්ලා සිටින යුගයක් නොවේ.

වචන වලට හිමිව තිබූ සම්මත අර්ථ පවා මේ වාවික ප්‍රවණ්ඩත්වය හමුවේ බිද වැටෙමින් තිබේ.

මබ තුමා තක්කඩියෙක්!

ඹබ තුමා පහත් මිනිහෙක්!

වැනි වචන අපට ඇසේ. ඔබ තුමා යන වචනය සැදී ඇත්තේ ඔබ+ උතුමා යන වචන දෙක සන්ධි වීමෙනි. පුද්ගලයකුට එකම මොහොතක උතුමෙකු සහ පහත් මිනිසෙකු හෝ තක්කඩියෙකු විය හැකිද යන්න මේ වචන දොඩවන අයට වැදගත් නැත. අවශ්‍ය වන්නේ මොනවා හෝ කිම පමණි. ප්‍රතිවාදියාට “ ඇට්ටි හැලෙන්න“ පහර දීම පමණි

වාචික ප්‍රචණ්ඩත්වය දැන් කායික ප්‍රවණ්ඩත්වය දක්වාම දිග හැරෙන බව දයාසිරි - හරින් සංවාදයේදී අපි දුටුවෙමු. මුලින්ම පහර දුන්නේ හෝ සපා කෑවේ දයාසිරිද හරින්ද යන්න එතරම් වැදගත් නැත. සංවාද මේසයේදීද ඔවුන් කළේ වචනවලින් හපා කා ගැනීමකි. චවනවලින් පහර දීමකි. මේ පහර දීම කෙළවැගිරෙන මුවින් දෙනෙත් හයා ගෙන කිසිදු හිරිකිතයකින් ලැජ්ජාවකින් තොරව බලා සිටි අපි අතින් පයින් පහර දීමේ සහ සපා කෑමේ ‘වැරැද්ද‘ ගැන පමණක් දැන් කතා කරමු. ඇත්ත වශයෙන්ම අප තේරුම් ගත යුත්තේ සාමුහික කාලකන්නි කමක් අප බෙදා හදා ගනිමින් සිටින බවය.

අස්මිමානයට හෙවත් ඊගෝවට මුල් තැන දෙන හොස්ස ළගින් මැස්ස යන්න බැරි අන්‍යොන්‍ය ගරුත්වය දියකරගත් සමාජයක් අප හැමදෙනා විසින්ම ඉමහත් වැර වෑයමින් ගොඩ නගමින් සිටින බව නොපෙනේද?

මේ ප්‍රචණ්ඩ සංවාද වලින් රටට ලබා දිය හැකි අලුත් පණිවිඩයක් නැත. රට වෙනස් කරන පණිවිඩයක් මෙවැනි සංවාද වලින් දිය හැකි වන්නේද නැත. ලෝකයේ ශිෂ්ට මිනිසුන් දැන් ගොන් පොර කුකුළන් කෙටවීම ආදී සූදු කෙළි නරඹන්නේ නැත. සංවිධානය කරන්නේද නැත. මවුහු ඒවා සත්ව හිංසාවේ ලක්ෂණ ලෙස බැහැර කරති.

දේශපාලනය යනු කීණ බලු රෑනක් මස්වැදැල්ලක් අරභයා කරන පොර කෑමක් නොව මිනිසාට තම සමාජික ජීවිතයේ අර්ථය සාදා දීමේ සාමුහික ක්‍රියාවක්ය යන පණිවුඩය ගෙන යා හැකි නව සංවාද භාෂාවක් නව දේශපාලන ව්‍යාකරණයක් අප රටට වුවමනා කර තිබේ.


























Thursday 26 June 2014

භක්තිය සහ යුක්තිය

බටහිර රටවල් කිසිදු ආගමක් බිහි කර නැත. බුද්ධාගම, හින්දු ආගම, යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, සික් ආගම ආදී ලෝකයේ අද දක්නට ඇති හැම ප්‍රධාන ආගමක්ම බිහි වී ඇත්තේ පෙරදිගය.

පෙරදිග රටවල් කිසිදු දේශපාලන දාර්ශනික මතවාදයක් නිර්මාණය කර නැත. ප්‍රජාතන්ත්‍රවාදය (?), ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, පැසිස්ට්වාදය, ජාතිකවාදය යනාදී මේ හැම දේශපාලන මතවාදයක්ම  බිහි වී ඇත්තේ බටහිර රටවලය.

බටහිර රටවල් ආගම පෙරදිගින් ණයට ගෙන ඇත. පෙරදිග රටවල් දේශපාලන දර්ශනය බටහිරින් ණයට ගෙන ඇත.

පෙරදිගින් ණයට ගත් ආගම වෙනුවෙන් කුරුස යුද්ධ ඇති කරගත් බටහිර රටවල් දැන් ආගමික යුද්ධ වලට පැටලෙන්නේ නැත. එසේම තමන්ම හදාගත් ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය සහ පැසිස්ට්වාදය වෙනුවෙන්ද පසුගිය සියවසේ ඇති තරම් මිනිසුන් මරා ගත් බටහිර රටවල් දේශපාලන මතවාද වෙනුවෙන් යුද්ධ කිරීමද අත හැර දමා ඇත.

එහෙත් පෙරදිග රටවල් තමන් හදා ගත් ආගම වෙනුවෙන්ද තමන් ණයට ගත් දේශපාලන මතවාද වෙනුවෙන්ද තවමත් මිනී මරා ගනිමින් සිටිති.

පෙරදිගට දැන් අවශ්‍ය වන්නේ මේ ආගමික යුධගින්න නිවාලිය හැකි ආගමකි. දේශපාලනයකි. මේ දේශපාලන යුධ ගින්න නිවාදැමිය හැකි දේශපාලනයකි. ආගමකි.


භක්තිය සහ යුක්තිය වෙනුවෙන් අලුත් අදහසක් පෙරදිගට අවශය වී තිබේ.

Sunday 22 June 2014

මාස දෙකක ශේෂ පත්‍රය

අපි පසුගිය මාස දෙක ඇතුළත

සිල් ගත්තා.... 
භාවනා කළා.....
පන්සල් ගියා..... 
දන්සල් දුන්නා...
වෙසක් පොසොන් කළාප හැදුවා...

ගහගත්තා.......
මරා ගත්තා................
විනාශකර ගත්තා......................
නැති කර ගත්තා...!

Friday 6 June 2014

වහින්නට හැකිනම් ගිගුම් දී...... සියවස් ගනනකට පෙර ගුජරාටයෙන් මතු වූ කවියක්

‍බෝධි චර්යාවතාරය! 
කෙතරම් දැවැන්ත සාහිත්‍ය කෘතියක්ද? 
එය ලියන ලද්දේ ක්‍රි.ව. 691-743 කාලයේ ඉන්දියාවේ ගුජරාටයේ විසු ආචාර්ය ශාන්තිදේව පාදයන් විසින්. 
සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්.
 මුලු මහත් බෞද්ධ දර්ශනයේ හරය බොදූ ජීවන මිහිර මෙතරම් ප්‍රබලව කැටි කර දැක් වූ තවත් සාහිත්‍ය කෘතියක් තිබේද?
අමාවතුර ලියපු ගුරැළුගෝමිට සුභාෂිතය ලියපු අලගියවන්න මුකවෙටිට ට පමණක් නොව නුතන සිංහල ගීත රචකයාටත් බෝධිවර්යාවතාරය මග හැර යන්නට හැකි වී නැත. 

මොරටුවෙි සාසනරතන හිමි මෙහි පද්‍ය පෙළ මීට අවුරුදු පනහකට පමණ පෙර ගද්‍ය පෙළක් ලෙස සිංහලට පරිවර්තනය කළහ.
එහි එක් ගීයක් හා එහි පරිවර්තනය මෙපරිදිය.

ක්ෂුත්පිපාසා ව්‍යථාං හන්‍යා - මන්නපාන ප්‍රවර්ෂණෛ
දුර්භික්ෂාන්තර කල්පෙෂූ- භවෙයං පාන භෝජනම්
  
 ආහාරපාන වර්ෂා කිරීමෙන් සා පිපාසා නසන්නෙමි
දුර්භික්ෂාන්තර කල්පයන්හි පැන් හා බොජුන් වන්නෙමි

දැන් නන්දා මාලිනී 'පවනෙහි' ගැයූ එකම විරෝධාකල්ප නොවූ ගීය

 වහින්නට හැකිනම් ගිගුම් දී        වියලි ගම් බිම් වලට ඉහලීන්
ඉදෙන්නට හැකි නම් බතක් වී    බතක් නොඉදෙන පැලක රහසින් 

 මතකද?

එම  ගීය සමග ඉහත දැක් වූ බෝධිචර්යාවතාර ගීය සසදා බලන්න. 
එකම අදහස නොවේද? 
මෙවැනි මහරු අදහස් අඩංගු ගී සිය ගණනක් බෝධිචර්යාවතාරයේ තිබේ. 
කවියනි, මේ මහගු සාහිත්‍ය ආකාරය තවමත් සිදී ගොස් නැත.

තමන් තුළ බුදුන් සොයා බෝසත් යානයක සැරිසරනා මිට වසර විස්සකට පමණ පෙර අඩිපාරකදී මට හමූවූණ දැන් රටේ බොහෝ ප්‍රසිද්ධ එක් හිමිනමක් මේ මහරු සරු කෘතිය මේ දිනවල පද්‍ය පෙළක් වශයෙන්ම සිංහල කවියට නැගීමට කටයුතු කරමින් සිටිති. 

දැන්ම නම් ගම් පවසනවාට එතුමන් අකමැතිය.

එම අත් පිටපත කියවාගෙන යද්දීය  නන්දාමාලිනීගේ ගීතය මතක් වූයේ.
එම ගීය මෙතැනින්

http://www.youtube.com/watch?v=Qn4vsNbeYeE 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       

Thursday 5 June 2014

මදර් ඉන්ඩියා.. බ්‍රදර් අමෙරිකා... අදර් චයිනා..!

මදර් ඉන්ඩියා යන  වවන දෙක කියවෙන විට අපගේ මතකයට එන්නේ එනමින් බිහි වුන සිනමා කෘතියයි. මල්හාර් රාගය ගැන සතර දිගන්තයේ ලියවුන ලිපියේ මේ විත්‍රපටය ගැන මීට පෙරද සහන් කරන්නට යෙදිණි. මෙහූබ් ඛාන් අධ්‍යක්ෂණය කළ මේ විත්‍රපටයේ සුප්‍රකට නිළි නාගීස් ප්‍රධාන වරිතය රග පෑ අතර මෙය ලොව පුරා ජනප්‍රිය වු සම්මානනීය සිනමා කෘතියක් වීය. 1950-1960 දශකවල ඉන්දියානු සමාජය පිළිබද ලෝක මහජන මතය හැඩ ගස්වන්නට මේ සිනමා කෘතිය බෙහෙවින් දායක වූ බව පුසිද්ධ කරුණකි.

නමුත් 20 වන ශත වර්ෂයේ මුල භාගයේ ඉන්දියාව පිළිබද අමෙරිකාව ප්‍රමූඛ බටහිර සමාජ වල පොදු දැක්ම නිර්මාණය කිරීමට මේ සිනමා කෘතියටත් වඩා බලපෑමි කළ කෘතියක් තිබීණි. එය සිනමා කෘතියක් නොව දේශපාලන විවාර කෘතියකි. එහි නම වූයේ ද මදර් ඉන්ඩියා මය. කැතරින් මායෝ නමැති අමෙරිකානු ලේඛිකාව එහි කතුවරියයි. ඉන්දියාවට නිදහස ලැබීමට වසර විස්සකට පමණ පෙර පළවූ මෙම කෘතියටත් එහි කතුවරියටත් ලැබුනේ සම්මාන නොව අවමානයී. ඇය ඉන්දියානුවන්ගේ පිළිකුලට ලක්වූ වරිතයක් වූවාය. මහත්මා ගාන්ධි මේ පොත හැින්වුයේ කුණු කාණු බලන්නියකගේ වාර්තාව (drain inspector’s report) යනුවෙනි.
කැතරින් මායෝ සුදු වර්ගවාදී කාන්තාවක වුවාය. ක්‍රිස්තියානි ජීවන ප්‍රතිපදාව පමණක් උත්කර්ශයට නැංවූ ඇයට අනුව බටහිර ක්‍රිස්තියානි ජීවන ප්‍රතිපදාවට සහ සංස්කෘතියට අයත් නොවූ සියල්ල අශිෂ්ට අසංස්කෘතික ඒවා විය. ඉන්දියාව යනු කුලවාදයේ, ස්ත්‍රී හිංසනයේ, අපිරිසිදු කමේ, අතාර්කිකත්වයේ, මිථ්‍යා විශ්වාසයේ, මෝඩ කමේ, කාලකන්නිකමේ සහ පාපයේ දේශයක් බව ඉතා සරල එහෙත් ප්‍රබල භාෂාවකින්  මදර් ඉන්ඩියා කෘතියෙහි ලා ඇය කියා සිටියාය. ඉන්දියාවේ කිසිම හොදක් ඇය දුවුවේ නැත. ඒ අනුව ඉන්දියාවට නිදහස දෙනවාට ඇය තදින් විරුද්ධ වූවාය. ඉන්දියානු නිදහස් අරගලයට ඇය සමච්චල් කළාය.
ඇය කෘතිය පටන් ගන්නේ කල්කටාවේ කාලි කෝවිලක බිළි පූජාවක් සදහා ඵළුවකු මරා දමනා ආකාරය විස්තර කරමින් කියවන්නා තුළ ඉන්දියාව කෙරෙහි ජුකුප්සාවක් ඇති කරමිනි. කැතරින් මායෝ ඉන්දියාව ගැන කියූ බොහෝ දෑ අසත්‍යය නොවේ.  එහෙත් ඇයගේ එම ලියවිල්ල  ඉදිරිපත් වූයේ ආසියාතික මිලේච්ඡයාට වඩා බටහිර මිනිසා උසස් බවත් ඒ මිලේච්ඡයා පාලනය කර ශිෂ්ට සම්පන්න කිරීම බටහිර ජනයාගේ වගකීමක්ය යන මතයේ පිහිටමිනි. මෙවැනි දෘෂ්ටිවාද එකල බටහිර සමාජයේ සෑම තැනම පැතිරී තිබිනි. නාසිවාදයද එවැන්නකි.
කිසිම සංස්කාතියක් පිරිසිදු හෝ ශුද්ධවන්ත නැත. අවුරුදු දහස් ගණනක් ඈතට දිවයන තම දේශයේ ජනයාගේ සංස්කෘතියේ දුබලතා මෙන්ම ප්‍රබලතා ගැන ජනතාව අතර සංවාදයක් ගෙන යමින් ඉන්දියානු නිදහස් අරගලය පණ ගන්වමින් සිටි ඉන්දියාවේ එවක සිටි ගාන්ධි, නේරු, තාගෝර් වැනි ජන නායකයෝ තම රට දෙස විචාරාත්මකව බලමින්ම ඉන්දියාව ගැන විදේශිකයන් අතින් කෙරුණ මෙවැනි අතිශය පාර්ශ්වීය අසම්පූර්ණ සහ දුප්පත් විග්‍රහයන්ට එරෙහි වූහ.

එහෙත් කාලයක් යනතෙක් බටහිර මිනිසා විශේෂයෙන් අමෙරිකානුවන් ඉන්දියාව දෙස බැලුවේ කැතරින් මායෝ වැනි අය වසින් ඉදිරිපත් කර අමෙරිකානු ජන මනසේ තහවුරු කරනු ලැබූ මතවාද සහ තොරතූරු ඔස්සේය.

  කැතරින් මායෝගේ මදර් ඉන්ඩියා පොතද මෙහුබ් ඛාන්ගේ මදර් ඉන්දියා විත්‍රපටයද ඉතිහාසයට එක් වී බොහෝ කල්ය.ඉන්දියානු අමෙරිකානු සබදතා කාලයේ ගලා යාමත් සමග බෙහෙවින් වෙනස් වී තිබේ. වර්තමානයේ ඉන්දියාව යනු අමෙරිකාවේ හොදම ආසියාතික මිතුරාය. කාලි දෙවගන අදහන  නරේන්ද්‍ර මෝඩිට පැනවූ වීසා තහනම ගැන දැන් අමෙරිකාව කතා කරන්නේ නැත. මෝඩි ඡන්දයෙන් දිනු වහාම ප්‍රථමයෙන්ම සුබ පැතුවේ බැරැක් ඔබාමාය. ලබන සැප්තැම්බරයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන  එක්සත් ජාතින්ගේ සංවිධානයේ  සමුළුවට සහභාගී විමට නියමිත ඉන්දීය අගමැති මෝඩි සමග බැරැක් ඔබාමා ද්විපාර්ශ්වික රාජ්‍ය නායක සාකව්ඡාවක්ද පවත්වන බව මේ වන විටද නිවේදනය වී අවසන්ය.
නරසිංහ රාවෝගේ ඉන්දියාව මෙන්ම මෝඩිගේ ඉන්දියාවද අමෙරිකන් හිතවාදී ඉන්දියාවක් වීම වැළැක්විය නොහැකිය. ලංකා ඉන්දියානු සබදතා මෙන්ම ලංකා අමෙරිකානු සබදතා ගැන කටයුතු කරද්දී මේ කරුණ අමතක කළ යුතු නැත. අමෙරිකාව ලංකාව දෙස බලන්නනේ ඉන්දියානු ප්‍රිස්මයක් තුළින්ය යන තරමක් පැරණි න්‍යාය තවත් වටයකින් අලුත් වෙමින් තිබේ. අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර දැන් පවතින රාජ්‍යතාන්ත්‍රික ආතතිය අමෙරිකානු හිතවත් ඉන්දියාවක් අසල තිබෙන චීන හිතවත් ලංකාවක් නිසා සිදුවන්නක් යැයි වැරදි ගණන් බැලීමක් ඇතැමුන්  තුළ ඇත.  ආසියාතික කලාපයේ චීනය වට කරගෙන සිටින අමෙරිකාවට අවශ්‍ය වු විට අවශය ලෙස හසුරුවා ගත හැකි රාජ්‍යයන් කිහිපයක්ම තිබේ. ජපානය ඉන්දුනීසියාව මලයාසියාව පිලිපීනය ඒවායින් සමහරකි.


චීනය දෙවැනි තැනට දමමින් මෝඩි අමෙරිකානු සබදතා තර කරන අකාරය ගැන ලංකාව විමසිලිමත් විය යුතුය. චීනය අනෙකා හෙවත් The Other  කරගෙන අමෙරිකා ලංකාව පිළිබද තීන්දු ගනීවි යැයි සිතීම මේ මොහොතේ විය හැකි ක්‍රියාවක් නොවේ.  අමෙරිකාව විසින් වීසා තහනමක් පනවා රාජ්‍ය තන්ත්‍රික පිළිගැනීමක් නැතිව අන්තවාදී නායකයකු ලෙස හංවඩු ගැසී මෝඩි හුදෙකලාව සිටි යුගයේ ඔහුට මිත්‍රත්වයේ හස්තය දිගු කළේ  චීනයයි.එසමයෙහි එක් වතාවක් නොව හතර වතාවක්ම මෝඩි චීනයේ සංචාරය කළේය. එහෙත් මෝඩි ඉන්දියානු නායකයා ලෙස දිවුරුම් දෙන විට චීනය කැපී පෙනෙන ලෙස සුබ පැතූ බවක් පෙනුනේ නැත. මෙයින් පෙනෙන්නේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පුද්ගලයන් මත රදා නොපවතින බවය. ඉන්දියාව ඉතා පැහැදිලිව අමෙරිකාවට ප්‍රමුඛතාව දී තිබේ. ශ්‍රී ලංකාව මේ ප්‍රවණතාව නිවැරදිව වටහා ගත යුතුව ඇත.