Monday, 27 November 2017

ඉතිහාසයේ අහම්බකාරකය

අහම්බකාරක නමින් ලියනගේ අමරකීර්ති මෑතකදී  නව කථාවක් ලියා පළ  කළේය.  අමරකීර්ති  ප්‍රතිභාසම්පන්න සාහිත්‍යකරුවෙකි.  ශ්‍රීලාංකික සාහිත්‍ය කලා විචාරය සහ  සෞන්දර්යවේදය ශාස්ත්‍රීය වශයෙන් පෝෂණය කිරීමට  බොහෝ වෙහෙස මහන්සිවී වැඩකරමින්  තමා දරන සරසවි ගුරු පදවියට උපරිම යුක්තිය සාධාරණය ඉටුකරන විද්වතෙකි.  

පසුගිය සතියේ  ඔහුගේ මව  අභාවප්‍රාප්ත වූවාය.   එම චාම් අවමඟුල් උත්සවයට කොළඹ සිට  ගම්පහ හරහා  ගම් නගර පසු කරමින්  කුරුණෑගලට යද්දී  ගම ගැන, රට ගැන,  අප ගැන,  අපගේ ඉතිහාසය ගැන  සහ අනාගතය ගැන  විවිධ සිතුවිලි  ඇතිවී නැතිවී යද්දී  අමරකීර්තිගේ  සාහිත්‍ය නිර්මාණවලට වස්තු බීජ සැපයූ  සමකාලීන ජන ජීවිතය  මේ ගම් නගර අතර,  ගෙවල් දොරවල් මාළිඟා පැල්පත් අතර,  මහ මග සැරිසරනා ලොකු කුඩා මිනිසුන් අතර  සජීවීව  දක්නට ඇති බව දැනිණි.   ඒ සජීවීභාවය  අමරකීරතිගේ සාහිත්‍ය නිර්මාණවල අඩුවෙන්ම ඇත්තේ  අහම්බකාරක නව කථාවෙහිය.   එම සජීවී බව වැඩිපුරම  ඔහුගේ "අටවක පුත්තු" සහ "කුරුළු හදවත"  වැනි නිර්මාණවල  කාවැදී ඇත.   "අහම්බකාරක" නව කථාවට වඩා ඔහුගේ අනෙකුත් නිර්මාණ අපට සමීපවන්නේ එහෙයිනි.

සාහිත්‍යකරුවන්ට  නීති රීති දැමීම  අපට කළ නොහැකිය.   මනුෂ්‍ය සමාජයේ සිදුවන සෑම දෙයක්ම  නිශ්චිත නියාම අනුව  සිදුවන්නේ යැයි  පවසමින්  ඒවා පැහැදිළි කිරීමට "නිව්ටන්ගේ" නියාම අපට යෝජනා කළ නොහැකිය.   එහෙයින් අහම්බය  සාහිත්‍යමය ප්රයෝගයක් ලෙස ගෙන  සාහිත්‍ය  අාඛ්‍යානයක් නිර්මාණය කිරීමට  අමරකීර්තිට ඇති අයිතිය  අපට ප්‍රශ්න කළ නොහැකිය.  

ප්‍රශ්නය පැන නගින්නේ  අහම්බය සාහිත්‍යකරුවාගේ  ප්රයෝගයක් නොව ඉතිහාසකරුවාගේ  ප්රයෝගයක් වන  අවස්ථාවේදීය.   අපගේ වංශ කථාකරුවන් කියන්නේ  විජය කුමරා  බුදුන් පිරිනිවන් පෑ  දින  අහම්බෙන් ලංකාවට ගොඩබට බවය.   අපගේ ජනවංශ කථාකරුවන් කියන්නේ  දෙවොල් දෙවියන් ඇතුලු පිරිස  ඔවුන් පැමිණි නැව  සුන්වී මූදුබත් වූ පසු  මුහුදේ  "ලෑලි බදාගෙන පීනමින්"  සිට අහම්බෙන්  හික්කඩුවේ සීනිගමට පැමිණි බවය.   සොකරිද,   ආඬිගුරාද , පරයාද  ඒ ආකාරයටම  අහම්බෙන් ලංකාවට පැමිණි බවය.   අහම්බයට මෙසේ පණ දුන්නේ  පෙරදිග ඉතිහාසකරුවන් පමණක් නොවේ.   කොලොම්බස්ට අමෙරිකාව "සොයා ගැනීමට" හැකිවූයේ අහම්බෙනි.   පෘතුගීසීන් ලංකාවට ගොඩබැස්සේ ද අහම්බෙනි.  එසේ නැතිව  මුස්ලිම් නාවුක  වෙළෙඳුන් පස්සේ පන්නමින් ගිය ගමනක ප්‍රතිපලයක් ලෙස නොවේ.   පෙර අපරදිග භේදයකින් තොරව ඉතිහාසකරුවෝ අහම්බයට ප්‍රිය කරති.   සමහර ප්‍රශ්නවලට  උත්තර නැතිවූ විට  අහම්බය ඉතා  හොඳ පිළිතුරකි.   1990 දශකය මුලදී  කොළඹ සරසවියේදී  අප  මාක්ස්වාදය සමග පැටලුන සමයේදී  මේ අහම්බවාදය කරළියට අවා මතකය.   රුසියානු ඔක්තෝබර් විප්ලවයේ  සියවන  සංවත්සරය සැමරෙන මේ නොවැම්බරයේදී  මේ ගැන සඳහන් කිරීම  මැනවින් ගැළපේ.  

මහාචාර්ය නලින් ද සිල්වා  මහතා  ගොඩනගමින් සිටි අදහස වූයේ  ශුද්ධ විද්‍යා න්‍යායන්  බොරු නම්  ඒ පසුපස ගාටන  සමාජවිද්‍යා න්‍යායන්  පට්ටපල්  බොරු බවය.   මාක්ස්  සමාජ විකාශනය පිළිබඳ නියමය  සොයාගත්තේ යැයි  එංගල්ස් පැවසීය.   එම නියාමයට අනුව  ධනේශ්වර ක්‍රමයට එරෙහිව විප්ලවය සිදුවීමට තිබුණේ දියණු ධනපති රටවලය.   එය එසේ සිදු නොවී  රුසියාව වැනි  නොදියුණු රටක සිදුවූයේ  මාක්ස්ගේ න්‍යායන් සංශෝධනය කරමින් ( කම්කරු පන්තියට පන්ති විඤ්ඤාණය  බාහිරින් රැගෙන ඒම, විප්ලවවාදී පක්ෂය පිළිබඳ අදහස හඳුන්වාදීම )  ලෙනින්  මාක්ස්වාදය  සංශෝධනය කළ නිසා බවත්  එම ලෙනින්ම  කාල් කවුට්ස්කිට  සංශෝධනවාදියා යැයි  චෝදනා කළ බවත්  ඇත්ත වශයෙන්ම කවුට්ස්කිටත් වඩා  සංශෝධනවාදියා වන්නේ ලෙනින්මය බවත්  කියමින්  නලින් ද සිල්වා නැගූ තර්කය  එකළ අපට ඉතා ආකර්ශනීය විය.  


"ලෙනින් නොසිටියේ නම් විප්ලවය සිදුවනවාද?   ලෙනින්  මධ්‍යම පන්තිකයෙක්, සමහර මධ්‍යම පන්තිකයන්  සාර්ගේ  සහ ධනපතියන්ගේ පැත්ත ගැනීමටත්  ලෙනින් වැනි සමහර මධ්‍යම පන්තිකයන්  කම්කරු පන්තියේ පැත්ත ගැනීමටත්  හේතුව ඓතිහාසික භෞතිකවාදය අනුව පැහැදිළි කරන්නේ  කෙසේදැයි"  නලින්ද සිල්වාගේ අදහස් වලින් මුවහත් වූ අපි "දියැස" සංවාද කවයේ  මාක්ස්වාදියෙකු වූ  වසන්ත දිසානායකගෙන් ඇසුවෙමු.   වසන්ත දුන්නේ  මෙවැනි උත්තරයකි " සහෝදරයා,  ඔබ ඉදිරියෙන්   ඔබ දෙසට පියාඹාගෙන එන මදුරුවෙක් ඔබේ වම් උරහිසේ වසනවාද දකුණු උරහිසේ  වසනවාද කියා කල් ඇතිව කියන්නට බෑ කියලා  එංගල්ස් කියා තිබෙනවා."  එවිට අපි මෙසේ වාද කළෙමු   "ඒ කියන්නේ  අහම්බ සිදුවීමක්.  ඕන එකක් වෙන්න පුළුවන්.  ලෙනින් කම්කරුවන්ගේ පැත්ත නොගත්තා නම් විප්ලවය නොවෙන්න තිබුණා.   ඒ කියන්නේ රුසියන් විප්ලවය අහම්බයක් ද?  එතකොට  අයිසෙක් ඩොයිස්ෂ්චර්  කියන  මාකස්වාදී ඉතිහාසඥයා රුසියන් විප්ලවය අහම්බයන් නොවේ කියලා  කියනවා නේද?  එ් ගැන මොකද කියන්නේ"  මේ ආදී වශයෙන්  අපි තර්ක කරගෙන ගියෙමු.  ඒ සරසවි ජීවිතයේ හැටිය.   ප්ලැට් ප්‍රශ්න සහ ප්ලැට් පිළිතුරුය.   එහෙත් එවැන්නක්වත් නැත්නම් සරසවි ජීවිතයේ පලක් නැත. ප්ලැට් ප්‍රශ්න පසෙක දා බැලූ කළ රුසියන් විප්ලවයද ලෙනින්ද  ඉතිහාසයේ අහම්බයක් නොව අපි හොඳටම දනිමු. 

රුසියාව පිටපිටම  ලැබූ යුද පරාජයන්,  යුද්ධයේ පීඩයෙන් රුසියාවේ ආර්ථිකය බිදවැටීම,  ගොවිජන ප්‍රශ්නය විසදන්නට  සාර් ආණ්ඩුව අසමත්වීම,  පෙට්‍රොග්‍රෑඩ් කර්මාන්තශාලාවල සූරකානු ලැබූ  දුගී නිර්ධන පිරිසක් ඒකරාශීවීම,  බොල්ෂේවික්ගේ   සඵල ප්‍රචාරක ව්‍යාපාරය පොදුජන මනස  ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ලෙනින්ට තිබූ වැටහීම  යනාදී හේතු සමුදායක් නිසා රුසියානු විප්ලවය අහම්බයක් නොව හේතුඵල සම්බන්ධතා සන්තතියක ප්‍රතිඵලයක් බව අපට කිව හැකිය.  එහෙත්  ඉතිහාසය  අහම්බ කතාවලට  වැඩි කැමැත්තක් දක්වයි.  ඉතිහාසකරුවන් මේ අහම්බවාදයට දක්වන රුචිකත්වය එඩ්වඩ් හැලඩ් කා ( ඊඑච්කා) නමැති ප්‍රකට ඉතිහාසවේදියා  තම "ඉතිහාසය යනු කුමක්ද? "  කෘතියේ  දැඩි විවේචනයට ලක් කළේය.  අහම්බයට දක්වන රුචිකත්වය  ඔහු නම් කළේ  ක්ලියෝපැට්රාගේ නහය පිළිබඳ ගැටළුව ලෙසය.  ක්ලියෝපැට්රාට ලස්සන නාසයක් තිබුණ නිසා අධිරාජ්‍යයක ඉතිහාසය වෙනස්වූයේද?  වඳුරෙකු සපාකෑම නිසා  ඇලෙක්සැන්ඩර් රජු මිය ගිය බැවින් ජනතාව දෙලක්ෂ පනස්දහසක් යුද්ධයෙන් මිය ගියාද?   ලි‍යොන් ට්‍රොට්ස්කිට තාරා දඩයමකදී වැළඳුන උණක් නිසා 1923  සරත් සෘතුවේදී  සිනේවිච්, කමනෙප්  සහ  ස්ටාර්ලින් සමග රණ්ඩු වී  තමා  ඔත්පලවී යාම ගැන ඔහු මෙසේ කියයි. " කෙනෙකුට  විප්ලවයක් හෝ යුද්ධයක් කල්තියා දැකිය හැකිය.  එහෙත්  සරත් කාලයේ තාරා දඩයමක විපාක කල්තියා දකින්නට බැරිය. ක්ලියෝපැට්රාගේ නහයේ හැඩය  ඇලෙක්සැන්ඩර්  රජු මරණයට පත් කෙරුණු  වඳුරු සපාකෑම්,  ලෙනින්ගේ මරණය  වැනි දේ  ඉතිහාසය වෙනස් කළ  ආකර්ශනික සිදුවීම්ය.  එහෙත්  මනුෂ්‍ය සමාජය ආකස්මික අහම්බ ඇසුරෙන් තේරුම් ගැනීම  ප්‍රඥාගෝචර නොවන බව ඊ.එච්.කා.  ඉහත දැක්වූ විශිෂ්ට රචනයෙහිලා පෙන්වා දුන්නේය.    ( මේ පොත  චරිතා විජේරත්න සිංහලයට පරිවර්තනය කර ඇත. ) 

ලාංකික සමාජයේ  අප අද සිටින තැන ගැන  පැහැදිළි කරගැනීම සඳහා  අහම්බයට වඩා  හොඳ ප්රයෝග රැසක්  අපට පාදා ගතහැකිය.  අප වනාහි අපගේ ඉතිහාසයේ නිර්මාණයන් ය.  අපට  අප හදුනාගැනීමට අවශ්‍ය අපේ ඉතිහාසය හඳුනාගැනීම  වැදගත්ය.  ඒ සඳහා  කළහැකි එක හොඳ වැඩක් වන්නේ  ඉතිහාසයේ අප දන්නා අහම්බ කතා  යළි ප්‍රශ්න කිරීමය.   විජය කුමරා  නැව මුහුදු බත්වී ලංකාවට අහම්බෙන් පැමිණියාද  නැතිනම්  සිතා මතාම  පැමිණියාද?  












3 comments:

  1. boho de ahambayanya.. kiyoo lesa ta ahambayan prashna nokireema aduwaki..

    ReplyDelete
  2. මම හිතන්නේ අපේ ගමනාන්තය බොහෝ විට සැලසුම් කල එකක්. නමුත් එයට යන මාර්ගය තීරණය කරන්නේ අහම්බයන්.

    ReplyDelete

Google+ Followers