Sunday 26 March 2017

කෝටි හතරේ වාහනේ

කෝටි හතරේ වාහනේ
රජයේ සමහර ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට අලුතින් වාහන ගෙන්වීම ගැන කෙරෙන කතා බහට මගේ නම සම්බන්ධ වී  ඇත. "ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට කෝටි හතරක වාහනයක්! ආදී  වශයෙන් පුවත් පළ වී තිබුන අතර සුපුරුදු පරිදි ඒ  පුවත පසු පස යන සමාජ මාධ්‍ය කරුවන් අපට පස් පඩංගුවේ බැණ වැදී  තිබුන අයුරු දුටුවෙමි. මාද සමාජ මාධ්‍ය කරුවෙකු බැවින් මේ කෝටි හතරේ වාහන කතාවට පැහැදිලි කිරීමක් මගේම බ්ලොගයෙන් ඉදිරිපත් කිරීමට සිතුවෙමි. 

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල වාහනයක් ගෙන්වීම වෙනුවෙන් මිලියන  40ක හෙවත් ලක්ෂ 400ක  මුදලක් වෙන් කර එම වාහනය ගෙන්වීමට ලිපි ලේඛන ආරම්භ කෙරිණි. මා ලබා ගත්  තොරතුරු අනුව එම  වාහනයේ වටිනාකම ලක්ෂ 70කි. ඉතිරි ලක්ෂ 330ම  රජයෙන් රජයටම - රේගුවට- ගෙවිය යුතු බදු මුදලය. එම යෝජිත වාහනය තවමත්  අමාත්‍යංශයට ලැබී නැත. සැපයුම් කරුවන් කියන්නේ එය ලබා දිය හැක්කේ මෙම වසරේ ජූනි මාසයේදී බවය.

2015 වන තුරු ජනමාධ්‍ය අමාත්‍යංශයේ  සෑහෙන කාලයකට  නියෝජ්‍ය ඇමතිවරයකු සිටියේ නැත. ඒ අනුව මා පත්වීමෙන් පසුව  නියෝජය අමතිවරයකුට අදාළ වාහන සහ  අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සපයා ගත්තේ හුවමාරු පදනමිනි. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වීමට පෙර මා  සිටියේ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙසය. එහිදී මගේ නිල වාහනය වූයේ මීට පෙර එහි නියෝජ්‍ය ඇමතිවරුන්ව සිටි සනත් ජයසූරිය සහ ඉන්දික බණ්ඩාරනායක  යන මහත්වරුන් පාවිච්චි කළ වී 8 මොඩලයේ ජීප් රථයයි . ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලෙස පත් වූ කල නව වාහනයක් ලබා දෙනතුරු එකී වාහනයම පාවිච්චි කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දන්වා සිටින ලදී. ඒ අනුව ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මා මේ වනතුරුත්  භාවිතා කරන්නේ පළාත් පාලන අමාත්‍යාංශයෙන් හුවමාරු පදනම මත ගෙන ආ එම වාහනයමය. 

පසුගිය වසරේ ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ලෙස පත් ව ආ කල එම වාහන නැවත පළාත් පාලන අමාත්‍යංශයට ඉල්ලා සිටින ලදී. ඒ අතර ජනමාධ්‍ය අමාත්‍යංශයට අලුතින් වාහන ගෙන්වීමේ කටයුතු ඇරඹිණි. අමාත්‍යංශයේ නිලධාරියකු මට පැවසුවේ නියෝජ්‍ය අමාත්‍ය වරයා වෙනුවෙන් මිලියන් 40ක් පමණ වෙන්වී ඇති බවය. මාගේ ප්‍රතිචාරය වූයේ එතරම් මුදලක් වෙන් වී ඇති නම් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වාහන හිගයක්ද පවතින බැවින් වාහන කිහිපයක්ම ගෙන්වන ලෙසය. නිලධාරියා මට පැවසුවේ චක්‍ර ලේඛන අනුව ගෙන්විය හැක්කේ එක වාහනයක් පමණක් බවත් මුදල විශාල වී ඇත්තේ වෙන දා  කරන ක්‍රමයට වෙනස්ව මෙවර බදු මුදලද එකතුකර ප්‍රතිපාදන ලබාදී තිබෙන නිසා බවය. ඒ අනුව මාගේ ප්‍රතිචාරය වූයේ  එසේනම් දැනට මා පාවිච්චි කරන පළාත් පාලන අමාත්‍යාංශයෙන් ගෙන තිබෙන වාහනය වැනිම වාහනයක් ඇනවුම් කරන ලෙසය. ඒ අනුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වරයා වෙනුවෙන් වී 8 රථයක් ඇනවුම් කර තිබේ. එය ලැබුන කල  මා කළ  යුත්තේ දැන් පාවිච්චි කරන වාහනය අදාළ අංශයට ලබා දී අලුත් වාහනය පාවිච්චියට ගැනීමය. 

 මේ නව වාහනය ගෙන්වන්නේ ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට මිස පුද්ගලිකව මට නොවේ. එය අමාත්‍යංශයේ දේපළකි. මගෙන් පසුව එන නියෝජ්‍ය ඇමැතිවරුන්ටද මා  කළා මෙන්ම මෙම වාහනය තමන්ගේ  නිල රථය ලෙස යොදා ගත හැකිය .
පැරණි ක්‍රමය යටතේ රජයට වාහන ආනයනය කිරීමේදී බදු මුදල් සදහන් කිරීමක් සිදු නොවිණි . දැන් ක්‍රමය යටතේ සදහන් කෙරෙයි. ලක්ශ 70 කෝටි හතර  වන්නේ  ඒ අනුවය. එය පොල්ගෙඩි අකුරින් පල කිරීම විනා පසුබ්ම් විස්තර ගැන සොයන්නට මේවා පල කරන අය යොමුවන්නේ නැත.

අපට අවලාද නගන්නවුන්ට කිව යුත්තේ අපට රථ  ගායක්  හෝ අලුත් වාහන මේනියාවක් නැති බවය. මේවා අපට පැවරුණු වගකීම් ඉටු කිරීමට ඉවහල් වන උපකරණ පමණි අපගේ ජීවන පරමාර්ථ  වනාහී පරිභෝජනවාදයකට විනාශ කළ හැකි  සීමාවෙන් එපිට තිබෙන ඒවා බව ඔවුන්ට මතක් කළ යුතුය.

22 comments:

  1. මාධ්‍යට වැදගත් වෙන්නේ අන්තර්ගතය නෙවේ ප්‍රවෘත්ති වටිනාකම සහා ඒ ප්‍රවෘත්තිය කොපමණ විකිණිය කරද යන්නයි .

    ReplyDelete
    Replies
    1. ඉතින් කරු කරල තියෙන්නෙත් ඒකමනේ මෙතන..ලක්ෂ 400 වෙනුවට මිලියන 400ක් පෙන්නන්නේ...?
      :)

      Delete
    2. ස්තුතියි ලක්ෂ 400ක් ලෙස නිවැරදි විය යතුය.

      Delete
  2. මිලියන 400 නෙවෙයි නේද? එය මිලියන 40ක් නැත්නම් ලක්ෂ 400ක් යනුවෙන් නිවරදිවිය යුතුයි නේද..?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිවැරදි කළා.

      Delete
  3. ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කර පළාත් වලට යන්න හොඳ වාහනයක් නොමැතිව බැහැයි නොකියා මේ වගේ පැහැදිලි කිරීමක් කිරීම ගැන සතුටුයි.මොකද පසුගිය කාලයේ සමහර මන්ත්‍රී,ඇමතිවරු මේ වාහන සම්බන්ධයෙන් දැක්වූ විසුළු සහගත ප්‍රකශ නිසා ජනතාව විදියට අපේ හිත්වල තිබ්බේ වේදනාවක්.ඔබේ පැහදිලි කිරීම හොඳයි.මේ කරුන ගැන

    ReplyDelete
  4. ප්‍රථම වතාවටයි ඇමතිතුමෙකුට අදහස් පල කරන්නෙ. ඔබේ වාහනයේ වටිනාකම ශ්‍රී ලංකාව තුල ලක්ෂ 400කි. බදු නැතුව ලක්ෂ 70යි කීම බදු ගෙවන ජනතාවට නිගරුවකි. රටේ ඔබ වැනි සුළු පිරිසක් හැර, අනිත් සියළු දෙනා බදු ගෙවති. ඒ නිසා වාහනයේ වටිනාකම ලංකාව තුළ ලක්ෂ 400කි. ඔබට රථ ගායක් නොමැතිවීමට පුළුවන, නමුත් රටේ බහුතරයක් ලොරි චැසිවල බොඩි ගැසූ ඉන්දියන් කසිකබල් බස්වල තැලී පොඩිවෙමින් එදිනෙදා ගමන් කරනවිට ඔබ වැනි අය ලක්ෂ 400 වාහනවල යාම කොතරම් සාධාරණද ? යුරෝපය, ඇමරිකාව ගැන කථා නොකරමි. ජපානය, කොරියාව, හොංකොං, සිංගප්පූරුව අදාලම නැත. අඩුම තරමින් මැලේසොයාව, පිලිපීනය හෝ තායිලන්තය තරම්වත් දියුණු පොදු ප්‍රවාහන ක්‍රමයක් ලංකාවට දීමට ඔබලා අසමත්ව තිබේ. අපට ඇති ප්‍රශ්නය, එහෙව් නොදියුණු රටක, ඔබ ලක්ෂ 400 වාහන පාවිච්චි කිරීමයි. ඉන්දියන් මරුටිවල යන්නවත්, අඩු වටිනාකමක් ඇති වාහනයක් පාවිච්චි නොකරන්නේ මන්ද යන්නවත් අපට ප්‍රශ්නයක් නොවේ. ඔබ ලක්ෂ 400 නොව කෝටි 400 වාහනයක් පාවිච්චි කළත් අපට කම් නැත, නමුත් ඔබලාගේ ඩියුටිය හරිට නොකිරීම අපට ප්‍රශ්නයකි.

    ReplyDelete
    Replies
    1. Robert;
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ගරු ඇමතිතුමෝ බැරිද අපටත් බදු නැතිව වාහන ලබාගන්න මම හිතන්නේ හොද වර්ගයේ ජපන් කාරයක් ලක්ෂ 8වැනි මුදලකට බදුවලින් තොරව ජනතාවට ලබාගන්න පුළුවන් නම් ඔගේ මැතිවරණ පොරොන්දුවත් ඉෂ්ට අරන්න පුළුවන්නේ, මිට අමතරව අපට රුපියල් 1000ට වඩා බදුමුදලක් මගේ දුරකථන බිලට ගෙවනවා බැරිද මේකත් නැතිකරලා දැම්මනම් මොකද පාඩුව වෙන්නේ රජයටම නේ, ඇයි ඔබලාගේ නිතිය මහජනයාට අදාළ නැත්තේ ?

      Delete
  5. Replies
    1. ඔබගේ ආයතනයට සහ ඇමැති තුමාට වෙන් කර එතී මුදලින් v8 වාහනයක්ම අත්ය වස්ය මද? වහනය v4 four wheel හරි V6 එකක් මදිද?

      Delete
  6. කාලයක් තිස්සේ උප ඇමතියෙකු සිටියේ නෑ කියන්නේ එවැනි තනතුරක් නොතිබුනත් ප්‍රශ්නයක් නැත කියන එක නේද?

    අනික ඇයි ලක්‍ෂ හැත්තෑවක කාර් එකක් වුනත්? ඇමති හෝ උප ඇමති හෝ මන්ත්‍රී හෝ දේශපාලනයට නොආවා නම් අද සාමාන්‍ය වෙළඳ පොලේ ගන්නේ කුමන වාහනය ද, දැනුත් ඒ ආකාරයේ වාහනයක යන්නට හැකියි නේ.

    මට මතකයි මා කුඩා කාලේ ඉගෙන ගත් පාසල අසලින් අපේ පලාතේ මන්ත්‍රී තමන් ගේ වාහනය පදවාගෙන යනවා.

    ඇමතිලාට, උප ඇමතිලාට, මන්ත්‍රීලාට හෝ වෙනත් දේශපාලනය කරන අයට අප කිව යුත්තේ, ඔබ සැම රටට ජනතාවට සේවය කිරීමට එනවා නම්, ඔබේ වාහනය ද රැගෙන එන්න, අනෙකුත් මිනිසුන් මෙන් පඩියෙන් පැට්‍රල් ගහගන්න, සර්විස් කරගන්න කියා ය!

    ReplyDelete
    Replies
    1. රසික ඉරිසියා වෙන්න එපා! එක නෙමෙයි ඇමති තුමෝ බැරිද ඉන්දියන් වාහනවල බදු ඔහොම තියෙද්දී යුරෝපයේ සහ ජපානයේ වාහන වල බදුමුදල් ඉවත් කරන්න එහෙම කලොත් මහජනයාට හොද තත්වයේ වාහන ලබාගන්න පුළුවන් නේ.

      Delete
  7. ඉහතින් රොබට් ලියා අැති සටහනට එකඟයි. රටක් ලෙස වැය කෙරෙන ශුද්ධ මුදල ලක්ෂ 70 ක් වුනත් (කරු, ලක්ෂ 70 කියන්නේ කැනඩා මුදලින් ඩොලර් 61000 ක් පමණ. මේ මුදලට මේ රටේ ඉතා සුඛෝපභෝගී වාහන දෙකක් විතර මිලදී ගන්නට පුළුවන්) ජනතාවට ඒ නිසා අහිමිවන මුදල ලක්ෂ 400 ක්.
    ගැටළුව අැත්තේ "රටේ බහුතරයක් ලොරි චැසිවල බොඩි ගැසූ ඉන්දියන් කසිකබල් බස්වල තැලී පොඩිවෙමින් එදිනෙදා ගමන් කරනවිට ඔබ වැනි අය ලක්ෂ 400 වාහනවල යාම කොතරම් සාධාරණද ?" කියන තැනයි.

    ReplyDelete
  8. ගරු නියොජ්‍ය අමාත්‍යතුමනි,

    මේ පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීම පිලිබඳ මුලින්ම ඔබට ස්තූති කරමි.

    කෙසේ නමුත් අප දන්නා පරිදි පසුගිය රාජපක්ෂ රෙජීමය පැවති සමයේ අතිවිශාල ලෙස වාහන රජයට ගෙන්වා තිබේ. තවමත් 2011-2015 දක්වා වර්ෂ වල නිශ්පාදිත වාහන රැසක් යාඩ් වල තිබෙනවා නේද? චෝගම් වලට ගෙනා සුඛෝපභෝගී බෙන්ස් රථ රාශියක්ද තිබුණි. රටේ මෙවැනි බරපතළ ආර්ථික අහේනියක් පවතින (ඇතැම් පුද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තිකයින් රැකියා අහිමිව අවුරුදු සමය ගතකිරීම ගැන සුසුමන් හෙලද්දී) සමයක ඇයි මේවා පිරිමහගෙන භාවිතා කරමින් රටට ආදර්ශයක් නොදෙන්නේ?

    ඔබවත් මේ ගැන කැබිනට් මණ්ඩලයට යම් යෝජනාවක් කරමින් කරුණාකර මෙම හිරිකිත නාස්තිකාර විගඩම් වැඩ නැවතීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි !

    (ලංකාවේ මේ දිනවල පවතින දැඩි ආර්ථික අහේනිය හේතුවෙන් රැකියාව අහිමි වී මසක් පමණ තිස්සේ රැකියා සොයමින් වෙහෙසෙන දිනෙක සියලු බදු මුදල් ගෙවා තමන්ගේම වාහනයක් මිලදී ගැනීමට සිහින දකින පොදු ප්‍රවාගන සේවා වල පොඩිවෙමින් සේවයට වාර්තා කළ පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූ වත්මන් යහපාලන රජයට ඡන්දය ලබාදුන් බදුපිට බදු ගෙවමින් අසීරුවෙන් රු. 100 ක ඩේටා කාඩ් එකක් දමාගෙන රැකියා සොයන අතර බ්ලොග්/ වෙබ් කියවන මධ්‍යම පාන්තික තරුණයෙක්.)

    ReplyDelete
  9. ඔබතුමාලාගේ රජය බලයට පත්කිරීමට වෙහෙසුන වෘත්තීයවෙදියෙක්මි. මා එසේ කලේ රටට වඩාත් වැඩදායී රජයක් පත්වනු දැකීමට මාගේ ඇති දැඩි කැමැත්ත නිසාය. ඔබ රජයේ පළමු අයවැය කතාවෙන් සියළු වාහන බල පත්‍ර අහොසිකිරීමක් යෝජනා කලාමතකය. ඉන්පසු මංත්‍රීවරුන්ට කිසිම වෙනසක් නොමැතිව කලිං තිබු පරිදි duty free car permit ලබා දෙන ලදී. එසේම රාජ්‍ය නිලධාරීන්ට වසර පහකට වරක් හිමිවු Duty concessionary permit එක අහෝසිකර එය වසර 10 ක්ට වරක් සහ උපරිම දෙවරක් යන කොන්දේසියකට යටත් කර බදු මුදලද මුළු බදු අගයෙන් 50% ක්( එනම් ඔබ අමාත්‍යංශයට දැන් ගෙන්වන වාහනයට අනුව ලක්‍ෂ 200 ක බද්දක්) දක්වා වුඩිකර ඇත. හැන්ද අතේ ඇති ඔබලා තමන්ටම බෙදාගෙන අප වැනි ඬෘත්තීඋ වේදීන්ට තිබු සහනය කප්පාදුකර ඇත. මේ ලියන මා permit දෙකක් දැනටමත් ලබාගෙන ඇති අතර කිසික දිනක මාගේ බලපත්‍රය විකුණා නැත. මාගේ පළමු බල පත්‍රය ලබාගත්තේ ප්‍රෙරේමදාස රජයෙනි. එයින් මා ආනයනය කළ වාහනය වසර 10ක් පාවිච්වි කළෙමි. දෙවන බල පත්‍රය මහිංද රාජපක්‍ෂ රජයෙන් ලැබුන එකකි . එයින් මා ගෙනා වාහනය දැන් වසර 6ක් පැරණිය. තව වසර පහකින් මා විශාම යන විට මට ඉතිරිවන්නේ අව්රුදු 11 ක! පැරණි වාහනයකි. මාහට විශාම වැටුපක්ද නැත. එහෙයින් මාහට එම පැරණි වාහනය නඩත්තඔ කල නොහැක. කලිං තිබුණ විදියට වසර පහකට වරක් permit ලැබුණා නම් ම දැන් වසරක් පරණ වාහනය් සතුවියහැකිව තිබුණි. එසේම විශා්‍රම ගැණිමටපෙර අළුත් වාහනය් ක් සඳහා permit එකක් ලැබීමට නියමිතව තිබුණි. ඔබලාගේ ජනාධිඳපතිතුමා රට හැර ගිය උගතුන්ට ආපසු එන්නට ආදරාධනා කරන ගමන් කට්ට කාගෙන ලංකාවේ සිටි අපිට සලක්නනේ මෙහෙමද ?

    ReplyDelete
    Replies
    1. Dear Hon. Minister. Do you think you have given reasonable answer to the quarry made by social media? As a educated and honest person (because personally I know you) please tell to the general public our economy can afford / bare this Cost? In this point I'm appreciating Dy Minister Hon Ranjan & Hon Palitha Thewarapperuma thanks you though I disagree with their some other works.

      Delete
  10. This explanation is hilarious. pretty much similar to Wimal Weerawansa's claim.
    There is no doubt that these luxury vehicles (in SL context) are unbearable. You are just consuming 33 millions of tax money. You blood sucking MPs have a new counter argument which is, "this is the system. this is how MPs are treated, so we are not responsible". We are done with the existing system. you were appointed to change that. instead you simply continue it.
    I agree to the fact that comparing the national economy this cost is negligible. but the problem is morality. next MP come in few years and will definitely claim a new V8 shamelessly. and for sure he will swagger the same way like you are doing it right now.

    ReplyDelete
  11. http://economatta.blogspot.com/2017/03/blog-post_27.html

    ReplyDelete
  12. Danushka Hewage12 April 2017 at 22:43

    කරු පරණවිතාන මැතිතුමනි,
    ඉහත පලකර ඇති කොමෙන්ටු වලට පිලිතුරු ලබාදීමට තරම්වත් කාරුනික වන්න.
    ස්තූතියි

    ReplyDelete