Monday 20 March 2017

ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ලාභියෙකු ලියන වග නම් ..............

පාසල් සහ විශ්ව විද්‍යාලවල පොදු පහසුකම් දියුණු කිරීම සඳහා රජය විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. එම මුදල් යොදවමින් මේ වන විට රටපුරාම පාසල්වල සහ විශ්ව විද්‍යාල වල දැවැන්ත මට්ටමින් පොදු පහසුකම් වලට අදාළ ඉදි කිරීම් සිදුවෙමින් තිබේ. පාසැල් වල පමණක්  මෙවැනි ව්‍යාපෘතීන් 17500ක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මෙවැනි  ව්‍යාපෘතීන් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන්නේ පේරාදෙණි  සරසවියේ නේවාසිකාගාර ව්‍යාපෘතියයි. අදියර තුනකින් යුක්තව සිසුන් 1200කට නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දැවැන්ත නේවාසිකාගාර පහසුකමක් පේරාදෙණි සරසවියට වෙන් කෙරිණි.

පේරාදෙණි  සරසවි බිමට යාබද මහකන්ද පෙදෙසේ එක් ඒකකයක කාමර 100ක් වන ලෙස නිවාස සංකීර්ණ තුනක් ඉදිකිරීම අදියර තුනක් අනුව සිදුවන අතර පළමු අදියර  වන විට අවසන් ඇත. එහි කාමර 100ක සිසුන් 400කට නවාතැන් ලබාදිය හැකි අතර 1940 දශකයේ දී  මෙම සරසවියේ ඉදිවුණු පැරණි නේවාසිකාගාර  වලටද වඩා නවීන පහසුකම් වලින්  යුක්ත වුවකි. දැන් තිබෙන්නේ මෙම දැවැන්ත සිසු නිවාසය සිසුන්ට ලබා දීමය. ඒ අනුව එහි පාලක සභාව ඒ වෙනුවෙන් කටයුතු කළ අතර එහි පවතින සම්ප්‍රදාය අනුව නේවාසිකාගාර නම්  කිරීමට තීරණය කර ඇත. එහි දැනට තිබෙන නේවාසිකාගාර  නම්  කර තිබෙන්නේ රටට විවිධ අන්දමින් මෙහෙවරක් කර තිබෙන ජාතික මට්ටමේ කීර්තියක් උසුලන ප්‍රකට පුද්ගලයන්ගේ  නමිනි. ජයතිලක ,විජේවර්ධන,රාමනාදන් ජේම්ස්  පීරිස් ආදී වශයෙනි. මෙම සම්ප්‍රදාය අනුව  යමින් සරසවි පාලක සභාව අලුතින්  ඉදිවුණු නෙවාසිකාගාරයටද  ඉදිකිරීමට නියමිත  ඉතිරි නේවාසිකාගාර දෙකටද  නම් යා්ජනා කර ඇත. ඉදිකළ නිවාසය ලලිත් ඇතුලත්මුදලි නමින්ද ඉතිරි දෙක පිළිවෙළින්  ඒ. රත්නායක  සහ ෂර්ලි අල්විස් නමින්ය. ලලිත් ඇතුලත්මුදලි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු මෙන්ම මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ නිර්මාතෘවරයාය. ඒ. රත්නායක නිදහස් අධ්‍යාපන පණත සම්මත කිරීමට පුරෝගාමී වූ දේශපාලන නායකයෙකි. ෂර්ලි  අල්විස් යනු පේරාදෙණි  සරසවියේ සමාරම්භක ගෘහ නිර්මාණ ශිල්පියාය. ඔහුගේ නමින් අල්විස් පොකුණ නමින් පොකුණක් සරසවි මාවතේ නිර්මාණය කර ඇත. පසුගිය දොළොස්වෙනිදා ලලිත් ඇතුලත්මුදලි නමින් නම් කරන ලද නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිත ව තිබුනද එය කළ  නොහැකි වූයේ ලලිත් ඇතුලත්මුදලි  නම සඳහන් නාම පුවරුව සිසුන් පිරිසක් කඩා බිඳ දමා මේ උත්සවය කඩා කප්පල් කර තිබීම හේතුවෙනි.

මේ නාෂකවාදී (vandalism) ක්‍රියාවේ වගකීම බැරවී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සිසුන්ටය. කෞශල්‍යා ප්‍රනාන්දුගේ නාට්යයක් පේරාදෙණි එළිමහන් රඟහලේදී රංග දැක්වීමේ සිදුවීමේදී ඇතිවුණු ගල් ගැසීමේ සිද්ධියට නම ඇඳුනේද  මේ  සිසුන්ගේමය. එහෙත් එහිදී  ශිෂ්‍ය සභාව  ඉදිරිපත් වී එම වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරමින් සිසුන් වෙත  එල්ල වූ අපවාදයෙන් නිදහස් වීමට කටයුතු කෙරිණි. එහෙත් ලලිත්ඇතුලත්මුදලි සිද්ධියේදී ශිෂ්‍ය සභාව  ප්‍රමුඛ පෙරටුගාමී  සම්බන්ධ සිසුන් නිහඩව සිටීමෙන් පෙනී යන්නේ මේ අකටයුත්ත ඔවුන් අනුමත කරනා බවද? ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මේ කඩාකප්පල් ක්‍රියාව සාධාරණය කරනා අකාරය බලන විට පෙනී යන්නේ ඔවුන්ගේ අනුමැතිය සහිතව සිදුවී ඇති ක්‍රියාවක් බවය. සමහර විට අපගේ නිගමනය වැරදි වන්නට පුළුවන. කෙසේ වෙතත් කවුරුන් කළත්  එම දුෂ්ට ක්‍රියාව සාධාරණීකරණය කිරීමට යොදා ගන්නා  තර්ක දෙස බලන කල සමාජයක් ලෙස අපගේ හෘද ශාක්ෂියේ කඩා වැටීම කෙතරම් දැයි වටහා ගත හැකිය .

එම  සමාජ මාධ්‍ය  සටහන්  මෙවැනි දේ සඳහන් වෙයි. ලලිත් ඇතුලත්මුදලි ධනේශ්වර පන්තියේ දේශපාලකයෙකි. මහපොළ ශිෂ්‍යත්වය ලෙස ගෙවන්නේ ඔහුගේ අම්මා අප්පාගෙන් ලබාගත් මුදල් නොව ජනතාවගේ මුදල්ය. ඔහු අසූව වැඩ වර්ජනයේදී කම්කරුවන් කනත්තට දක්වන්නට කතා කළේය.. ඔහු දෙමළ ජනයා ඝාතනය කළ  යුද්ධයට නායකත්වය දුන්නේය ආදී වශයෙනි. තවත් කුණු මඩ කතාද වයිරල් වෙමින් තිබේ.

මියගිය තම ඥාතියා සහ හිතවතාගේ නමින් මෙම නිවාසය නම් කරන්නැයි ඇතුලත්මුදලි   පවුලේ හෝ ගුණසමරු පදනමේ කිසිවෙක්  පේරාදෙණි සරසවි පාලක සභාවෙන්  ඉල්ලා නැත. එය පාලක සභාව ස්වාධීනව  ගත් යහපත් තීන්දුවකි. එයට පදනම වී තිබෙන්නේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් අරඹමින් ඔහු මෙරට අව වරප්‍රසාදිත පන්තියේ සිසුන් වෙනුවෙන් කළ  සේවය   ඇගයීමය . මේ බෝඩ්  ලෑල්ල  නොතිබුණා කියා ලලිත් ඇතුලත්මුදලි  කළ එම  මෙහෙවර ඉතිහාසයෙන් මකාදැමිය නොහැකිය. ලලිත්ගේ මහපොළ ශිෂ්‍යත්වය නොවන්නට ශිෂ්‍යාධාර ඉල්ලා හෝ ප්‍රමාණවත් නොවන බව පවසමින් තවත් ශිෂ්‍ය සටනක් මහා පාරේ ඉතිරිවන්නට ඉඩ තිබිණි.මේ ලියන මා ඇතුළු බොහෝ දෙනා මහපොළ ශිෂ්‍යත්වයේ උපකාරය ලබා උසස් අධ්‍යාපනය ලබා ගත්තවුන්ය.  ලලිත් ඇතුලත්මුදලි කළ  මෙම  සේවය ඇගයීමට ඔහුගේ දේශපාලන ජීවිතයේ අවශේෂ කරුණු බාධාවක් කරගත යුතු නොවේ.  ඩී බී ජයතිලක,  ජේම්ස්  පීරිස්, පොන්නම්බලම් රාමනාදන්, අරුනාචලම් ආදී පේරාදෙණි සිසු නිවාස ශාලා  ශාලා නම්කර තිබෙන අදාල  පුද්ගලයින් රටට කළ  සේවය ඇගයීමට ඔවුන් නිමග්න වූ දේශපාලනය හෝ ඔවුන්ගේ පන්ති පදනම බාධාවක් කරගත් යුතු නොවේ. ඇතුලත් මුදලි නමින් ශාලාවක් නම් කිරීම  පේරාදෙණියට ආලෝකයක්  මිස නිග්‍රහයක් නොවේ. එහෙත් මේ හෘද ශාක්ෂියේ හඬ  සිසුන්ට ඇහෙන්නේ නැත. ඔවුන් හුරු පුරුදු එක්තරා වාගමාලාවක් සහිත දේශපාලන භාෂාවක හඩක් පමණි    අපගේ මිතුරකු වන පිලිප් ශාන්ත එම හඩින් ඔවුන් අමතා ඇත.
ඔවුන් සවන් දෙන්නේදැයි බලමු 
"සමාජ සංවර්ධනයේ දී සියළු සමාජ පන්තීන්ට කාර්යභාරයක් පවතී. එම කාර්යභාරයේ පේටන්ට් අයිතිය නිර්ධන පන්තියට පමණක් හිමි වන්නේ නැත. ඉතිහාසය ගොඩනැගෙන්නේ අරගල වලින් බව ඇත්තක් වුවද ඒ අරගල නිර්ධන පන්තියේ අරගලයන්ට ලඝු නොවේ. ඒවා අතර ධනපති අරගල ද පවතී.

අධිරාජ්‍යවාදීන් ලංකාව අල්ලා ගත් පසුව රාජකාරී ක්‍රමය අහෝසි කිරීම ප්‍රගතිශීලී කාර්යයකි. එහෙත් ඒ පිටුපස ධනේශ්වර නොවන සමාජ කොටස් වල අරගලයක් නොතිබුණි. නිෂ්පාදන ක්‍රියාවලියේ දී එක් මොහොතක ආකෘතිය වෙනස් වූ අතර එය නියෝජනය කළේ ධනපති ක්‍රමයේ අවශ්‍යතාවයි. ඒ අනුව ධනේෂ්වර අවශ්‍යතා ද සමාජ සංවර්ධනයට බලපාන බව පැහැදිලි ය.
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියළු ලැබීම් ලැබුනේ ශිෂ්‍ය අරගල වලින්ම පමණක් යන්න සමාජ සංවර්ධනය පිළිබද බොළද කියවීමකි. ශිෂ්‍ය ව්‍යාපාරය අතිශය විශාල කාර්යභාරයක් කළ බව ඇත්තකි. ඒ සම්බන්ධ තුලනාත්මක විග්‍රහයක් ද තිබිය යුතුය. එහෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියල්ල සිදුවූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම මතින් යන්න අන්තිම බොළද කියවීමකි.
අනෙක ශිෂ්‍ය ව්‍යාපාරය යන්න නිර්ධන පන්ති ව්‍යාපාරයක් නොවේ. එය නිර්ධන පන්ති ව්‍යාපාරයට යම් මොහොතක මෙහෙයක් කළත් එලෙසින්ම ධනපති පන්ති ව්‍යාපාරයට ද යම් මෙහෙයක් කරයි. ඊට හේතුව වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය පදනම් වන්නේ සුළු ධනේෂ්වරය මත වන බැවිනි. එනිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ මුළු බර නිර්ධන පන්තියේ ගිණුමට බැර කිරීම ළාමකකමකි.
ධනපතියන් ද තම ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ක්‍රමය යම් යම් ආකාරයකින් තුලනය කිරීමේ තාක්ෂණික පියවර ගනී. නිදහස් අධ්‍යාපනය හදුන්වාදීම, ස්වභාෂා පාසැල් රජයට පවරා ගැනීම, පාසැල් පොත් නොමිලයේ දීම, පාසැල් නිල ඇදුම් නොමිලයේ දීම හා මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කිරීම එවැනි උපාය උපක්‍රමයන් ය. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ධනපතියන් උඩ බලාගෙන ඉන්නා විට තමන්ගේ මැදිහත්වීමෙන් සියළු සමාජ සුභසාධනයන් සිදුවූ බවකි. එහෙත් ඇත්ත සිද්ධිය වන්නේ තම ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ධනපතියන් වඩා විද්‍යාත්මකව පර්යේෂණ කරමින් අලුත් ආඛ්‍යනයන්ට යොමුවන බව ය.
නිර්ධන පන්ති ව්‍යාපාරයක් කළ යුත්තේ ධනපති ක්‍රමයට මුළු එකක් ලෙස වෙනස් වූ දේශපාලන ආකෘතියක් වෙනුවෙන් වැඩ කිරීම ය. එහෙත් ලාංකික ඊනියා වම්මු කරන්නේ සංශෝධනවාදය වෙනුවෙන් පෙනී සිටිමින් ධනපති උපක්‍රමික දේ වලට ජාතකය ලියා ගැනීමට උත්සාහ කිරීම පමණි. අන්තිමේ සියළු ප්‍රතිසංස්කරණයන් කර ඇත්තේ ඊනියා වම්මූ නිසා නම් එනිසා ඔවුන් ලැජ්ජාවට පත්විය යුතුය. මන්ද වම්මු කළ යුත්තේ ධනේෂ්වර ක්‍රමයට විකල්ප සමාජ දේශපලාන ව්‍යාපාරයක් ගොඩනැගීම මිස ධනපති සංශෝධනයන් වෙනුවෙන් පෙනී සිටීම නොවන බැවිනි.''


7 comments:

  1. ලලිත් ඇතුලත්මුදලි ගේ නම ඇති නාම පුවරුව කඩා දැමීම ගැන ශිෂ්‍ය සංගම් දක්වන්නේ බොහොම ලාමක අදහස්.විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ගත්තු ඒ තීරණය වෙනස් කලයුතු නොවේ.මේ වගේ අගතිගාමී වැඩ නිසා මුළු ශිෂ්‍ය ව්‍යාපාරයම හෑල්ලු වෙනවා.

    ReplyDelete
  2. මොකා කලත් මෙයනම් අමන ක්‍රියාවකි අම්පිටියේ සුමන යට නොදවෙනි එකෙකි හෝ කාණ්ඩයකි!!
    මේ නාෂකවාදී (vandalism) ක්‍රියාවේ වගකීම බැරවී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සිසුන්ටය..... මෙමෙ ක්‍රියාවට ඔවුන් සම්බන්ද බවටට ඔප්පු කළහැකිනම් ඇයි ඔවුනට නීතියෙන් දඬුවම් නොකරන්නේ

    ReplyDelete
  3. බෝඩ් ලෑල්ලේ විප්ලවය....!

    ReplyDelete
  4. තම දේශපාලන ප්‍රතිවාදියාගෙන් හෝ ප්‍රතිවාදින්ගේ අතින් මීට වසර විසි ගණනකට පෙර වෙඩි කා මල ලලිත් ඇතුලත්මුදලි නම් දේශපාලකයා පිළිබඳව කතාවක් මේ දිනවල Talk of the town වී තිබේ.



    ඒ ඔහු නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසික ශාලාවක් විවෘත කිරීමට දැරූ උත්සාහයක් සිසුන් මැදිහත් වී වැලක්වීමයි.



    තමන්ගේ නමින් මාර්ග, ගොඩනැගිලි, ක්‍රීඩාපිටි, ගුවන්තොට පමණක් නොව වැසිකිලි පවා නම් කරගැනීමේ සිරිතක් ලංකාවේ දේශපාලකයින් අතර තිබේ. ආර්.ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ මේ අතර ඉදිරියෙන්ම සිටි දෙපලකි.



    දැන් මේ කඩිමුඩියේ , මීට වසර විසි පහකට කලින් වෙඩි කා මල දේශපාලකයෙකුගේ නමින් සරසවි නේවාසිකාගාරයක් නම් කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ මන්ද?



    ඔවුන් කියන්නේ සිසුන් ට මහපොල ශිෂ්‍යත්වය හඳුන්වා දුන් මහා පුරුෂයා නිසා ඔහුට ගරු කළ යුතු බවය. ජනතාවගේ බදු මුදලින්ම යැපුණු මේ දේශපාලුවන් මහපොල ශිෂ්‍යත්වය ලබා දුන්නේ ඔවුන්ගේ බූදලයෙන් නම් අපිට කම් නැත. එහෙත් ඔවුන් එය කලේ නැවතත් ජනතාවගේ තුට්‍ටු දෙකම සූරාගනිමින්ය.



    අනිත් අතට ලලිත් ඇතුලත්මුදලි යනු වන්දනා කල යුතු ආදර්ශමත් දේශපාලකයෙක්ද?



    ජාතියට මහපොල දායාද කළ මේ මහා මානව හිතවාදි බුද්ධිමතා, 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් කනත්තට දක්කන බවට කළ තර්ජන අද අතුලත්මුදලි වෙනුවෙන් කඩේ යන සුදනන් එක්කෝ දන්නේ නැත, නැත්නම් මතක නැත. එදා වර්ජනයට සහභාගි වුවන් ‍රැකියාවෙන් පහකල ජයවර්දන -ඇතුලත්මුදලි-දිසානායක-ප්‍රේමදාස හවුල එම පොරොන්දුව මැනවින් ඉ‍ටු කලේය.



    එපමණක් නොව මේ රටේ පරම්පරාවක තරුණ ලේ ඔහුගේ දෑතේ තැවරී ඇත.1979 දී ත්‍රස්තවාදය මැඩීමේ පනතේ නිර්මාපකයා වූ ඔහු 1988 දී වගකීමෙන් ආරක්ෂා වීමේ පනත ඉදිරිපත් කොට රාජ්‍ය අනුග්‍රාහක මිනී මැරීම් සඳහා නීත්‍යානුකූල බව ලබා දුන්නේය.


    1983 ජූලියේ දෙමල ජාතිකයන් දහස් ගණනාවක් මරා දමා තවත් ලක්ෂ ගණනක් උන් හිටි තැන් අහිමි කර දේපල ගිනිබත් කර තිබු තත්වයක් තුල , 1983 ජූලි 31 දින ගුවන් විදුලියෙන් ඒ ගැන කිසිත් නොතකා , නොකියා පැවසූයේ කුමක්ද?



    " යලිත් දකිනු පිණිස ඔබ හෝ මම ජීවත් විය යුතු නැතයි සිතෙන දසුනක් මම දුටිමි. මහත් සේ අපහසුවට පත් ව පේලි ගැසී ආහාර සොයන මිනිසුන් මම දු‍ටුවෙමි. මේ දර්ශනය මා බොහෝ සේ ශෝකයට පත් කලේය."



    ඔව්, මේ මහා මානව හිතවාදියා ශෝකයට පත්ව ඇත්තේ මරා දමන ලද අහිංසක ගැහැණු,පිරිමි සහ ළමුන් දහස් ගණනක් ගැන නොව , ආහාර හිඟය නිසා පීඩාවට පත්ව සිටි මිනිසුන්ය. අපූරුයි, මානවහිතවාදිත්වය.



    එපමණක් නොව 83 ජුලියේම වැලිකඩ සිරගෙදරදී දෙමල සිරකරුවන් ඝාතන තැතක් පිළිබඳව ඉව වැටී ඔවුන් එතැනින් ඉවත් කිරීමට උත්සාහ කරන විට එයට හරස් කපා ඒ තිරිසන් ඝාතනයට පාර කැපුයේද මේ මහා මානව හිතවාදියාමය.



    1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන කරනු ලැබ තිබියදී අත් අඩංගුවට ගත් කොටි නායකයින් 10 දෙනෙක් කොළඹට ගෙන ඒමට අණ කර, ඔවුන් සිය දිවි නසා ගැනීමට යොමු කර නැවත මහා ජන ඝාතක යුද්ධයට ඉඩ ලබා දුන්නේ ද අප කතානායක උතුමාණන්මය.



    මේ සියලු දේ පිළිබඳ විස්තර යාපන සරසවියේ ආචාර්ය රාජන් හූල් ලියූ " ශ්‍රී ලංකාව- බලයේ මහන්තත්වය, මිථ්‍යා, පරිහාණිය හා මනුෂ්‍ය ඝාතන " කෘතියේ මනාව විස්තර කර ඇත.



    දැන් පාලකයින් සරසවියක නේවාසිකාගාරයක් නම් කිරීමට යන්නේ මෙබඳු පුද්ගලයෙකුගේ නමින්ය.

    නැත. එයට ඉඩ දිය යුතු නැත.



    සිසුනි, ඔබ එයට එරෙහි වීමෙන් ඉතාමත් නිවැරදි දේ කර ඇත.



    පාලක මහත්වරුනි. ඔබට ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් යමක් නම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා " වැලිකඩ හිරගෙදර" සුදුසු බව අප කියමු.



    එය නොහැකි නම් ඔබගේ නිවස ඒ සඳහා ‍තෝරාගන්න
    '

    ReplyDelete
    Replies
    1. හම්මෝ උඹලගේ විජේවීර මස්සිනා තරම් නම් මානව හිතවාදියෙක් මේ තුන් ලෝකෙම නෑ. ඉල් මහා විරුවෝ කියල මිනීමරුවෝ සෙට් එකක් සමරන්න පුළුවනුත් උඹලටම විතරයි. අනේ හුකේ

      Delete
  5. ඔහු ගේ පෙළපතේ නම අතුලත්මුදලි මිස ඇතුලත්මුදලි නොවේ.

    ReplyDelete
  6. ඔබේ අන්තිම අදහස් දැක්වීමට උපරිමයෙන් ම එකගයි...... ඕක දේශපානලනයට විතරක් නෙමෙයි මේ වෙලාවේ බ්ලොග්ලෝකයේ ඇති වී තිබෙන බෙදීමට ද සම්බන්ධ කිරීමට කැමැත්තෙමි....

    ReplyDelete