Tuesday, 7 June 2016

සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට

''සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට" ?

මේ සිනමා දෙබස් කණ්ඩය මට තවම මතකය. චිත්‍රපටය 'සිරිබෝ අය්යා'. තිරගතවු වසර 1980. අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න. චිත්‍රපටයේ එම දෙබස කියන්නේ අවුරුදු දහයක දොළහක තරම් වයසේ කොලු ගැටයෙකි. එකල මමද එම වයසේම පසු වු කොලු ගැටයෙකු වුවෙමි. මහාචාර්ය සුනිල් ආරියරත්න මෑතකදී 'පත්තිනි' නමින් චිත්‍රපටයක් කළේය. එය තවමත් සිනමා ශාලාවල තිරගත වන අතර මමද ඊයේ පෙරේදා දවසක එය නැරඹුවෙමි. එහි එකම දෙබස් කණ්ඩයක් වත් මට මතක නැත.

පත්තිනි චිත්‍රපටයේ කතා තේමාව පතිවත රකිනා 'කන්නගී' නම් ස්ත්‍රිය වටා ගෙතී ඇත. කන්නගී තම පතිවතේ බලයෙන් සිය සැමියාට හිරිහැර කරන පඩිපුර රජු ඇතුලු රට ගිනි තබා විනාශ කරයි. අනතුරුව බුදු දහම කෙරෙහි පැහැදී බුදුබව පතනා බෝසත් වරියක්ද දේවතාවියක්ද වන්නීය. මේ චිත්‍රපටය සුචරිතවාදී කෝදුවෙන් යහමින් මැණිය හැකි පිළිම වලට පවා පණ  එන ගනයේ එකකි.

සිරිබෝ අය්යා චිත්‍රපටයේ සුචරිතය අහළ ගං හතකවත් නැත. ගීතා කුමාරසිංහ එහි රගපාන්නේ පතිවත බිදනා ස්ත්‍රියකගේ චරිතයයි. සිරිබෝ අය්යා නමැති කරත්ත කරුවා ගැහැණුන් දෙදෙනෙකුට පෙම් කරන අතර ගල් වෙඩිල්ල පිපිරීමෙන් දෑස් අන්ධ වූ ඔහුට අවසානයේ පිළිසරණ වන්නේ 'පත්තිනි අම්මා' කෙනෙකු නොව 'රෙද්දේ තුත්තිරි' තවරාගත් පතිවත බිදගත් ස්ත්‍රියයි.

මේ චිත්‍රපට දෙකෙන් ජිවිතයට වඩා සමීප වන්නේද ජීවන සහකම්පනයක් මතු කරන්නේද සිරිබෝ අය්යා මිස පත්තිනි ය නොවේ.

පත්තිනි කතාව දකුණු ඉන්දීය  ජනස්‍රැතිගත දේවකතාවකි. එය පසුව සිංහල ජනස්‍රැතිගත දේවකතාවලියටද එක්විය.එය මිථ්‍යාහරණය කොට අප ජීවිතයට සමීප පුවතක් බවට ජිවිතය පුබුදුවනා සිනමා කෘතියක් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න සමත් වී නැත.

සිරිබෝ අය්යා කතා පුවත ප්‍රබන්ධයකි. අපේ රටේ ජන ජීවිතයේ හරස් කඩකි. එසමගම එය අපේ රටේ ජනස්‍රැතියේ ප්‍රමුඛාංගය වන සැප දුක රාගය අනුරාගය විරාගය ආදී සියලු හැගිම් කැටිකරනා ජන කවිය නමැති සලුවෙන් ඔතමින් පොදු ජනමනසට සමීප කළ සිනමා කෘතියකි.

චිත්‍රපටයේ නන්දා මාලිනී සහ අමරදේව ගැයූ එම ජන කවි මාලාව පසුබිම් කථකයකුගේ චරිතය ප‍‍ණපොවමින් සිතුවම් පටයේ කතාව ඉදිරියට ගෙන යයි.

https://www.youtube.com/watch?v=Dorh0ijFk2k

සිරිබෝ අය්යා මේ  දැනුත් අප ළග සිටින්නාසේය. පත්තිනිය ජීවිතයෙන් දුරස්තර අභව්‍ය දේව කතාවකි.

(මෙය සිනමා විචාරයක් නොවේ. රසික සටහනක් පමණි)



Google+ Followers